[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සේනාසම්මත වික්‍රමබාහු නිරිඳුන් කරවූ සෙංකඩගලපුර පෝයමලු විහාරය

සේනාසම්මත වික්‍රමබාහු නිරිඳුන් කරවූ සෙංකඩගලපුර පෝයමලු විහාරය

ලක්දිව මහා විහාර වංශික සඟ පරපුරේ සුවිශේෂී මංසලකුණක් සනිටුහන් කළ විහාරස්ථානයක් ලෙස මහනුවර නගරයෙහි ශ්‍රී දළදා මාලිගාව පෙනෙන මානයේ මල්වතු මහාවිහාරයට ආසන්නයේ පිහිටි උපෝසථාරාමය හෙවත් පෝයමළු විහාරය සඳහන් කළ හැකි ය.


බෝධීන් වහන්සේ හා දෙමහල් පෝයමලුව
(විහාරයට නම් ලැබුණේ මෙම පෝයසීමාව නිසාය)

ගම්පොළ යුගයෙහි සිව්වන බුවනෙකබාහු රජතුමා විසින් ග්‍රාමවාසී හා වනවාසී මහා සංඝයා වහන්සේලාගේ පහසුව පිණිස කරවූ උඩුනුවර ලංකාතිලක රාජමහා විහාරය ලක්දිව මහාවිහාර වංශික සඟ පරපුරෙහි මූලස්ථානය වශයෙන් පැවති අන්දම එම විහාරයේ සෙල්ලිපියෙන් හෙළි වෙයි.

ලංකාතිලක විහාරයේ වාසය කළ හිමිවරුන් පසුව මහනුවරට වැඩම කොට පෝයමළු විහාරයේ වාසය කළැයි යනු පිළිගැනීමයි.

ගම්පොළ රජ පෙළපතින් පැවත ආ වීරවික්‍රම හෙවත් සේනාසම්මත වික්‍රමබාහු රජතුමා විසින් බුද්ධ වර්ෂ දෙදහස් අසූ පහේ දී කෝට්ටේ රාජධානියේ පාලනයෙන් මිදුණු ස්වාධීන පාලකයකු වශයෙන් සෙංකඩගලපුරයෙහි සිට පාලන කටයුතු ආරම්භ කරන ලද බව මහාවංසය, රාජරත්නාකරය, මල්වතු රාජාවලිය, කඩදොර සීට්ටුව, පල්කුඹුරේ විහාර සන්නස වැනි මූලාශ්‍ර මගින් හෙළිදරව් වෙයි. පාලන කටයුතු ආරම්භ කළ වකවානුවේදී ම සේනාසම්මත වික්‍රමබාහු රජතුමා විසින් රජ මැදුරට දකුණු දෙසින් සර්වඥ ධාතු නිධන් කොට දාගැබක් බඳවා, පිළිම ගෙයක් සහිත දෙමහල් උපෝසථාගාරයක් හා සංඝාවාස තනවා ඊට අතිරේක ව නා නා දිශාවන්හි විහාරස්ථාන අසූ හයක් කරවා සතර දිග් භාගයෙන් වැඩමවන ග්‍රාමවාසී සහ වනවාසී හිමිවරුන් වෙත පුද කළ පුවත සඳහන් වෙයි.

මෙම ද්වීභූමික හෙවත් දෙමහල් පෝය සීමා මන්දිරය නිසා මෙම විහාරස්ථානය උපෝසථාරාමය හෙවත් පෝයමළු විහාරය ලෙස හඳුන්වනු ලබයි. පෝයමළු විහාරය හැරුණු විට නාගවිමාන කන්දේ විහාරය සහ රාම විහාරය සේනාසම්මත වික්‍රමබාහු රජතුමා විසින් ඉදි කරවූ දැනට ශේෂ වී ඇති විහාරස්ථාන ලෙස හඳුනා ගෙන ඇත.

කෝට්ටේ රජ කළ බුවනෙකබාහු රජුගේ සහෝදරයකු ද බුවනෙකබාහු නමින් පැවිදි ව සිඳුරුවාන බද උඩුනුවර උරුලෑවත්තේ වාසය කළ කල්හි සේනාසම්මත වික්‍රමබාහු රජුගේ පුත් ජයවීර බණ්ඩාර රජතුමා එම හිමියන් පෝයමළු විහාරයට වැඩම කරවා, විශුද්ධි මාර්ගය රචනා කරවා, දහම් පඬුරු වශයෙන් පල්කුඹුර ගම්වරය පිරිනැමූ අතර, පසු කලෙක එම හිමියන් සෙනරත් රජුන්ට ගුරු වූ බැව් පල්කුඹුරේ විහාර සන්නසෙහි කියවෙයි.

බුවනෙකබාහු හිමියන්ගේ බෑණාවරයකු ද පැවිදිබිමට පත්ව පල්කුඹුර විහාරයේ සිදු කළ විහාර කර්මාන්තය කෙරෙහි පැහැදුණු වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා දළදා මාලිගාවේ තේවා කටයුතු භාර දුන් අතර,  උන්වහන්සේගෙන් පැවත ගෙන එන සඟ පරපුර පෝයමළු විහාරයේ කොබ්බෑකඩුවේ සඟ පරපුර ලෙස ප්‍රකට විය.

දෙවන විමලධර්මසූරිය රජ දවස දහස්තොට උපසම්පදා කර්මය සඳහා රක්ඛංග දේශයෙන් වැඩම වූ හිමිවරුන් පෝයමළු විහාරයේ වාසය කරද්දී ලක්දිව ධර්ම ශාස්ත්‍රීය දියුණුව අඩාල ව පැවතිය ද පෝයමළු විහාරවාසී වටපුළුවේ හිමියන් පාලි බසින් රක්ඛංග හිමිවරුන් සමඟ කතාබහ කිරීමට සමත්කම් දැක්වීය.

   

විහාර මන්දිරය

 


තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමි

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ගුරුවරයා වූ සූරියගොඩ සිල්වතුන් වහන්සේ පෝයමළු විහාරයේ වැඩහිඳීමින් රජ මැදුරේ ධර්ම දේශනා සඳහා වැඩම කළ අන්දම සංඝරාජ හිමියන් රචනා කළ ලේඛනයන්හි දක්වා ඇත.

සංඝරාජ හිමියන් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය සිදු කරන ලද්දේ පෝයමළු විහාරයේ වැඩසිටි පල්කුඹුරේ අත්ථදස්සි හිමියන් සහ වටපුළුවේ සාමණේර හිමියන් වෙතිනි. සරණංකර හිමියන් නරේන්ද්‍රසිංහ රජුගේ ඇරයුමෙන් පෝයමළු විහාරයේ වැඩ හිඳීමින් සාරාර්ථ සංග්‍රහය සහ භේසජ්ජමංජුසා සන්නය රචනා කරන ලදි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස වර්ෂ 1753 ඇසළ පුරපසළොස්වක පොහෝ දින සරණංකර සංඝරාජ මාහිමියන්ගේ මෙහෙයවීමෙන් සියම් ජාතික උපාලි මාහිමියන් ඇතුළු විසි වර්ගික සංඝ රත්නය වැඩමවා උපසම්පදාව යළි මෙරට පිහිටුවීමේ දී ප්‍රථමයෙන් ම උපසම්පදාව ලද්දේ පෝයමළු විහාරයේ නායක හිමියන් වූ කොබ්බෑකඩුවේ සාමණේර හිමියන් ය.

උපසම්පදාව යළි පිහිටුවීමෙන් පසු රජතුමා වැලිවිට සරණංකර මාහිමියන් වෙත සංඝරාජ පදවියත්, තිබ්බටුවාවේ බුද්ධරක්ෂිත මාහිමියන් වෙත පෝයමළු විහාරයේ සහ මල්වතු විහාරයේ නායක පදවියත්, උරුලෑවත්තේ ධම්මසිද්ධි මාහිමියන් වෙත අස්ගිරි විහාරයේ සහ විජේසුන්දරාරාමයේ නායක පදවියත් පිරිනමන ලදී. තිබ්බටුවාවේ හිමියන් සහ උරුලෑවත්තේ හිමිවරුන් වෙත උප සංඝරාජ පදවි ද පිරිනැමූ බව මන්දාරම්පුර පුවතෙහි සඳහන් වෙයි.

එතැන් සිට අද දක්වා මල්වතු පාර්ශ්වයේ මහානායක පදවියට පත් වන මාහිමිපාණන් වහන්සේලා පෝයමළු විහාරයේ සහ මල්වතු විහාරයේ විහාරාධිපති පදවිය හොබවන බැවින් මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති යනුවෙන් සම්භාවනාවට පත් වෙති.

බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ නිධන් කොට ඇතැයි සැලකෙන සිව් ස්ථාන අතර නරේන්ද්‍රසිංහ රජු නවීකරණය කළ පෝයමළු විහාරයේ දාගැබ ද එක් ස්ථානයක් වන අතර, දළදා මැඳුර, නාථ දේවාලය සහ බෙලිගල විහාරයේ පිහිටි දාගැබ් අනෙක් ස්ථාන වෙති.

මුල් ඉදිකිරීමෙන් පසු සිංහල රජවරු රැසක් යුගයෙන් යුගය පෝයමළු විහාරය ප්‍රතිසංස්කරණය කළහ. පුරිජ්ජල සරණංකර මහ නා හිමියන්, රඹුක්වැල්ලේ විපස්සි මහ නා හිමියන් සහ වර්තමාන මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නා හිමියන්ගේ අනුශාසනා පරිදි කාලානුරූපී ප්‍රතිසංස්කරණ සිදු කරවීය.

කොබ්බෑකඩුවේ සිරිනිවාස

මහ නා හිමි, අමුණුගම පියදස්සි මහ නා හිමි, පහමුණේ සුමංගල මහ නා හිමි, අමුණුගම රාජගුරු විපස්සි මහ නා හිමි යන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පෝයමළු විහාරයේ සංඝ පරපුරවලින් මල්වතු පාර්ශ්වයේ මහානායක පදවිය හෙබවූහ.

  උඳුවප්
පුර අටවක 

දෙසැම්බර් 21 සඳුදා
අපරභාග 04.15 න් පුර අටවක ලබා 22 අඟහරුවාදා අපර භාග 06.14 න් ගෙවේ.
සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]