[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් පුර අටවක 2022-04-09

අනුකම්පාවේ සහ කරුණා ගුණයේ වෙනස

බුදුරජාණන් වහන්සේට ඇත්තේ මහා කරුණා ගුණයයි. තථාගතයන් වහන්සේ දිනකට දෙවරක් මහා කරුණා සමාපත්තියට සමවැදී ලොව බලා වදාරණ සේක. අලුයම චක්‍රාවාටයේ සිට ගඳකිළි දොරකඩ දක්වා නුවණ පතුරුවා ලොව බලති. සවස් සමයේ ගඳකිළි දොරකඩ සිට චක්‍රාවාටය දක්වා නුවණ මෙහෙයවා ලොව බලති. දුප්පත්, පොහොසත්, රාජ්‍ය තනතුරු දරන හෝ, කුලයෙන් උසස් බව හෝ පහත් බව හෝ නො සලකා සම සේ සියලු දෙනාගේ ම දුකට පිහිට වෙති.

කරුණාවේ තිබෙන බලය ප්‍රබල ය. ගුණය ඉහළ ය. මව් පදවිය හෝ පිය පදවිය ලබන සත්වයාට ද කරුණා ගුණය පිහිටිය යුතු ය. සතර බ්‍රහ්ම විහරණවලට කරුණා ගුණය ඇතුළත් වන්නේ ඒ හේතුවෙනි. බුදුරජාණන් වහන්සේට කරන සැලකිල්ලට සමාන සැලකිලි මව්පියන්ට ඉටු කිරීමට දේශනා කළේ එබැවිනි.

මව්පියන්ගේ ප්‍රධාන ගුණයක් වන්නේ කරුණාවයි. දරුවන් ද ඒ ගුණය පුහුණු කළ යුතු ය. ක්‍රියාවේ යෙදවිය යුතු ය. ලොව උපදින මනුෂ්‍යයන්ගෙන් බහුතරයක් මවක හෝ පියකු බවට පත් වෙයි. කල් ගත වන විට සමස්ත සමාජයේ ම සිටිය යුත්තේ කරුණා ගුණයෙන් පිරුණු පුද්ගලයන් ය. එහෙත් බෞද්ධ සමාජයේ මව් පදවිය හෝ පිය පදවිය හෝ ලැබූ අය වෙත මේ ගුණය කොතරම් දුරට පිහිටා තිබේදැයි නැවතත් විමසා බැලිය යුතු ය.

කරුණා ගුණය යනු අනුන්ගේ දුක දැක කිසිදු ලාභ අපේක්ෂාවෙකින් තොරව පිහිට වීමයි. එහෙත් ඇතැම් දෙමාපියන් දරුවන්ට පිහිට වන්නේ ද, දරුවන් දෙමාපියන්ට පිහිට වන්නේ ද, ගුරුවරු ශිෂ්‍යයන්ට පිහිට වන්නේ ද, ශිෂ්‍යයන් ගුරුවරුන්ට පිහිට වන්නේ ද කරුණා ගුණයට වඩා අනුකම්පා සහිත සිතින් ය. කිසියම් දිනක කවර හෝ ලාභ අපේක්ෂාවකින් ය.

යමෙක් ධනය සහිත ව අඹුදරුවන් ඇතිව, නෑ හිතමිතුරන් ඇතිව, ජීවත් වෙති.

ඔවුහු දුකට පත්වන විට ඇතැමුන් සතුටට පත් වෙයි. අයෙක් ඊර්ෂ්‍යා කරති. තවත් අයෙක් මුදුතාවෙන් යුක්ත වෙති. දුර්ලභව කෙනකුගේ සිතෙහි කරුණාවක් පහළ වෙයි. ඇතැම් විට සමහරෙක් බොහෝ සෙයින් ඔවුන්ට පිහිටවීමට ඉදිරිපත් වෙති. ඒ මතු දිනක කිසියම් ලාභාපේක්ෂාවක් ලබනු රිසියෙන් ය. මව තම දරුවා රෝගී වූ විට නිතර සොයා බලා උපකාර කරයි. එහෙත් ඥාති දරුවකුට දක්වන සැලකිල්ලට වඩා අඩු සැලකිල්ලක් අසල්වැසි දරුවකු රෝගී වූ විට දක්වයි. මනුෂ්‍ය ලෝකයේ පෘථග්ජන සත්වයින්ගේ කරුණාවේ බෙදීම් ඇති වෙයි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයේ කිසිදු වෙනසක් කවර හේතුවක් නිසාවත් ඇති නොවේ. ලොව සුන්දරවීමටත්, මෙලොව සහ පරලොව සාර්ථක කර ගැනීමටත් අවම වශයෙන් තම දරුවාට දක්වන කරුණා ගුණය සමස්ත සමාජයට ම දැක්වීමට මනුෂ්‍යයා හුරුවන්නේ නම් සමාජය වඩාත් යහපත් වේ.

ඇති- නැති පරතරය, දුක-සැප බෙදී යාමේ වෙනස අවම වෙයි. බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ රුධිරය මහා සාගරය පරදා අනුන්ගේ විපතේ දී කරුණා ගුණය පිහිටුවාගෙන දන් දුන්නහ. කිසිදු අපේක්ෂාවකින් තොරව මහපොළොව පරදවා ශරීරමාංශත්,ආකාශයේ තරු පරදවා නේත්‍රත් දන් දී ඇත්තේ කරුණා ගුණය නිසා ය.

කරුණා ගුණය පිහිටි තැනැත්තා මේ අපේ එකෙක් ය. මේ පිට කෙනෙක් යැයි වෙන් නො කරයි. සම සේ සියලු දෙනාට ම සත්කාර සම්මාන කරයි. ඔවුන්ගේ දුකෙහි දී තම හදවත උණු වී පිහිටවෙයි. අහස යට සිටින සියලු සතුන් තම පවුලේ ඥාතීන් ලෙස සලකයි.

කරුණාව පිරුණු සමාජයක් බිහිකිරීමට බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් ම කටයුතු කර පෙන්වූහ. ඒ මඟ ගමන් කිරීම පුද්ගල සාර්ථකත්වයටත්, සමාජ සුබ සිද්ධියටත් හේතු වෙයි.

බක් පුර අටවක පෝය

අප්‍රේල් 08 සිකුරාදා අ.භා. 11.06 පුර අටවක ලබා 10 ඉරිදා පූ.භා. 01.24 ගෙවේ.
 09 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]