බක් පුර පසළොස්වක 2022-04-16
වේදනාව ලෝක ස්වභාවයයි
ලෝකයෙහි උපත ලබන සත්වයා මනුෂ්‍ය සහ තිරිසන් යනුවෙන් කොටස් දෙකකි. සත්ව ලෝකයේ දී
බහුලව පරිශීලනය කරන්නේ ස්පර්ශ කළ හැකි වස්තූන් ය. කෑම - බීම සහ නිවාස ආදී ජීවත්වීමට
අවශ්‍යම දේ පමණක් ඇසුරු කරයි. ඉහළ චින්තන ශක්තියක්, වාචික සන්නිවේදනයක් නොමැති නිසා
මනුෂ්‍යයා මෙන් අභෞතික ලෝකය ගැන නො සිතයි. ගැටලු ඇති කර නො ගනියි. තිරිසන් ගත
සත්වයින්ට කෝපය, වේදනාව, ආදිය දැනේ. එවැනි අවස්ථාවල දී ඒ ඒ සතුන්ට හිමි හඬින් එය
ප්‍රකාශ කරයි. කෝපය ඇති අවස්ථාවල දී ශරීරවලින් ගැටෙයි. කායික ශක්තිය අධික අය ජය
ලබයි. කායික ශක්තිය පහළ අය ජීවිතයෙන් වන්දි ගෙවයි. එසේ නො වේ නම් පලායයි.
තිරිසන් ලෝකයේ කෝපය, වේදනාව, ආදිය ඇති වන්නේ ආහාර - පාන, නිදාගැනීම, බිය පැමිණීම සහ
මෛථුන සේවනයේ දී පමණි. එහෙත් මනුෂ්‍යයාගේ අවශ්‍යතා අධික ය. චින්තනය අධික නිසා සැකය,
කෝපය, විතර්කය, ශ්‍රද්ධාව, ප්‍රඥාව ආදී ප්‍රමාණ කළ නො හැකි සිතිවිලි උපදියි. සැප සහ
දුක හඳුනයි. දුක්වලින් තොර සුව පහසු ජීවිතයක් අපේක්ෂා කරයි. ධනය රැස් කරයි.
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාව පසෙක තබා කටයුතු කිරීමෙන්
වාචික, කායික සහ මානසික වේදනා විඳියි. චින්තනය සහ වාචික සන්නිවේදනය හේතුවෙන්
මනුෂ්‍යයාගේ සිත වේදනාවෙන් පිරෙයි. තිරිසන් සත්වයාට එවැනි වේදනාවක් නැත. මනුෂ්‍යා
තිරිසන් සත්වයින්ගෙන් වෙනස් වන්නේ ද මේ හේතු නිසා ය.
බලාපොරොත්තු කඩවීමත්, සතුට දිගු කල් පවත්වා ගැනීමට අපොහොසත් වීමත් සිත් වේදනා ඇති
කරයි. මෙ වැනි අවස්ථාවල දී එකිනෙකා වචනයෙන් හෝ කායිකව හෝ අවි ආයුධවලින් හෝ තම
වේදනාව මුදා හරියි. එයින් තව තවත් පුද්ගල මනස වේදනාවට පත් වෙයි. විසඳා ගැනීමට
නොහැකි ගැටලු ඇති වෙයි.
ලබා ගත් ජීවිතය මරණය දක්වා දුකින් ගත කිරීමට මඟ පාදා ගනියි. පවුලෙන්, ගමෙන්,
නගරයෙන් හෝ රටින් ඈත්ව ගියත් ඇතැම් පුද්ගලයින් තම සිතෙහි හටගත් වේදනාව, කෝපය ඉවත නො
දමයි. පෙර සසරටත් වෛරයක් බවට පත් කර ගනියි.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව මෙය මිනිස් ස්වභාවයයි. සිතෙහි ක්‍රියාකාරීත්වය
එයයි. එය වළක්වා ගැනීමට හෝ නවතා දැමීමට හෝ ක්‍රියා කරන්නේ නම් එයයි ජයග්‍රහණ ය.
සිතට වේදනාවක් පැමිණෙන සෑම මොහොතක ම එය ලෝක ස්වභාවය ලෙස සිතීමට දේශනා කර තිබේ. ලෝක
ස්වභාවය යනු වෙනස්වීමයි. මෙය බුදුරජාණන් වහන්සේ දක්වන්නේ “විපරිණාම දුක්ඛ” යනුවෙනි.
මෙලොව උපන් මනුෂ්‍යයා තමාගේ ශරීරයේ වෙනස්වීම, උපයා ගත් වස්තු දුර්වර්ණවීම,
ක්‍රමයෙන් දිරාපත්වීම ආදිය හොඳින් අධ්‍යයනය කළ යුතු ය. එවිට පුද්ගල මනසේ වෙනස්වීම
අවබෝධ වෙයි. පුද්ගල මනසට තදින් බලපෑම් කරන කවර ප්‍රශ්නයක දී වුවත් “ලෝකයේ සියලුම දේ
වෙනස් වෙයි” යැයි සිතා කටයුතු කිරීමේ හැකියාව වර්ධනය කර ගත යුතු ය. විවාහයෙන් පසුව
හෝ තරුණ වයසට පත් වූ විට හෝ දරුවා වෙනස් වූයේ යැයි මව හෝ, පියා හෝ සහෝදර සහෝදරයින්
හෝ ඥාතීන් හෝ දුක් නො විය යුතු ය. කායිකව මෙන් ම සිතින් ද දරුවා ඔවුන්ට වඩා වෙනස්
ය. මේ ස්වභාවය සියලු ම ගැටලුවල දී සංසන්දනය කර බැලිය යුතු ය.
එවිට ලෝක ස්වභාවය අවබෝධ වෙයි. විපරිණාම දුක්ඛ ස්වභාවය අවබෝධකර ගත් පුද්ගලයාගේ
ජීවිතය සතුටින් ගෙවී යයි. කායික සහ මානසික සුවය ලබයි. මෙය බුදුරජාණන් වහන්සේගේ පළමු
ධර්ම දේශනාවේ මූලික ඉගැන්වීමකි. |