මරණාසන්න මොහොතේ
සතුටින් සිටීමට නම්...
ඉධ මොදති පෙච්ච මොදති
කත පුඤ්ඤො උභයත්ථ මොදති
සො මොදති සො පමොදති
දිස්වා කම්ම විසුද්ධිමත්තනො
පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වේ.
පරලොව ද සතුටු වේ.
දෙලොව ම සතුටු වේ.
හෙතෙම, තමාගේ චර්යාවෙහි පිරිසුදුකම දැක සතුටු වේ.
අතිශයින් සතුටු වේ.
මෙම ගාථාව බුදුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයේ ධම්මික උපාසක තුමා
අරබයා දේශනා කරන ලද්දකි. ධම්මික උපාසක තුමා පන්සියයක් උපාසකයන් අතර ප්‍රධානස්ථානයේ
සිටියෙකි.
ඔහු බිරිඳ සහ දූ පුතුන් සමඟ එක්ව නිතර මහදන් පැවැත් වී ය. එසේම ඔහු සීලවන්ත සහ
ගුණවන්ත උපාසක තුමෙකි. දැහැමින් තම ජීවිතය ගෙවූ මොහුට කලක දී රෝගාතුර ව ඇඳෙහි වැතිර
සිටීමට සිදුවිය. මේ, තම ජීවිතයේ අවසන් මොහොත බව වැටහුණු උපාසක තුමාට අවසන් වරට බණ
ඇසීමට සිත් වී ඒ බව බුදුන් වහන්සේට දන්වා භික්ෂූන් කිහිප නමකට ආරාධනා කරවී ය. ඒ
අනුව වැඩම කළ භික්ෂූහු සතිපට්ඨාන සූත්‍රයෙන් ධර්ම දේශනා කිරීමට පටන් ගත්හ.
දේශනාව අතරතුර උපාසකතුමාගේ පුණ්‍ය මහිමයෙන් මෙහෙයවන ලද සදෙව් වැසි දෙවියෝ රිය සයක්
ගෙනැවිත් තම තමාගේ දිව්‍ය රථයන්ට නඟින ලෙස ආයාචනා කරන්නට පටන් ගත් හ. එය බණ ඇසීමට
බාධාවක් නිසා බණ අසා අවසන් වන තුරු මදක් ඉවසා සිටින ලෙස උපාසක තුමා දෙවියන්ට අතින්
සංඥා කළේ ය. මෙය දුටු භික්ෂූහු තම ධර්ම දේශනාව නැවතීමට කළ දැනුම් දීමකැයි සිතා
දේශනාව නවතා විහාරයට වැඩියහ.
පෙර මහත් අභිරුචියකින් බණ ඇසූ තම පියා අද ධර්ම දේශනාව නවත්වන්නට කීවේ මරණ බියෙනැයි
සිතා දූ දරුවෝ හඬන්නට වූ හ. මද වේලාවකින් උපාසක තෙමේ මේ සිදුවීම දෙස බලා කරුණු පහදා
දී දෙව්ලොවින් තමා රැගෙන යන්නට පැමිණි දිව්‍ය රථ ගැන තොරතුරු කීවේ ය. එසේම එම රථ තම
දූ දරුවන්ට පෙන්වීමට ගෙතූ මල් දමක් ගෙන අහසට විසි කරවී ය. එය රැඳුනේ තුසිත
දෙව්ලොවින් පැමිණි දිව්‍ය රථයෙහි ය.
එයිනික්බිති උපාසක තෙමේ මිය ගොස් දිව්‍ය රථයේ නැඟී සියලුදෙනාට සුගතියක ඉපදීම සඳහා
පස් පවින් සහ දස අකුසලයන්ගෙන් වැළැකී පින්කම් කරන ලෙස අවවාද කොට ඔවුන් බලා සිටිය දී
තුසිත දෙව්ලොව කරා ගියේ ය.
ධර්ම දේශනාව නවතා විහාරයට වැඩි භික්ෂූන් වෙත බුදුන් වහන්සේ, දිව්‍ය රථයන්ගේ
පැමිණීමත්, උපාසකයන් දිව්‍ය ලෝකයේ ඉපදීමත් පැහැදිලි කළහ. එවිට භික්ෂූහු ප්‍රකාශ කර
සිටියේ ධම්මික උපාසක තෙමේ මෙලොව ජීවත් වන කල්හි ඤාතීන්, දූ දරුවන් සමඟ පින් දහම්
කරමින් සතුටින් ජීවත්ව සිට, මිය ගොස් පරලොව ද සතුටු විය හැකි තැනක උපන් බවයි.
බුදුන් වහන්සේ එය අනුමත කරමින් පින් කළ තැනැත්තා දෙලොව ම සතුටු වන බව පැවසෙන ඉහත
ගාථාව දේශනා කළහ.
පින් කළ තැනැත්තා සෑම අවස්ථාවක ම තම පින්කම් ගැන සිහි කරමින් සතුටු වීම ස්වභාවික
දෙයකි. එලෙස කළ පින් පිළිබඳව කල්පනා කරමින් එහි අනුසස් සැලකීම එහි ඵලයාගේ මහත්ත්වයට
ද පිටුබලයක් වේ.
පින් නොකළ තැනැත්තාට මරණාසන්න කාලයේ තම පව් ගැන සිතා ශෝක වීමට කරුණු ඉදිරිපත්
වූවත්, පින් කළ තැනැත්තාට ඉදිරිපත් වන්නේ සතුටු වීමට කරුණු ය. ඒ අනුව දන් දීම වැනි
පුණ්‍ය කර්මයක් නිතර නිතර තම ජීවිතයේ පුරුදු කළේ නම් මරණාසන්න මොහොතේ ඔහුගේ සිහියට
නැගෙනුයේ දානය සඳහා උපකාර කොටගත් භෝජන, චීවරාදි කිසියම් දෙයකි. එම පුණ්‍ය කර්මයේ
විපාකයට අනුරූප වශයෙන් දෙවඟනන්, දෙව්විමන් ආදි ගති නිමිති අරමුණු වේ.
මෙසේ මරණාසන්න කාලයේ පින් කළ තැනැත්තාට කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත වශයෙන්
පෙනී යෑමෙන් උපදින සතුට අප්‍රමාණ වේ. එය මෙලොව සතුටට පත් වීමයි. පරලොව සුගතියක
ඉපදීමෙන් ලබන සැප සම්පත් විඳින එම තැනැත්තා එහි දී ද අප්‍රමාණ සතුටට පත් වේ. එනිසා
දෙලොව ම දුක් විඳීමට සිදුවන පාපයන්ගෙන් වැළැකී හැකි සෑම විටම මෙලොවත්,පරලොවත් සතුටු
වීමට හැකි පින් දහම් කිරීමට අදිටන් කර ගනිමු.
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
කඹුරුවෙල සීලානන්ද හිමි |