සියවසකට ඈත අතීතයේ මිෂනාරීන්ගෙන් බෞද්ධ ජනතාව බේරාගත් ධම්මරතන හාමුදුරුවෝ
රාජකීය පණ්ඩිත
මඩදෙණියේ පුඤ්ඤරතන හිමි
පෑලව ශ්‍රී ධම්මරතන නා හිමියෝ සියම් රටට වැඩම කළ අවස්ථාවේ දී උන්වහන්සේගේ ශීලාදී
ගුණ හා ධර්ම විනය ධරත්වය පිළිබඳව ප්‍රසාදයට පත් වූ එවකට සියම් රටෙහි අග්‍ර රාජයා වූ
චූලාලංකාර ධම්මගුප්ත මහ රජතුමා උන්වහන්සේට ආරාධනා කොට ස්වකීය චූලාලංකාර
ධම්මගුප්තාරාමයේ වස් සමාදන් කරවා ගත්තේ ය.
වස් අවසානයේ දී කඨිණ චීවර පූජා කොට විශේෂ වූ රාජකීය පරිෂ්කාරාදියෙන් ගරුතර ධමම්මරතන
හිමියෝ පුදනු ලැබූහ. මෙසේ පළමුවරට බුරුම මහ රජතුමා විසින් ද දෙවැනි වරට සියම් මහ
රජතුමා විසින් ද දෙවරක් ම අප නාහිමියෝ රාජ පූජිත බවට පත් වූහ. මෙසේ දේශීය හා
විදේශීය වශයෙන් රාජරාජ මහාමාත්‍යාදී ගෘහස්ථ ප්‍රව්‍රජිත බොහෝ උතුමන්ගේ නොමද
සම්භාවනාවට පාත්‍ර වූ ශ්‍රී ධම්මරතන නාහිමියන් වහන්සේ ලෝක ශාසනික වශයෙන් ඉමහත්
සේවාවන් සිදු කළහ.
මේ වන විට මිෂනාරීන් විසින් ආණ්ඩු බලය දඩමීමා කරගෙන විවිධ තනතුරු රැකී රක්ෂා ආදිය
ප්‍රදානය කරමින් ආරිය සිංහල බෞද්ධ ජනතාව කිතු සමයට හරවා ගනිමින් රටේ වැදගත් නගර
ගම්දනව් කේන්ද්‍ර කර ගෙන ඔවුන්ගේ පල්ලි ඉදිකරමින් ගෙන ගිය දරුණු ක්‍රියා පිළිවෙත
මැනවින් අවබෝධ කර ගත් මෙම නා හිමියෝ එයට පිළියමක් වශයෙන් චූලාලංකාර ධම්මගුප්ත සමාගම
නමින් සංවිධානයක් ආරම්භ කළහ. දෑහිතකාමී ගිහි පැවිදි විශාල පිරිසක් එම සංවිධානය වටා
ඒකරාශී කරගෙන එහි ශාඛා මහනුවර ප්‍රදේශයේ සෑම ගමකම පිහිටුවීය. සිංහලකම හා බෞද්ධකම
ආරක්ෂා කර ගත හැකි වගන්ති ඇතුළත් දස පණතක්ම හඳුන්වා දී එයට ප්‍රදේශවාසී විශාල
පිරිසක් අවනත කරගති. තවද මෙම සංවිධානය මඟින් ඒ ඒ ගම් ප්‍රදේශවල එම යුගයට සරිලන
පරිදි මං මාවත්, ළිං, පිහිලි, විද්‍යාස්ථාන, පින් බෙහෙත් ශාලා, අම්බලම් ආදී පොදු
පහසුකම් සංවර්ධනය කරන ලදී. තවද මහ ජනතාව දැනුවත් කිරීමට ප්‍රතිබලසම්පන්න ගිහි
පැවිදි දේශකයන් පුහුණු කර නිරතුරුව මහ ජනතාව දැනුවත් කිරීමේ දේශන ආදිය පැවැත්වීය.
විරුද්ධවාදීන්ගෙන් එල්ලවන අභියෝග මැඬලීම පිණිස මෙම චූලාලංකාර ධම්මගුප්ත පදනම කොළඹ
පිහිටි ශ්‍රී ලංකාණ්ඩුකාරතුමාගේ කර්යාලයෙන් ක්‍රි.ව. 1898 ඔක්තෝබර් මස 20 වන දින
අංක 3984 යටතේ ලියාපදිංචි කරන ලදී. මෙසේ දූරදර්ශීව ක්‍රියා කළ ශ්‍රී ධම්මරතන
නාහිමියන්ගේ පරමාර්ථය වූයේ ප්‍රදේශවාසීන් සාමාජික, ශාසනික, ආර්ථික, අධ්‍යාපනික ආදී
සෑම අංශයකින් ම නඟාසිටුවීමයි. මෙම අරමුණු බොහෝදුරට සාර්ථක කර ගැනීමට උන්වහන්සේ සමත්
වූහ. මහනුවර නගරයේ ඇතැම් ස්ථාන කිහිපයක හැර ගම්බද ප්‍රදේශවල මිෂනාරීන්ට පල්ලි
ඉදිකිරීමට හෝ වෙනත් බලපෑම් කරන්නට නොහැකි වූයේ මෙම නාහිමියන්ගේ බලවත් ප්‍රයත්නය
නිසා බව කිවයුතු ය. තවද සෑම ගමකම පාහේ චූලාලංකාර පදනම මඟින් විහාරස්ථාන ආරම්භ කොට
බොහෝ කුල දරුවන් සසුන්ගත කොට මහත් වූ ශාසනික ප්‍රබෝධයක් ද උදා කළහ.
දැන උගත් පිරිස මෙන්ම මුද්‍රිත පොතපත ද ඉතා දුර්ලභ වූ මෙම යුගයේ දී ධම්මරතන
නාහිමියන් විසින් විශේෂයෙන් ම නවක භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා ධර්ම විනය
පිළිබඳ සරල බසින් බොහෝ ධම්ම පත්‍රිකා අත් අකුරින්ම පිටපත් කොට ප්‍රචාරය කරන ලදී.
විශාල ලෝක ශාසනික මෙහෙවරක් සිදුකොට වදාළ ශ්‍රී ධම්මරතන නාහිමියන් ඉතා ප්‍රතිබල
සම්පන්න ශිෂ්‍යවරයන් වහන්සේලා පහළොස්නමක් සසුනට දායාද කළහ.
විශේෂයෙන් වසර 108ක් තරම් දීර්ඝායු ශ්‍රී වින්දනය කළ ධර්ම විනය පිළිබඳ ප්‍රායෝගික
ප්‍රාමාණික විද්වතකු වූ මධ්‍යම හා තදනුබද්ධ ප්‍රදේශවල ප්‍රධාන සංඝනායක බුද්ධශ්‍රාවක
ධම්මපීඨයේ විශ්‍රාමික මහාචාර්ය අතිපූජ්‍ය හපුගොඩ නන්දාරාමාභිධාන මාහිමිපාණන් වහන්සේ
ද, අනුරාධපුර ජයසිරිමහ බෝධීන් වහන්සේ අභියස ප්‍රථම රන්වැට ඉදිකළ අතිපූජ්‍ය යටිරාවණ
නාරද නාහිමිපාණන් වහන්සේ ද, ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය හඳුන්වා දුන් විද්‍යා විශාරද
පණ්ඩිත හපුගොඩ සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේ ද, රාජකීය පණ්ඩිත අත්තරගම වජිරජෝති
අනුනායක මාහිමිපාණන් වහන්සේ ද, ආදි මහා සංඝ පීතෘන් වහන්සේ ශ්‍රී ධම්මරතන
නාහිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍යන් අතර මෑත යුගයේ සසුන් කෙත බැබළවූහ.
මෙවන් අනභිභවනීය ලෝක ශාසනික සේවාවන් සිදුකොට වදාළ රාජපූජිත සිරි සද්ධම්මකිත්ති
විනයාචරිය ගණප්පධාන පෑලව ශ්‍රී ධම්මරතන නාහිමියන් ක්‍රි.ව. 1922 ජනවාරි 01 වන දින
මහනුවර දෙයියන්නේවෙල ශ්‍රී සුදර්ශනාරාමයේ දී සිහිනුවණින් යෙදී දිවන්ගත වී වදාළහ.
උන්වහන්සේට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
මෙම ලිපියේ මුල් කොටස මැදින් අව අටවක පෝදා පත්‍රයේ (25) පළවිය. |