නවම් අමාවක 2021.03.12
දරුවන් ගැන අවදියෙන් සිටින්න
කාලය වේගයෙන් ඉගිළී යන බව බොහෝ දෙනාට වැටහෙන්නේ ගෙවුණු කාලය පිළිබඳ ආපසු හැරී බලන
විට ය . අතපසුවීම්, මඟහැරීම්, වැඩකල් දැමීම් වැඩි නම් ඒ තුළ වන පසුතැවිලිවීම ද ඉහළ
ය. පසුතැවිලි වීමෙන් පලක් නැත. කළ යුතු ඉදිරියට ඇති කාලය හෝ නිසි ලෙස හසුරුවා ගැනීම
ය. විශේෂයෙන් අති දුර්ලභ ව ලබාගත් මේ මිනිසත් බව තුළ මිනිස්කම පෝෂණය නොකළේ නම්, එය
තමන්ට පමණක් නොව හැදූ වැඩූ මව්පියන්ට, ජීවත්වන ගමට, රටට ද කරන නිගාවකි.
මහා සාගරය ගැඹුරු ය. එය නිශ්චිත ව මේ යැයි ප්‍රමාණය කළ නොහැකි ය. එහෙත් ආරම්භ වන
තැනම නොගැඹුරු ය. ගැඹුරට යන්නේ ක්‍රමයෙනි. ලොව සෑම දෙයකට ම මෙසේ පිළිවෙළක් ඇත.
හොඳින් සිතා මතා කටයුතු කරන්නට දියුණු මනසක් ඇති මිනිසාට ද ඒ පිළිවෙළ තිබිය යුතු ය.
ජීවිතයේ තබන හැම පියවරකින් ම එය ගම්‍ය විය යුතු ය. ඒ තුළ සංයමය, සිහි බුද්ධිය,
යෝනිසො මනසිකාරය අන්තර්ගත විය යුතු ය. ගෙවුණු කාලය සතුටින් ආවර්ජනය කළ හැකි එසේ
පියවර තැබූ පුද්ගලයාට පමණි. එතැන දී ජීවත්වන කාලය දිගු ද කෙටි ද යන්න නොවැදගත් ය.
තම දෙලොව දියුණුව සලසා ගනිමින්, අන්‍යයන්ට බරක් නොවී වැඩක් වන ලෙස කටයුතු කරමින්
ධර්මානුකූල ව ජීවත්වූ මිනිසුන් මිය ගිය ද නොමළවුන් වැනි ය. අලසකමින්, කාලය විනාශ
කරමින් තමන් ද පිරිහී රටට, ලෝකයට ද බරක් වන ලෙස හැසිරෙන්නා ජීවත් වුව ද මළ මිනිසකු
වැනි ය. කිසිදු ප්‍රයෝජනයක් නැත.
රටක හෙට දවස අද ළමා පරපුර ය. ඔවුන්ට ද පුරුදු පුහුණු කළ යුතු මළ මිනිසුන් ලෙස නොව
නොමළ මිනිසුන් ලෙස ජීවත්වන අයුරු ය. අභියෝගවලට මුහුණ දෙන ආකාරය,ඉවසීම, හොඳ නරක තෝර
බේරාගන්නා හැටි, යුතුකම් වගකීම් පුරුදු නොකළේ නම් හෙට දවසේත් අභාග්‍ය සම්පන්න
සිදුවීම් ගැන අසන්නට, දකින්නට ලැබෙනවා නො අනුමාන ය. පසුගියදා එවැනි සිදුවීම්
කිහිපයක් ම අසන්නට ලැබුණි.
වැදූ අම්මාගේ ම දෑතින් බිළිඳු දරුවකු අමානුෂික ලෙස පහරකෑම, තරුණියක් ගෙල සිඳ ඝාතනය
කිරීම වැනි සිදුවීම් වල මුල ළමා කාලයේ දරුවන් ගුණධර්ම ප්‍රගුණ නොකිරීම ය.
දරුවන්ට කවා පොවා අත පය හතර හැදුවාට පමණක් ප්‍රමාණවත් නැත. පොත පතේ දැනුම දී උගතෙක්
කළ පමණට ද පලක් නැත. එවැනි තත්ත්වයක දී ශරීරාංගවලින් අංග විකල නොවූව ද ඔවුන්
ආධ්‍යාත්මික ආබාධිතයන් බවට ඇද වැටෙනු ඇත.
අපේ දරුවන්ට එවැනි ඉරණමක් ළඟා කර නොදීමේ වගකීම පැවරෙන්නේ වැඩිහිටියන්ට ය. විශේෂයෙන්
ජීවිතයක වටිනාකම හඳුනාගෙන, අර්ථවත්ව ගත කරමින් ආදර්ශ සම්පන්නව ජීවත්වන මව්පියන්
දරුවන්ට යහපත් මාවත පෙන්වා දිය යුතු ම ය. එය ද ප්‍රමාණවත් නැත. නිරන්තරයෙන් ඔවුන්
පිළිබඳව ඇස ගසා සිටිය යුතු ය.
අද තරුණ දරුවන් බොහෝවිට මඟ තොටේ, කඩපිල් අසල කාලය අපතේ හරිනු දකින්නට නොලැබුණ ද
ජංගම දුරකථනය තුළ අන්තර්ජාලය තුළ සමාජ මාධ්‍ය භාවිතය තුළ මං මුළාවී ඇති බවක් පෙනේ.
මෙවැනි තත්ත්ව ඇති වන්නේ නිසි ඇල්මක්, බැල්මක් නොමැති දරුවන් තුළය. අප දරුවන්
පිළිබඳව වහා අවදි විය යුතුව ඇත. නොවුණහොත් සිදුවන්නේ අනාගතයේ දිනෙක ඉහිරුණු කිරට
හඬා වැටෙන්නට ය. |