සංසාර ගමනේ
කෙළවර සොයනවා ද?
අතුරුගිරිය සදහම් පදනමේ
අනුශාසක
ගලිගමුවේ ඤාණදීප හිමි
මේ සංසාර ගමනේ භයංකර ස්වභාවය පිළිබඳ ව ඔබ මොහොතකට වත් සිතා තිබෙනවාද ? මනුස්ස
ආත්මයකට, කළ පිනක් පල දුන් නිසා ඉපදුණා හැරෙන්නට මැරෙන ඉපදෙන අපට මෙහි ඇති භයංකර
ස්වභාවය පිළිබඳ පැහැදිලි කර දිය යුතු යැයි කියලා සිතුවා.
තණ්හාවේ ස්වභාවය තමයි තණ්හාව නිසා අවිද්‍යාවෙන් මෙය වැසී තිබෙන එක.
ඒ බව බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා. අවිද්‍යාවෙන් වැහුණට පස්සෙ තණ්හාවේ
ලක්ෂණ තුනක් උන්වහන්සේ පෙන්වා දුන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව නිසා
පුනර්භවයක් ඇති වෙන බවයි. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා උපදින තැනට මෙය මගේ යැයි
කියා ආස්වාදයෙන් ඇලෙනවා කියන එක. එමෙන්ම උන්වහන්සේ වදාළා. උප නුපන් තැන සතුටින්
පිළිගන්නා බව. මේ තමයි පින්වතුනි, තණ්හාවේ ලක්ෂණ.
එය වඩාත් පැහැදිලි වෙන්න සරල ව අපි මෙසේ සිතමු. අප කවුරු හෝ දෙව්ලොව හෝ නරලොව හෝ
සිට මිය ගිහින් යළි මනුස්ස උපතක් ලබනවා. පුනර්භවයක් ලබනවා. ඊට පසුව කුමක් ද වෙන්නේ
ආශ්වාදයෙන් ඇලෙනවා.මේ මගේ දරුවෝ ,මේ මගේ ගෙදර , මේ මම හරි හම්බකරපු දේ ඒ වගේ. ඊට
පසුව උප උපන් තැන සතුටින් පිළිගන්නවා.
අද ඔබ ඉපදී ඉන්න තැන නැතුව වෙනත් රකට ඉපදුණා නම්, ඔබ එම තැන සතුටින්
පිළිගන්නවා.එයයි තණ්හාවේ ස්වභාවය.මේ ස්වභාවය මේ ලෝකයේ හැම සත්වයකු තුළම දකින්න
පුළුවන්.තිරිසන් වේවා අපායේ ඉන්න කෙනෙකු වේවා දෙව්ලොව ඉන්න කෙනෙකු වේවා මේ ස්වභාවය
දකින්න පුළුවන්.පින්වතුනි භයානකම දේ මේ අවිද්‍යාවයි, තණ්හාවයි රැගෙන අපි කවුරුත් මේ
සසරේ තාම ගමන් කරන එක.
බුදුරජාණන් වහන්සේ මේ ලොව දෙස බුදු ඇසින් බලා අපට පෙන්වා දුන්නේ පින්වතුනි, සතර
අපායේ ඉන්න පිරිස මහපොළවේ පස් තරම් කියා සිතන්න.එයිනුත් සුගතියක උපදින්නේ මේ නිය
පිටකට එන පස් තරම් කොටසක් කියා සිතන්න යනුවෙනි. අපේ ජීවිතයේ, මහ ගෙදරට කෙනකු ඇදෙනවා
සේ සතර අපායටමයි කෙනෙකුගේ සිත ඇදෙන්නේ. සාංසාරික සත්වයාගේ මහගෙදර තමයි සතර අපාය.
පෙර පිනකට අද අපි මනුස්ස ලෝකේ ජීවත්වෙනවා. හැබැයි මේ පින ගෙවෙනවා කියලා අපි හිතන්නේ
නැහැ.පින හැමදාම තියෙන්නේ නැහැ.පෙර පින විපාක දීලා අවසන් වෙනවා.ඒ පෙර පින ගෙවෙනකොට
අපි දන්නේ නැහැ පෙර අකුසලයක් බලවත් වුණොත්, සසරේ කළ කර්ම විපාකයක වැටුණොත් ඊළගට
නිරයේ හෝ තිරිසන් ලෝකයට හරි වැටෙන බව.
මෙය මම මහාකාශ්‍යප මහ රහතන් වහන්සේගේ කතාවකින් ම පහදලා දෙන්නම්.අපි අසා තිබෙනවා අසූ
මහා ශ්‍රාවකයින් වහන්සේ පිළිබඳව කල්ප ගණන් කාලයක් දාන සීල ආදී පාරමි පුරලයි අසූ මහා
ශ්‍රාවකයින් වහන්සේ බවට පත්වෙන්නට වාසනාව ලැබෙන්නේ.ඒ අසූ මහා ශ්‍රාවකයින් අතරින්
ශ්‍රේෂ්ඨතම කෙනා තමයි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ දවසක් නිරෝධ සමාපත්තියට
සමවැදී වැඩ සිටියා. එලෙස දින හතක් සමාපත්තියට සමවැදිලා අවසන් දවසේ උන්වහන්සේ ලෝකය
දෙස බැලුවා, කාටද අද මම පිහිට වෙන්නේ කියලා.
එහෙම නිරෝධ සමාපත්තියට සමවැදී සිටිය රහතන් වහන්සේ නමක් පිණ්ඩපාත වඩින විට
මුලින්ම දන් පිළිගන්වන්න පින තියෙන කෙනාට එහි ආනීසංස ලෙස ලැබෙන පින මෙලොව දී ම පල
දෙනවා කියලයි බුදුන් වහන්සේ දේශනා කළේ.
කෙසේ හෝ එදින මහාකශ්‍යප මහා රහතන් වහන්සේ ලොව දෙස බලන විට දුටුවා එක්තරා වැරහැලි
හැඳගත් කුදු වූ මැහැල්ලක බෙලෙක් පිඟානක් රැගෙන සිඟමන් යදින ආකාරය.ඇය කිසියම් කුෂ්ඨ
රෝගයකින් පෙළුණා. සිරුර පුරාම තුවාල හැදිලා. එවිට උන් වහන්සේ අද මම මේ අම්මට පිනක්
වෙනවා කියලා හිතලා භාවනාවෙන් නැඟිට ඒ සිඟමනේ යන කාන්තාව සිටිනා පේෂකාර කියන ගම
අරමුණු කොට පිණ්ඩපාතයට වැඩම කළා.
පින්වතුනි බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී දේහයට සමාන රුවක් තිබුණු රහතන් වහන්සේ නමක්
තමයි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ. ඒ නිසා බොහෝ දෙනෙක් මහාකාශ්‍යප මහරහතන් වහන්සේට
රැවටෙනවා බුදුරාජාණන් වහන්සේ වඩිනවා කියලා. ඔය හේතුවෙන් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ
හුදෙකලාව පිප්ඵලි ගුහාවේ වැඩ සිටියේ බුදු හාමුදුරුවෝ කියලා උන්වහන්සේට රැවටෙන නිසා.
කෙසේ හෝ එදා උන්වහන්සේ මෙලෙස නිරෝධ සමාපත්තියට සමවැදී පිඬුසිගා වඩින විට
දිව්‍යාංගනාවන් පන්සියයක් දිව්‍ය බොජුන් රැගෙන උන්වහන්සේ වඩින මඟ දෙපස රැඳී සිටියා
දානය පිළිගන්වන්න.
එහෙත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පාත්‍රය වසාගෙන විමසනවා, මේ තරම් දිව්‍ය සැප
සම්පත් විඳීන අතරේදිත් නුඹලා ඇයි මේ දුප්පත් තැනැත්තියගේ පින උදුරා ගන්න පැමිණියේ
කියා. ඒ වෙලාවේ දෙවියන් වෙන අපටත් ඒ පින වටිනවා කියලා ඒ දිව්‍යාංගනාවන් සාධු කාර දී
යන්න ගියා.
මේ වෙලාවේ අර සිඟමනේ යන මෑණීයන්ට එදා නිවෙසක් ගානේ ගියද කිසිදු ආහාරයක් ලැබී
නොතිබුණ අතර, ලුණු නැති කැඳ ටිකක් පමණක් ලැබී තිබුණා. ඔය අතරෙදි එම කාන්තාව දකිනවා
තමන් අබියස ඉන්න මහරහතන් වහන්සේ. ඒ වෙලාවේ ඇය කල්පනා කරනවා අද දවසම මට ලැබුණු එකම
කැඳ ටික.එයත් ලුණු නැති කැඳ.මෙය මටත් අපුලයි.කෙසේ නම් එය පිළිගන්වන්නද කියා.ඇගේ
හිතේ ශ්‍රද්ධාව තියෙනවා දන් දෙන්න.එහෙත් ලුණු නැති කැඳ ටික කෙසේ නම් දන් දෙන්නද? ඇය
හිතනවා කවුරුන් හෝ පැමිණ දානය පිළිගන්නවා නම් ඒ පින මටත් අනුමෝදන් වේවා කියලා.
ඈත තියා උවැසියන් උන්වහන්සේට දානය රැගෙන ආවත් උන්වහන්සේ ඒ සියල්ල ප්‍රතික්ෂේප
කරනවා. එවිට මේ මෑණියෝ සිතනවා උන්වහන්සේ දානය නොගෙන මා ඉදිරියේ වැඩ ඉන්නේ මට පිහිට
වෙන්නමයි සිතා අමාරුවෙන් ඇවිදගෙන ඇවිදින්, ස්වාමීන් වහන්ස අද දවසට ම මට ලැබුණේ මේ
කැඳ ටික විතරමයි. ඔබ වහන්සේගේ කැමැත්ත නම්, මම එය ඔබ වහන්සේට ශ්‍රද්ධාවෙන් පූජා
කරනවා යැයි කියා සිටියා.
මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පාත්‍රය විවර කොට දානය පිළිගත්තා. එවිට අර මෑණියන් පුදුම
වී දානය පිළිගන්වලා දණගහලා වැන්දා. එවිට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දිවැසින් බලා
දේශනා කරනවා, මෑණියනි මීට ආත්ම තුනකට පෙර ඔබ මාගේ මෑණියන් වී සිටි බව. ඒ වෙන විට ඒ
නගරයේ ම ඇය ඉපදිලා දුක් විඳිමින් සිඟමනේ යදිනකොට සියලු කෙලෙසුන්ගෙන් මිදී දෙව්
මිනිසුන් වන්දනා ලබන උතුම් මහරහතන් වහන්සේ නමක් විදිහට ආත්ම තුනකට පෙර සිටි
පුතණුවන් මෙසේ වැඩ ඉන්නවා. පින්වතුනි සංසාරේ හැටි බලන්න. මේ සංසාරේ භයානකකම. පෙර
සංසාරේ අපේ අම්මලා වූ අය අද කොහේ කොහේ ඇති ද? මෙයයි මේ සංසාරේ ස්වභාවය. ඒ නිසා මේ
සංසාර ගමනේ කුසල් රැස් කරන්න ඕන. එකිනෙකාට මෛත්‍රිය කරන්න පුරුදු වෙන්න ඕන. හැම
බුදු කෙනෙකු ම පෙන්වා දුන්නේ ‘සබ්බ පාපස්ස අකරණං’ සියලු පාපි අකුසල කර්මවලින්
වළකින්න. ‘කුසලස්ස උපසම්පදා’ හැකි තරම් කුසල් වඩන්න. ‘සචිත්ත පරියෝ දපනං’ තමන්ගේ
සිත දමනය කරගන්න. ‘ඒතං බුද්ධානු ශාසනං’ මෙයයි බුදුවරුන්ගේ අනුශාසනාව. ඒ තුළ පිහිටා
කටයුතු කරන්නට හැකි නම්, මේ සසර ගමනේ කෙළවර දක්නට හැකි බවයි.
ගලිගමුවේ ඥානදීප ස්වාමීන්වහන්සේගේ
ධර්ම දේශනාවක් ඇසුරිනි
- වසන්ත ජයසිංහ ආරච්චි |