පිළියන්දල ජාතික පාසලේ ආචාර්ය
සිද්ධමුල්ල, සංඝාරාම පුරාණ විහාරයේ
තණමල්විල රාහුල හිමි
දඹදිව මගධ දේශයේ ඉට්ඨකාවතී හා දීඝරාජි යනුවෙන් ගම් දෙකක් විය. මෙහි “සංසාර මෝචක”
නම් වූ එක්තරා කුලයක් විය. මොවුහු බොහෝ දෙනා මිථ්‍යා දෘෂ්ටිකයෝ වූවෝ ය. මෙයින්
ඉට්ඨකාවතී ගමෙහි අතීත කාලයෙහි එක්තරා ස්ත්‍රියක් වූයේ පවට ලජ්ජා නො වූවා ය. මරණින්
මතු ප්‍රේතයන් අතර උපන්හ. එහි බොහෝ කාලයක් සා පිපාසාදී දුක් විඳ අප බුදුරජාණන්
වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වසන දවස එම ගම එම මිථ්‍යා දෘෂ්ටික කුලයෙහි ම
මිනිස් දුවක් ව ඉපිද සත් හැවිරිදි පමණ වූයේ ගම් වැසි අනෙක් දරුවන් සමඟ මහ මඟ
සෙල්ලම් කරමින් සිටියා ය.
ආයුෂ්මත් සැරියුත් මහ රහතන් වහන්සේ ම ගමම ඇසුරු කොට අරුණවතී නම් වූ විහාරයෙහි වැඩ
වසන්නේ තවත් භික්ෂූන් වහන්සේ පිරිසක් සමඟ මහ මඟ වඩින අතර තුර සෙල්ලම් කරමින් සිටි
දරුවන් පසු කළහ. මෙහි සිටි දරුවෝ මවුපියන්ගේ ගුණවත්කම් හා පෙර පුරුදු ඇත්තේ සියලු
ස්වාමීන් වහන්සේට පසඟ පිහිටුවා වැන්දාහු ය. සැදැහැ නැති දැරිය පමණක් නො වැන්දා ය.
සැරියුත් මහ තෙරුන් වහන්සේ නො මේ කුඩා දැරිය කෙරෙහි අනුකම්පා ඇත්තේ ඇගේ පෙර ජාති ය
ද, දැනුදු මිථ්‍යා දෘෂ්ටික කුලයෙහි උපත ලද මතුවට ද අපාගත වීමෙහි සුදුසුකම් දැක ඕ
භික්ෂූන් වඳින්නේ නම් නරකයෙන් මිදී, පේත ආත්මයක උපත ලදුවත් තමන් නිසාම සම්පත් ලබන
බවත් දැන මහත් කරුණාවෙන් ඇයට මෙසේ වදාළහ. ඔබ නොහික්මුණු දැරියක් සේ සිටිමින්
භික්ෂූන් වහන්සේ නො වඳින්නේ, ඔබත් වඳින්න” යැයි වදාළහ.
මෙය ඇසූ අනෙක් දැරිවියන් ඈ අතින් අල්ලා ගෙනවිත් බලෙන් මෙන් සැරියුතු මහ තෙරුන්
වහන්සේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලාට වැන්ද වූහ. ඇයට ද ආශිර්වාද කළ භික්ෂූන් වහන්සේ
ඉදිරි මඟ බලා වැඩියහ.
වැඩිවිය පැමිණි මේ දැරිය එම කුලයේ ම තරුණයකු හට විවාහ කර දෙන ලද්දේ පිරුණු ගැබ
ඇතිවම (තරුණ වියේදීම) කලුරිය කොට පේත යෝනියේ උපත ලද්දේ ය. දුර්වර්ණව සා පිපාසා ඇතිව
දැක්මෙන් බියකරු පෙනුම ඇත්තේ වූවා ය. මෙසේ වූ ඇය එක් රාත්‍රියක සැරියුත් මහ රහතන්
වහන්සේ හමුයෙහි එකත් පස්ව පෙනී සිටියා ය. මැය දුටු සැරියුත් මහ තෙරුන් වහන්සේ
දුර්වර්ණ වූ, කෘශ වූ, “ඉල්පුණු නහරින් යුත් සිරුර ඇත්තෙහි ය. ඉල්පුණු ඉළ ඇටින් සහ
සිහින් සිරුරින් යුතුව මෙහි සිටින තී කවරෙක් වේ දැයි විමසූහ.
“ස්වාමීනී, මම දුකට පත්ව මෙලොව උපන් ප්‍රෙතියක්මි. පව්කම් කොට මෙලොවින් පේත ලෝකයට
ගියා වෙමි.” ඔබ මෙලොවින් පේත ලෝකයට ගියේ කය, වචන, සිත යන තිදොරින් කුමන පවක් කළ
හෙයින් දැයි විමසූහ.
“ස්වාමීනි මට (අනුකම්පා ඇතිව) “දන්දෙව“ යි ආදී පින් කරවයි කියා මෙහෙයවීමට පියෙක් හෝ
මවෙක් හෝ අන් නෑයෙක් හෝ නො වීය. මිථ්‍යා දෘෂ්ටිගත පවුලකට කුලයකට හෝ පිරිසකට මැදිව
ඉපදීමේ අයහපත බලන්න.
එසේ පින් නො කළ හෙයින් මෙතැන් සිට අවුරුදු පන්සියයක් කල් මෙහි දුක් විඳින්නෙමි ය.
ස්වාමීනි පහන් සිත් ඇතිව ඔබ වහන්සේ මම වඳිමි. මහත් අනුභාව ඇති ධීරයන් වහන්ස, මට
අනුකම්පා කරන සේක්වා. යම් කිසිවක් දන් දී එහි පින මාවෙත අනුමෝදන් කරන සේක්වා. මා
දුගතියෙන් මුදාලන සේක්වායි” ඈ කීවා ය.
කාරුණික වූ ඒ සැරියුත් තෙරුන් වහන්සේ එක් මහණක් හට බත් පිඩක් ද රියනක පමණ පිළිකඩක්
ද එක් පැන් තළියක් ද දන් දී ඇයට ප්‍රාප්තිදානය (පින් අනුමෝදන් කරවීම) කළහ. දිව
බොජුන් සමාන භෝජන ද, දිව්‍ය වස්ත්‍ර සමාන දිව්‍ය සළු ද, පාන වර්ග ද ඒ දානයාගේ විපාක
වශයෙන් ඇයට උපන්නේ ය.
ඉක්බිති ඇය පිරිසුදු සිරුර ඇත්තී උතුම් වස්ත්‍රාභරණයෙන් සැරැසී මහත් වූ ශරීර
වර්ණයෙන් යුතුව දස දිග බබුළුවමින් නැවැත සැරියුත් තෙරුන් වහන්සේ කරා එළඹියා ය.
“මෙවන් වර්ණවත් ඔබ කුමන හේතුවකින් කුමන පිනකින් මෙසේ බබුළුවයි ද,
“ලෝකයෙහි කරුණා ගුණයෙන් යුත් සැරියුත් නම් වූ ඔබ වහන්සේ දුන් ඒ පිඩක් පමණ අහර ද,
රියනක් පමණ පිළි ද, තලියක් පමණ පැන් ද මහණුන්හට දානයක් වශයෙන් දී ඒ පින මට දුන්
හෙයින්. නග්න වූ කෘශ වූ දුර්වර්ණ වූ සා පිපාසායෙන් පෙළුණු පේතව සිටි මා මෙසේ වීය.
මෙවන් වූ මා දැන් බිය නැත්තී සිත් සේ රස මස වුළෙන් යුත් බත් කමි. නන්දන රජුගේ
ජීවිතය මෙන් කැමැති කැමැති වස්ත්‍ර හඳිමි. පැන් තළියෙහි විපාක ලෙස ගැඹුරු සතරැස්
පොකුණු මැවී ඇත. එසේ සැප ලබා දුන් කුළුණැති මුණිවරයකු වූ ඔබ වහන්සේ වැඳීමට මම මෙහි
ආමි. ”
ඒ පේතිය විසින් මෙසේ කී කල්හි ආයුෂ්මන් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඉට්ඨකාවතිය
දීඝරාජිය යන ග්‍රාම දෙක්හි ජනයා තමන් වහන්සේ වෙත පැමිණි කල්හි මේ කතා වස්තුව විස්තර
වශයෙන් වදාරමින් මිථ්‍යා දෘෂ්ටියෙන් ඔවුන් මුදා උපාසක භාවයෙහි පිහිටවූහ. සැරියුත්
තෙරුන් වහන්සේගේ මේ සත්පුරුෂ ක්‍රියාව භික්ෂූන් වහන්සේ අතර මාතෘකාවක් බවට පත්වීය. ඒ
භික්ෂූන් වහන්සේ මේ ප්‍රවෘත්තිය භාග්‍යවතුන් වහන්සේට සැළ කළාහු ය. භාග්‍යවත්
බුදුරජාණන් වහන්සේ ඒ කාරණය අර්ථෝත්පත්ති කොට ධර්මය දේශනා කළ සේක. බොහෝ පිරිසට මෙය
වැඩ සැලසුණහ.
මිථ්‍යා දෘෂ්ටිය යනු දස අකුසල් හි ඇති බලවත් ම අකුසලය වනවා පමණක් නොව විපාක දීමෙන්
ක්ෂයව යන අකුසලයක් ද නොවේ. එහෙයින් උපන් සත්වයා මිථ්‍යා දෘෂ්ටිගතව සිටින තාක් කල්
නැවැත නැවැත දුගතීන්හිම උත්පත්ති ලබනු ඇත. අනවරාග්‍ර (අග මුල නැති) මේ සංසාරයෙන්
මිදීමක් ද කිසිදා නොවේ. එහෙයින් යමකු මිථ්‍යා දෘෂ්ටියෙන් ගළවා ගන්නේ නම්, එය මහත්
සත්පුරුෂ ක්‍රියාවකි. ඔහුට හෝ ඇයට කළ හැකි උතුම්ම ලාභයකි. මේ මිථ්‍යා දෘෂ්ටිය නම්
යථා භූත ඥානයෙන් තොරවීම ය. හේතු ප්‍රත්‍යයෙන් ලොව හටගත් දේ භූත නම් වේ. එවන්
භූතයන්ගේ හට ගැන්මේ නියම ධර්මතාව නොදැනීම යථාභූත ඥානයෙන් තොරවීම ය. සත්වයා,
පුද්ගලයා ආත්මීය සංකල්පය යන වැරැදි ලෙස දැකීමෙන් මිදී ස්කන්ධ, ආයතන හෝ ධාතු වශයෙන්
හටගත් සියලු දේ දැකීම සම්‍යක් දෘෂ්ටිය යි.
මෙම කතා ප්‍රවෘත්තියෙහි ද සඳහන් පරිදි යමෙක් අයහපතෙන් මුදාලීමට තවත් කෙනෙකුට උපකාර
කළ හැකි ය. උදව් කළ හැකි ය. එය සත්පුරුෂයාගේ ලක්ෂණයකි. පළමු කොට තමන් වරදින් මිදී,
අන් අය ද එවන් වරදින් මුදා ගැනීම ඒ සත්පුරුෂ ගුණය යි. |