ජීවිතයට රැකවරණය දෙන සදහම් මාවත
කොළඹ ආනන්ද විද්‍යාලයේ
විශ්‍රාමික සහකාර විදුහල්පති
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
අයසාව මලං සමුට්ඨිතං - තදුට්ඨාය තමෙව ඛාදති
එවං අතිධොනචාරිනං - සකකම්මානි නයන්ති දුග්ගතිං
" යකඩයක මහත් ශක්තියක් පවතින්නාක් මෙන් යම් කෙනකු තුළ මහත් බලයක් පවතී. ඇදහීම,
විශ්වාසය හා පැහැදීම ඇති කරන ශ්‍රද්ධා නමැති බලය එයින් එකකි. නො පසුබස්නා වීර්යය
තවත් එකකි. මනා සිහිය සහ සිතෙහි එකඟතාව නම් වූ සමාධිය නමින් දැක්වෙන්නේ තවත් බල
දෙකකි."
යකඩයක් තුළ හට ගෙන එයින් ම මතු වූ මලය ඒ යකඩය ම කා දමයි. එසේ ම නුවණින් තොරව වසන
තැනැත්තාගෙන් සිදුවන අකුසල කර්මයන් ඔහු දුගතියට පමුණුවති යනු ඉහත සඳහන් ගාථාවෙහි
සරල අදහස යි.
මෙහි යකඩය පුද්ගලයකුට සමාන කොට ඇත. කෙනෙකු සිදු කරන වැරැදි හෙවත් අකුසල ක්‍රියා
යකඩයෙන් ම පැන නඟින මලයන්ට සමාන කරයි. ගාථාවෙහි අයසා යන වචනයෙන් දැක්වෙන්නේ යකඩය
යි. එය අතිශයින් වැදගත් ලෝහ විශේෂයකි. ඕනෑම සත්වයකුගේ ශරීරයක් නීරෝගි සම්පන්න ව,
යහපත් ව පැවතීමට නම් ඛනිජ ලවන, විටමින්, පිෂ්ට ධාතු ආදිය මෙන් ම යකඩ ද අවශ්‍ය බව
වෛද්‍ය ශාස්ත්‍රයෙහි දැක් වේ. එයිනුත් යකඩ හේතු කොට ගෙන ආයුෂ, වීර්යය, මදය වර්ධනය
කරන බවත්, රෝග නැසීමේ ශක්තියක් එහි ඇති බවත් පෙර දිග වෛද්‍ය ශාස්ත්‍රයෙහි සඳහන් වේ.
සරු සාරවත් වූ ගසක හටගෙන වැඩෙන්නා වූ පිළිලයකට එම ගස වැනසීමේ ශක්තිය ඇත. එමෙන් මහත්
ශක්තියක් ඇති යකඩය වුවත් කා දමා සියලු බල වනසා දැමීමට ඒ තුළින් පැන නඟින මලකඩවලට
හැකියාව ලැබෙයි.
යකඩයක මහත් ශක්තියක් පවතින්නාක් මෙන් යම් කෙනකු තුළ මහත් බලයක් පවතී. ඇදහීම,
විශ්වාසය හා පැහැදීම ඇති කරන ශ්‍රද්ධා නමැති බලය එයින් එකකි. නො පසුබස්නා වීර්යය
තවත් එකකි. මනා සිහිය සහ සිතෙහි එකඟතාව නම් වූ සමාධිය නමින් දැක්වෙන්නේ තවත් බල
දෙකකි. ප්‍රඥාව ද ඇතුළත් මේ පංච බලය ඕනෑම කෙනකුගේ ජීවිතයක් සාර්ථක කිරීමට පුදුම
ශක්තියක් ලබා දෙයි.
සැප සම්පත් සියල්ල නැති කොට කෙනකුට විපත් පමුණුවන මල වශයෙන් දැක්වෙන්නේ අප තුළ
පවතින කෙලෙස් ය. සසර වසන තුරු අප තුළ පැළපදියම් වී පවතින මේ කෙලෙස් නිසා ම අප
අකමැති වූ ජරා, ව්‍යාධි, මරණ, දුක්, දොම්නස් නිරන්තරයෙන් අප කෙරෙහි බලපායි.
බුද්ධිමත් ව සිතන විට පෙනී යන්නේ අප තුළ ම රැඳී සිටින ඒ කෙලෙස් මල අපගේ ම සතුරන් හා
සමාන බවයි.
තම භාර්යාව පසේ බුදුවරයකුට පිළිගන්වා තිබූ ආහාර පිළිබඳ ඇති වූ ලෝභ සහගත හැඟීම නිසා
අප බුදුරදුන් කල අපුත්තක සිටාණන් යැයි ප්‍රසිද්ධ ව සිටි මහා ධන කුවේරයාට බඩට
හරිහැටි අහරක් නොමැතිව දුක් විඳීන්නට සිදු වූ බව ධර්ම ග්‍රන්ථ පැහැදිලි කර දෙයි. තම
වස්තුව කෙරෙහි ඇති වූ අධික ආශාව නිසා තෝදෙය්‍ය නමැති බමුණා මිය ගොස් තිරිසන්
ආත්මයක් ලබා ගත් බව තවත් ප්‍රකට සිදුවීමකි. සිවුරකට ආසා කළ තිස්ස නමැති භික්ෂු නම
මිය ගොස් එකී සිවුරෙහි ඉණිකුණකු ව උපත ලැබීමේ පුදුම හා වේදනා සහගත සිදුවීම නිමිති
කොට මුලින් සඳහන් කළ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. මේ සියලු විපත්වල වගකීම
අන් කෙනකුට නොව ඔවුන් වෙත ම පැවරේ.
ආශාවෙන් බර වූ මනුෂ්‍යයා කෑම බීම්, ගේ දොර, ඇඳුම් පැළඳුම් කෙරෙහි අනවශ්‍ය කෑදරකමක්
දක්වා ක්‍රියා කරයි. ලෞකික සම්පත් කෙරෙහි දැඩි ලෙස ඇලෙයි. කොපමණ ඉන්ද්‍රියයන්
පිනවුවත් ඔහු තෘප්තියක් ලබා නො ගනී.
බුද්ධිමත් තැනැත්තා සීත, උෂ්ණ ආදිය හා මැසි මදුරු උවදුරු ආදිය වලකා ගැනීමේ
පරමාර්ථයෙන් ගේ දොර සාදා ඇඳුම් පැළඳුම් භාවිත කරයි. අනුන් මැඩීම පිණිස නොව සා
පිපාසා දුරු කොට නිරෝගී සම්පන්න ජීවිතයක් ගෙවමින් කුසල දහම් සම්පූර්ණ කිරීම උදෙසා
ශරීරය පවත්වාගෙන යාමට ආහාර පාන මෙන් ම බෙහෙත් හේත් ලබා ගැනීමට කැමති වෙයි. මේ
අන්දමට ගින්නෙන් මෙන් ම විදුලියෙන් ද ආරක්ෂා වී තමා ගේ බලාපොරොත්තු ඉටු කර ගන්නා
ඥානවන්තයකු ලෙස කටයුතු කළ හොත් අප තුළ කෙලෙස් මල මතුවිය නො හැකි ය. දුගතියකට නො
වැටීමට ඇති එකම මඟ මේ අන්දමට කෙලෙස් මල සිඳ දැමීම බව සිතට ගත යුතු ය. |