[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

සිඳලිය යුතු සසර බැමි සිහියෙන් යුතුව

මිනිසත් කමක් පෙර පිනකින් ලැබුවෙන්
ජීවත් විය යුතුයි සිහි කල්පනාවෙන්
දහමට අනුව ගලපා සැම ක්‍රියාවන්
සිදු කළ හොතින් සැනසීමට හැක නිවනින්

එක කුස උපන් බව අමතක වී යනවා
වැට මායිමට ඉන්නට නිති පොර කනවා
නොදැනිම එක් අයකු මරණෙට පත් වෙනවා
අයියෝ ! අහෝ ! ලොව අදහම රජ වෙනවා

බුදු හිමි දෙසු ශ්‍රී සද්ධර්මය අනුව
පැදවිය යුතුයි සව්සත ජීවන ඔරුව
අකුසලයෙන් මිදි කුසලයට ම හුරුව
සිඳලිය යුතු සසර බැමි සිහියෙන් යුතුව

****

නිරිඳු පෑතිස්

පිළිගෙන මිහිඳු හිමි අටසැට ලෙන් පිදුව
මහමෙව්නාව තුළ බොදු සලකුණු තැබුව
දම්සෝ නිරිඳුගෙන් ගරු බුහුමන් ලැබුව
මෙලකට හුරුකළා තුම් ගුණදම් වැඩුම

මුටසිව නිරිඳු පුත් ලෙස ඉපදුණ දැයට
ඔබෙ නම බැබළුණා හෙළබිම තුළ යසට
දේවානම් පිය නමට නිති ගැලපෙන ලෙසට
දැරුවා කිරුළ ඔබ මගෙ ජාතියෙ පිනට

කරවට ගිලෙන සේ මහ සයුරට පැමිණ
මහ බෝ වැඩමුවා රජ සිරසින් රැගෙන
මහමෙව්නාව තුළ නිති සුදිලෙන ලෙසින
රඳවා ගරු කළා දිවි ඇතිතෙක් නිතින

****

සුගතිය හමුවනු කොහොම?

නොමනා අයුතු දේ මත ධන රැස් කෙරුම
යොමුවූ යුගය අද කවදාටත් වැඩිය
යෙදෙනා පවට දිය රත්වන තුරු කෙළිය
ගෙවනා කලට සුගතිය හමුවනු කොහොම

ඉසි කෝ මාන රැඳිලා හිස තුළ බොහොම
රිසි අකුසලයටයි කුසලය වෙත නැතිව
දිසි සුදු ඇඳුම තුළ පමණක් ගුණ සෙවුම
කිසි දින කෙලෙස ඉටුවෙ ද අනුවට දහම

නැති බැරි අයකු හට සරණක් නැත කිසිම
ඇති හැකි අයගෙ හිත කා බී ජොලි සැදුම
වෙති නෙක කුසල් ඒවා වෙත නැත හැරුම
ගැති වී පවට කෙලෙසක සුගතිය සෙවුම

දන් සිල් භාවනා ගැන නොමැතිය දැනුම
පන්සිල් වුව ද පමණක් පද හඬ නැඟුම
සන්සුන් නොවන මනසක කුසලය නැතිව
මේ ලෙස ගියොත් දුගතිය කැඳවයි බොහොම

****

සඟමිත් තෙරණියනි

සඟමිත් රහත් මෑණිය සිල් සුවඳ විහිදු
දෑතින් බෝහිමි පිදූ හදවත් නැමදූ
සිරිලක් මෑණියන් සමඟින් තුන් ලොව නැමදූ
අප සැමදෙන වඳිමු ජය ශ්‍රී මහා බෝ සමිඳු

මෙලොව පැවැත්මට දිරි දෙන මෑණිවරු
එබැවින් මෙහෙණි සස්නක් ලක්දිව විවර කෙරූ
සඟමිත් තෙරණියනි හද සොමිබරව ගරු
සිහිපත් කරමු ලොව බුදු සසුන තිබෙන තුරු

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

නවම් අව අටවක පෝය

 පෙබරවාරි 23 බදාදා අපරභාග 04.56 අව අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ගෙවේ.
23 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]