පව් කළොත් දුක් විපාක විඳින්න ම වෙනවා
බුදුරජාණන් වහන්සේ දවස දඹදිව සැවැත්නුවර ඉසුරුමත් කුලයක පාලිත නම් පුද්ගලයෙක්
සිටියේ ය. ඔහු සැපතින් වැඩී යසසින් දියුණු වූවෙකි. බුදුරජාණන් වහන්සේ වැඳීම් -
පිදීම් සඳහා දෙව්රම් වෙහෙරට නිතර පැමිණෙන උවසු - උවැසියන් දැක ඔහු සතුටට පත්විය.
එසේ සතුටට පත්ව ඒ උවසු - උවැසියන් සමඟ ඔහු ද දෙව්රම් වෙහෙරට පැමිණියේ ය. බුදුරජාණන්
වහන්සේගෙන් දහම් අසා පැහැදුණේ ය. සැදැහැ සිත් දියුණු වූයේ ය. සසර දුක දැක කළකිරීම්
ඇතිවිය. සිය වත්කම් සියල්ල හැරදමා සියලු ඉසුරු සම්පත් පවරා දී පහන් වූ සිතින්
පැවිදි විය.
වැඩිහිටි වයසින් පැවිද්ද ලද හෙයින් කාලය ගත නොකොට ඉක්මනින් භාවනාවට සිත යොමු කළේ ය.
මහණ දම් මුදුන් පමුණුවා ගැනුම සඳහා නොනිදා භාවනා වැඩීම හේතුවෙන් බලවත් ඇස් රෝගයකින්
පෙළුණේ ය. එහෙත් ඇස් රෝගයට ප්‍රතිකර්ම කිරීමට යොමු නොවී ය. වෛද්‍යවරුන්ගේ නියමයන්
පිළිගත්තේ ද නැත. ඒ වෙනුවෙන් ඇලුනේ නැත. භාවනාවෙහි ම නියැළුණි. ඒ හේතුවෙන් රහත් ඵල
පැමිණීමත්, ඇස් නොපෙනීමත් එකවර ම සිදු විය. ඒ නිසා ම උන්වහන්සේ චක්ඛුපාල නමින්
හැඳීන්වීය.
කිලිටි වූ සිතින් යුතු ව කයින් හෝ මනසින් දුසිරිත් කරත් ද ඒ හේතුවෙන් ඔහු පසු පස
දුක ම ලුහුබඳීනේ ය. කුමක් සේ ද? ගොනු පසු පස ඇදෙන රියසක මෙනි.
ධම්ම පදයේ විස්තර කරයි.
චක්ඛුපාල ස්වාමීන් වහන්සේ පෙර අත් භවයක ඇස් රෝගයන්ට ප්‍රතිකාර කරන දක්ෂ වෙදැදුරෙක්
විය. එකල දැඩි ලෙස ඇස් රෝගයකින් පෙළෙන කාන්තාවක් විය. ඇය මෙම වෙදැදුරුගෙන් ඇස්වලට
ප්‍රතිකාර කරවා ගත්තා ය. එම ප්‍රතිකාරවලින් ඇස් සුව විය.
පෙනීම ලැබූව ද කාන්තාව ඒ බව සඟවා වෙදැදුරු රැවටී ය. ප්‍රතිකාර සාර්ථක ව කාන්තාවගේ
දෑස් පෙනෙන බව වෙදැදුරුට තේරුම් ගියේ ය. කාන්තාවක් වී තමා රැවටී ම පිළිබඳ ව
වෙදැදුරුගේ සිතේ තරහක්, අමනාපයක් ඇති විය.
අමනාප සිතින් යුතු වූ වෙදැදුරු දෑසේ වැඩි සුවය සඳහා යැයි පවසමින් විෂ යෙදූ බෙහෙතක්
ගල්වා කාන්තාවගේ දෑස ම අන්ධ කළේ ය.
මේ අත්භවයේ දී ඒ විපාකයේ ඵල ලැබුණි. නොපසුබට ව විදසුන් වඩා, රහත් ව දුක කෙළවර කළත්
ඇස් අඳවීමෙන් නො වැළකුණේ ය. රිය බැඳී ගොනු ගේ පසු පස එන රියසක සේ එකල වෙදැදුරු වූ
මෙකල චක්ඛුපාල තෙරුන් පසු පස දුක ලුහුබැඳ පැමිණි ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනාකොට
වදාළහ.
අපිරිසුදු සිතින් යුතුව සිතන, කියන, කරන සියලු දෙයම නිසා දුක් සහගත ප්‍රතිවිපාක
ලැබෙන බවත්, පිරිසුදු සිතින් සිතන කියන කරන දෙය ම නිසා යහපත් වූ ඵල විපාක ම ලැබෙන
බවත් මින් කියැවේ.
සියලුම සත්වයින් කර්මය දායාද කොට ගන්නා බව සිහිකරමින්, එළඹ සිටින මොහොතෙහි පිරිසුදු
සිත ම පවත්වා ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු.
සිතින් යමක් සිතා වචනයෙන් පිට කරන්නට පෙර, ක්‍රියාවෙන් හැසිරෙන්නට පෙර එය තමාටත්,
අන් අයටත්, යහපතක් හෝ අයහපතක් සිදුවන දෙයක් දැයි මෙනෙහි කළ යුතු ය.
අකුසල දහමට සිත මුල් ය. කිලිටි වූ සිතින් අකුසල් කළ තැනැත්තා පසුපස දුක ම ලුහුබඳී.
-
දීපා පෙරේරා |