[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මානසික ආතතිය නිසා වැඩි වශයෙන් පීඩා විඳීන්නේ ඉවසීම නැති අය යි

මානසික ආතතිය නිසා වැඩි වශයෙන් පීඩා විඳීන්නේ ඉවසීම නැති අය යි

නිසලව ගලන ගංගාවකට වඩා ගල්පර බාධක මැඩ ගනිමින් ගලන ගංගාව පියකරු ය. සුන්දර ය. ගල්පරවල හැපුණ ද සියලු බාධක මැඩගෙන ගංගාව තම ගමනාන්තය තෙක් ම ගමන් කළ යුතු ය. අපගේ ජීවිතය නැමැති ගංගාව එබඳු ය.

උපතේ සිට මරණය දක්වා ජීවිතයේ ගෙවී යන සෑම දවසක් ම අප බලාපොරොත්තු වන ආකාරයට උදා නොවෙයි. අප බලාපොරොත්තු වන දේට වඩා නොසිතූ දේට මුහුණ දෙන්නට සිදු වේ. ඇතැම්විට මාස ගණනක් හෝ වසර ගණනක් බලා සිටි දෙය මොහොතින් වෙනස් වීමට ලක් වේ. නොසිතූ ලෙස අභියෝගවලට මුහුණ දීමට සිදුවෙයි. එසේම ඇතැම් විට බලාපොරොත්තු බිඳ වැටීමට තරම් ඇතැම් අවස්ථා උදාවෙයි. අප ඒ සියල්ල ජීවිත අත්දැකීම් ලෙස සැලකීමට පුරුදු විය යුතු ය. එසේ අත්දැකීමට නම් අප එක් දෙයක් පුරුදු කළ යුතු ය. ඒ ඉවසීමයි.

ඛන්තී පරමං තපෝ තිතික්ඛා යන බුද්ධ දේශනාවට අනුව උතුම් ම තපස නම් ඉවසීමයි. යමකුට දුකෙහිදීත්, සැපයේ දී ත් එක සේ ඉවසිය හැකි නම් ඒ උතුම් ම ඉවසීම යි. සමහරවිට ඇතැම්හු තමා අකමැති අත්දැකීමක් අත්විඳීමට සිදු වූ අවස්ථාවන් හි සුළු මොහොතක් එය විඳ දරාගෙන සිට, පසුව එය ප්‍රකෝපකාරී ව පිට කරති. ඇතැම් විට තම ඉවසීමේ සීමාව පන්නන්නට එපා යැයි පවසති. එය ඉවසීම නොවේ. කෝපය මැඩ ගෙන සිටීමකි. නැතහොත් කෝපය සිතෙහි තබා ගෙන, එය කායික ව හෝ වාචසික ව ක්‍රියාත්මක නො කිරීමකි. එසේ නොවී යමකුට එවැනි අවස්ථාවක සිතින් ද එය පාලනය කර ගෙන මැඩලීමට හැකි නම් එය මනා ඉවසීමයි. “ඉවසල ඉවසල බැරිම තැනයි ඉවසිය යුතුම තැන“ යනුවෙන් ජනවහරෙහි සඳහන් වන්නේ ද ඒ පිළිබඳ ව යි.

එසේ ම ඇතැම්හු තම දුබල කම නිසා ඉවසති. ඇතැමෙක් තම අනුවණකම නිසා ඉවසන අතර, තව කෙනෙක් ලාභ අපේක්ෂාවෙන් ඉවසති. එය ද මනා ඉවසීම නොවේ. එසේ නම් ඉවසීම යනු කුමක්දැයි හඳුනාගත යුතු ය. බුදුරජාණන් වහන්සේ ඉවසීම යනු කුමක්දැයි දක්වා ඇත්තේ යම් කෙනෙක් ශීතඋෂ්ණාධිය ද, සාගින්න ද, පිපාසය ද, මැසි මදුරුවන්ගේ, අව් සුළංවල පීඩා ද, සර්පයන්ගේ දෂ්ඨ කිරීම් ද, නොමනා කතා ද, ශරීරයේ හටගන්නා වේදනා ද ඉවසන්නේ නම්, එය ඉවසන්නකුගේ ලක්ෂණ බව යි.

සීතල, උණුසුම , කුසගින්න, පිපාසය ආදී මෙකී සෑම පීඩාවක් ම ජීවිතයේ අප සැමට අත්විඳීමට සිදුවෙයි. ඉගෙන ගන්නා දරුවකුට වුව ද, රැකියාවේ නියුතු වැඩිහිටියකුට වු ව ද මේවා පොදු අත්දැකීම් ය. නමුදු ඒවා විඳ දරා ගැනීමට නොහැකි වී නම්, එය ඔහුගේ ජීවිතේ පරාජය යි. ජීවිතය ජය ගැනීමට නම් එසේ සියලු පීඩා විඳ දරා ගැනීමට පුරුදු විය යුතු ය. ඇතැම්හු තම ජීවිතයේ මුහුණ පෑමට සිදුවන අමිහිරි අත්දැකීම් ඉවසීමට නොහැකිවීම නිසා තම ජීවිතයන් පවා අහිමි කර ගැනීමට කටයුතු කරති.

එවැනි දුක්බර කතා පුවතක් මීට වසර කීපයකට පෙර විදෙස් තොරතුරුවලින් අනාවරණය විය. විදේශීය එක්තරා විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය හැදෑරූ ශ්‍රී ලාංකික තරුණයකු එහිදි වෛද්‍ය වරයකු බවට පත්විය. අධ්‍යාපනය හදාරන කාලය තුළ තමාට මුණගැසුණු ශ්‍රී ලාංකික තරුණියක සමඟ වසර හතක් පමණ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා යුගදිවියට පත් විය. වෛද්‍යවරියක වූ ඇය සමග පුරා වසර දෙකක් පමණ සතුටින් දිවි ගෙවූ අතර, ඒ කාලය තුළ ඔවුනට කුඩා දරුවකුගේ සුරතල් ද දකින්නට හැකි විය. කාලය සෙමෙන් ගෙවෙන අතර, එක්තරා දිනෙක ඔවුන් දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාම නිසා කෝපයට පත් තරුණ වෛද්‍යවරයා තම බිරිඳ හා කිරිකැටි දරුවා මරා දමමින් තමා ද දිවි නසාගත් අවස්ථාවක් පිළිබඳ තොරතුරු අනාවරණය විය. කෙතරම් දැන උගත්කම් තිබුණත් ජීවිතේට එන ගැටලුකාරී තත්ත්වයන්ට ඉවසීමෙන් මුහුණ දීමට නොහැකි නම් එබඳු උගත්කම් ද, අර්ථාන්විත නොවන තරම් ය. මන්ද එවැනි පුද්ගලයන්ගෙන් සමාජයට යහපත් දෑ සිදු වු ව ද, ඒවා අභිබවා සිදුවන අයහපත ඉතා පීඩාකාරී ය.

එසේම ජීවිතයේ මුහුණ පෑමට සිදුවන අමිහිරි අත්දැකීම් ඉවසිය නොහැකි බොහෝ දෙනා සියදිවි නසා ගැනීමට පෙළඹීම වර්තමාන ලෝකය පුරාම දක්නට ලැබේ. ඇතැම්හු මව්පිය අවවාද ඉවසා ගන්නට නොහැකිව ද, විභාග ප්‍රතිඵල අපේක්ෂිත තත්වයක නොමැති වීම නිසා ද, ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම නිසා ද සියදිවි නසා ගැනීමට පෙළඹීමක් දක්නට ඇත. එහි සෑම අවස්ථාවකට ම මූලික හේතුව නො ඉවසීම යි. ජයග්‍රහණයේ දී අප සතුටට පත්වනවා සේ ම, පරාජයේ දී ද එය උපේක්ෂා සහගත ව විඳදරා ගැනීමට පුරුදු විය යුතු ය. ලෝකයේ විද්වත් සංගමයන් දක්වන ආකාරයට වසරකට ලක්ෂ ගණනක් ලොව පුරා සියදිවි නසා ගන්නා බව වාර්තා කොට ඇත. 2017 වසරේ ලොව රටවල් එකසිය හතක් ගෙන කරන ලද සමීක්ෂණයට අනුව සියදිවි නසා ගන්නා රටවල් අතුරෙන් ශ්‍රී ලංකාව හත් වන තැනට පත්ව ඇති බව සඳහන් කොට ඇත. පැය 24 පුරා ධර්මය පිළිබඳ සාකච්ඡා කරන බෞද්ධ රාජ්‍යයක් ලෙස උදම් අනන අප කොතරම් නම් ආධ්‍යාත්මික අතින් පසුබෑමකට ලක්ව ඇත්දැයි විමසිය යුතු කරුණකි.

ඉවසීම නොමැති වීමෙන් පුද්ගලයාට ඇතිවන අයහපත් ප්‍රතිවිපාක පහක් බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පඨම දුතිය අක්ඛන්ති සූත්‍රයේ දී දක්වා ඇත. එනම්

බොහෝ දෙනාට අප්‍රිය වීම

බොහෝ දෙනා අතර අමනාපකම් ඇති අයකු වීම

රෞද්‍ර අයකු වීම

බොහෝ වෛරයක් තිබීම

සිහි මුළාවෙන් කළුරිය කිරීම

යන මෙකී අවස්ථාවන් නො ඉවසන පුද්ගල චරිත තුළින් දැකගත හැකි ය. ප්‍රකෝපකාරී මානසික ආතතීන්ගෙන් කටයුතු කරන මෙවන් අය අන් මතයට ඇහුම්කන් නොදෙන අතර, හිතුමතේට කටයුතු කිරීමට ද පෙළඹෙති. එසේ ඇතිවන අධික කෝපය හා ක්ෂණික කෝපය නිසා මනුෂ්‍ය ඝාතන, පොදු දේපළ විනාශ කිරීම, කලකෝලාහල, රථ වාහන අනතුරු, සියදිවි නසා ගැනීම්, ආදී සමාජ ගැටලු බොහොමයක් ඇතිවීමට හේතු වෙයි.

පුද්ගලයකු සතුව තිබිය යුතු උසස් ම ගුණධර්මයකි ඉවසීම. ලොව බුද්ධත්වයට පත් සෑම බුදුවරයන් වහන්සේ නමක් ම බෝසත් අවධියේ දී ඉවසීම පාරමිතාවක් ලෙස සපිරිම ඊට කදිම නිදසුනකි. අප ගෞතම බුදුරජාණන් වහන්සේ ද පාරමීදම් පුරන සමයේ දී ඉවසීම ප්‍රගුණ කළ ආකාරය පිළිබඳ ජාතක කතා පොතෙන් තහවුරු වේ. බෝසතාණන් වහන්සේ තමන්ට වෛර කළ අයට, ද්වේෂ කළ අයට, ගර්හා කළ අයට වෛර නොකර, ද්වේශ නොකර, නිග්‍රහ නොකොට මෛත්‍රිය කරුණාව පැතිරවීම සිදු කළ බව ඉන් අනාවරණය වෙයි.

පෙර කලාබු රජ දවස කුරුණ්ඩක නම් තාපස ව සිටි බෝසතාණන් වහන්සේ රජුගේ පරිවාර ස්ත්‍රීන්ට දහම් දෙසූ නිසා අත් පා නාසාදිය ඡේදනය කරනු ලැබුවත්, රජු කෙරෙහි මෛත්‍රීයෙන් හා ඉවසීමෙන් කටයුතු කළ බව ශාන්තිවාදී ජාතකයෙහි සඳහන් වේ. තව ද බෝසතුන් වඳුරු කුලයක උපත ලද අත්බැව්හි ගොනුන් සොයා යමින් සිටි ගොවියෙක් මහා ප්‍රතාපයකට වැටී දවස් ගණනක් නිරාහාර ව සිටි මොහොතක බෝසත් වඳුරු රජු ඔහු ප්‍රතාපයෙන් ගොඩට ගත් මොහොතේ තමාගේ දිවි තොර කර ආහාරයට ගනු පිණිස තම හිසට ගලකින් පහර දෙනු ලැබුවත් ගොවියා කෙරෙහි ඉවසීමෙන් කටයුතු කළ කතා පුවතක් මහා කපි ජාතකයේ සඳහන්වේ. එසේම අප මහ බෝසතුන් ක්ෂාන්ති පාරමිතාව පුරන අවධියේ සීලව රාජ නමින් උපත ලබා රාජ්‍ය කරන දවස තම දේවිය දූෂණය කළ ඇමතියා විසින් පොළඹවන ලද රජකු රාජ්‍යය පැහැර ගැනීමට පැමිණි මොහොතේ තම අමාත්‍යන්ට ඔවුනට අත තැබීමටවත් ඉඩ නොදුන්හ. පසුව සතුරු රජ බෝසත් රජු සහිත අමාත්‍යවරුන් අල්ලා සොහොනෙහි ගෙල දක්වා පණපිටින් වල ලන ලදුවා රාත්‍රී කාලයේ සිවලුන් විසින් බිම කැනීමේ උපකාරයෙන් වලෙන් නැඟි ඇමතිවරුන් ද බේරා ගෙන රාජ මාලිගයට පැමිණි කල්හි තම සිරි යහනෙහි දුෂ්ට රජු සිටිනු දැක ඔවුන් නැසීමට තමන්ට අවස්ථාව තිබුණත් එසේ නො කොට ඔහු කෙරෙහි හිතවත් බවෙන් හා ඉවසීමෙන් කටයුතු කර සතුරු රජු මිතුරු කර ගත් අවස්ථාවක් සීලවරාජ ජාතකයේ සඳහන් වේ.

බෝසත් සිරිතේ එන මෙවන් පුවත් ඇතැමකුට අමනෝඥ ක්‍රියා ලෙස සිතෙන්නට ද පුළුවනි. නමුදු එහි ඇත්තේ ඉවසීමෙ උතුම් බෝසත් ගුණ ප්‍රකට වන අවස්ථාවන් ය. ඉවසීම ප්‍රගුණ කරන බෝසත් ගුණ ඇත්තෝ කිසිවකු කෙරෙහි ද්වෙශ සහගත ව හෝ අහිතවත් ලෙස කටයුතු නොකරති. මන්ද යමෙක් තමාට ද්වේෂ කරයි නම්, වෛර කරයි නම්, තමා ද පෙරළා ඔහුට එසේ කිරීමෙන් දෙපාර්ශවයට ම සිදු වන්නේ අයහපත් ප්‍රතිවිපාකයක් බැවිනි . බැනුම් ගැරහුම් කායික වධ හිංසා තුළින් දිවිය අහිමිවීමක්, සිරගත වීමක්, අමනාප කමක් එහි අවසන් ප්‍රථිපලය විය හැකි අතර, ඉන් තමා නොදැනුවත් ව ම අකුසල් රැස් කර ගැනීමක් ද සිදුවිය හැකි ය.

වරක් එක්තරා තෙරුන් වහන්සේ නමක් කුඹුරක් මැදින් වඩිමින් සිටි අවස්ථාවක උන්වහන්සේ ඉදිරියට ආ නො හික්මුණු කෙනෙක් උන් වහන්සේ කුඹුරට තල්ලු කර දමා දුවන්නට විය. මේ දුටු තවත් අයකු දුවැවිත් උන් වහන්සේව නැඟිටුවා, මඩ පිස සෝදා උන්වහන්සේට උපකාර කොට බලන්න අර මනුස්සයා ඔබ වහන්සේට කළ දෙය යැයි පැවසී ය. මා හට කුමක් කළේ දැයි විමසූ විට ඇයි ඔබ වහන්සේ කුඹුරට තල්ලු කළේ යැයි උන්වහන්සේ පිළිතුරු දුනි. එවිට උන්වහන්සේ සිනාමුසු මුහුණෙන්, නෑ ඔහු මට කිසිත් නොකළ බවත් ඔහු ඔහුට ම කර ගත්තා, ඔබ ඔබට ම කර ගත්තා යැයි පැවසූහ. එබැවින් කෙනකු තවත් අයකුට හිංසා පීඩා කිරීමෙන් සිදු කරනුයේ අකුසල් රැස් කර ගැනීමකි. නො ඉවසා තමා ද එයට ප්‍රතිචාර දැක්වීම තුළින් සිදුවන්නේ අගතියකි.

එබැවින් ළමා තරුණ මහලු ගිහි පැවිදි සෑම දෙනා ම නිවසේ ම ප්‍රගුණ කළ යුතු ගුණ ධර්මයකි. ඕනෑම කටයුත්තක් සාර්ථක කර ගැනුමට හැකි වනු ලබන්නේ ඉවසීමෙන් කටයුතු කළ හොත් පමණි. බුදුරජාණන් වහන්සේ ඉවසන තැනැත්තාට ලැබෙන ආනිසංස පහක් පිළිබඳ වදාරා ඇති බව අංගුත්තර නිකායේ දැක්වේ.

බොහෝ ජනයාට ප්‍රියවීම

මිතුරන් බහුලවීම

අපරාධ බහුල කොට නැත්තෙක් වීම

සිහියෙන් යුක්තව කලුරිය කිරීම

මරණින් පසු සුගතිගාමී වීම

සමාජයේ වෙසෙන පුද්ගලයන් විවිධාකාර ය. එ බැවින් පුද්ගලයන් පිළිබඳ කටයුතු කිරීමේ දී මනා ඉවසීමක් පැවතීම වැදගත් වේ. බුද්ධ දේශනාවට අනුව යමෙක් අන්‍යයන් කිපුණ බව දැන සිහියෙන් යුතු ව සංසිඳේ නම් නොකිපේ නම් එවැනි අය තමාගේ ද , අනුන්ගේ ද යහපත පිණිස කටයුතු කරන බව දක්වා ඇත.

වප් පුර අටවක
 

ඔක්තෝබර් 12 අඟහරුවාදා අ.භා 21.47 පුර අටවක ලබා 13 බදාදා අ.භා 20.08 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]