වහා අවබෝධ වන
භික්ෂුණීන් වහන්සේ අතරින් අග්‍ර වූ
භද්‍රා කුණ්ඩලකේසා මහ රහත් තෙරණිය
*
තල් ඇට දෙකකින් කෙස් උදුරා, කහට ඇති දත් දෙපළක් තබාගෙන
මම ගත කළේ පුදුම ජීවිතයක්. ඒ කාලයේ මම පෙරවූයේ එකම කිළිටු වූ සළුවක්. වැරැදි දේ මම
හරි ලෙස දුටුවා. හරි දේ වැරැදි ලෙස දුටුවා.
*
දිනක් මම දිවා විහරණයෙන් පසුව ගිජුකුළු පව්වෙහි භික්ෂූන් වහන්සේ පිරිවරා සිටි
බුදුරජාණන් වහන්සේ දුටුවා. දණ බිම ඔබා වැඳගෙනයි මම උන්වහන්සේ ඉදිරියේ සිටියේ.
පින්වත් භද්‍රා මෙහි එන්නැයි උන්වහන්සේ මට කතා කළා. එය මාගේ උපසම්පදාව යි.
*
අංග, මගධ, කාසී, කෝසල යන ජනපදවල ඒ කාලයේ මම ඇවිද ගියා. නමුත් දැන් මම පිණ්ඩපාතය
වඩින්නේ ණය නැති තැනැත්තියක් ලෙසට යි. භික්ෂුණියක් ලෙස පිණ්ඩපාතය වළඳන්නට අරගෙන
දැනට වසර පනහක් වෙනවා.
සියලු බැඳීම්වලින් මිදුණා වූ මේ භද්‍රාට යම් උපාසකයෙක් සිවුරක් පිදුවා ද, ඒ
තැනැත්තා බෙහෙවින් පින් රැස් කරගත් කෙනෙක්.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සමයේ හංසවතී නුවර කුල ගෙයක ඉපදුණු තරුණියක සියලු සැප
සම්පත් මැද හැදී වැඩුණා.
දිනක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වහා අවබෝධ කර ගන්නා භික්ෂුණීන් අතරින්
අග්‍රස්ථානය එක් තෙරණියට පුදනු දැක තමාට ද යම් බුදු සසුනක වහා අවබෝධ කරගන්නා
භික්ෂුණිය වීමට ඇත්නම් කියා සිතිවිල්ලක් උපදවා ගත්තා.
එදා පටන් ඇය බොහෝ පින්දහම් කළා. මරණින් මතු දෙව්ලොව ඉපදී දීර්ඝ කාලයක් එහි වාසය
කළා. අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ ඇය රජගහනුවර සිටු කුලයක උපන්නා. ඕ
භද්‍රායි. මහත් සැප සම්පත් මැද හැදී වැඩුණු භද්‍රා කුමරිය තරුණ වියට එළැඹුණා.
දිනක් සිටු මැදුරු කවුළුවෙන් වීදිය දෙස බලා සිටිද්දී ඇය දුටුවේ සන්තුක නම් සොරා මරණ
දඬුවමට යටත් ව වධක භූමියට රැගෙන යන ආකාරය යි. ඔහු දුටු විට ම ඇයට ඔහු කෙරෙහි ආලයක්
උපන්නා.
“මට ඔහු සමඟ විවාහ වීමට නො ලැබෙන්නේ නම්, මම මිය යන්නෙමි” කියා ඇය සයනයේ වැතිර
ගත්තා.
කුමරියගේ පියා ඒ පුවත අසා තම එකම දියණියට ඇති සෙනෙහස නිසාම වධකයාට කහවනු දහසක
අල්ලසක් දී සන්තුක නම් සොරා මුදවා ගත්තා. පසුව ඔහු සුවඳ දියෙන් නහවා, සියලු
ආභරණයෙන් සරසවා මාලිගාවට කැඳවා ගෙන ආවා. භද්‍රාවන් ද විශේෂ වූ ආභරණවලින් හා
ඇඳුම්වලින් සැරසී ඔහු හා විවාහ වුණා.
භද්‍රා කුමරිය එදා සිට තම ස්වාමියාට ඉතා සෙනෙහසින් උපස්ථාන කළා. කිසි විටෙක ඔහු
සොරෙක්, දිළින්දෙක් කියා සිතුවේ නැහැ. එහෙත් දින කිහිපයකින් මේ සන්තුක සොරාට
කුමරියගේ ආභරණ කෙරෙහි ලෝභ සිතක් හට ගත්තා. පරණ පුරුදු ඉස්මතු වුණා. කුමරිය සතු
සියල්ල තමා සතු කර ගැනීමට ඔහු උපායක් යෙදුවා. දිනක් ඔහු කුමරියට මෙසේ කියා සිටියා.
“සොඳුරිය, රාජ පුරුෂයන් මා අල්ලා ගත් වේලාවේ දී මාගේ ජීවිතය රැක දෙන්නේ නම් මා චෞර
පර්වතයේ අධිගෘහිත දේවතාවන්ට බලි කර්මයක් කිරීමට බාර වුණා. එනිසා එයට අවශ්‍ය දේ
සූදානම් කරගෙන අප එහි යමු”.
එසේය හිමියනි, යි පැවසූ භද්‍රා කුමරිය සියලු දේ සූදානම් කරගෙන තමා සතු වටිනා
ආභරණවලින් සැරසී චෞර පර්වතය බලා පිටත් වුණා. ඒ යන අතරමඟ දී සන්තුක වචනයක් කතා කළේ
නැහැ. ඇය නො රුස්සන අයුරින් හැසුරුණා. එවේලෙහි ඇයට මහත් බියක් ඇතිවුණා. තමාට යම්
කරදරයක් වේදැයි සිතුණා. පළමු වරට තම ස්වාමියා පිළිබඳ ඇය තුළ සැකයක් උපන්නා.
කඳු මුදුනට නැඟගත් පසු සන්තුක සොරා කුමරියට කියනවා
“සොඳුරිය ඔබේ සියලුම ආභරණ ගලවා ඔබේ උතුරු සළුවට දමා පොට්ටනියක් බැඳ මා හට දෙන්න.”
“ස්වාමීනි ඒ කවර හේතුවකට ද?”
“ නුඹ මෝඩ ස්ත්‍රියක්. නුඹ සිතන්නේ මම සැබෑවට ම බලි කර්මයක් කිරීමට ආවා කියා ද? ඔය
ආභරණ රැගෙන මම නුඹව මරා දමනවා.”
“ස්වාමීනි මේ සියලු ආභරණ ඔබ ගන්න. නමුත් දාසියක් මෙන් ඔබත් සමඟ ජීවත්වීමට පමණක් මට
අවස්ථාව දෙන්න.”
“භද්‍රා, සියලු ආභරණ වහා ඉවත් කරනු. දැන් හඬා වැළපීමෙන් ඇති වැඩේ කුමක් ද? මට
අවශ්‍ය වූ ධනයක් ලබා නො ගෙන නැවත මම ගිය අවස්ථාවක් නම් මට සිහි වන්නේ නැහැ.”
එවිට භද්‍රා කුමරිය හැඬීම නතර කළා. මඳක් කල්පනා කළා. දැන් කළ යුතු වන්නේ කාර්යයන්
දෙකකින් එකකි. එකක් මියයාම යි. නැතිනම් මොහු මරා දැමීම යි. ‘මේ දෙකෙන් කිසිදු
අනුකම්පාවක් නැති මේ සොරා මරා දැමීම මම වහා කරනවා‘ඇය තීරණයකට ආවා.
“ස්වාමීනි, මා දැනගත් කාලයක පටන් ඔබට වඩා ප්‍රිය වූ අනෙකෙක් ගැන මට මතක නැත. එනිසා
අවසන් වතාවට ඔබට පැදකුණු කොට වැළඳ ගැනීමට මට අවසර දෙන්න.” ඇය ඉල්ලා සිටියා. සොරා
ඇයට අවසර ලබා දුන්නා.
“හැම තැනක දී ම පුරුෂයා නැණවතෙක් නොවේ. ඒ තැන දී ස්ත්‍රිය ද ප්‍රඥාව ප්‍රකාශ කරන්නී
ය. ඒ වගේම සෑම තැනක දී ම පුරුෂයා නැණවතෙක් නොවේ. ස්ත්‍රිය
ද ක්ෂණික ව සිතා නැණවත් ව ක්‍රියා කරන්නී ය.” භද්‍රා කුමරිය සිතුවා.
ඉන්පසු වීර්යය ගෙන ඒ සොරා තදින් වැළඳගෙන සන්තුක පර්වතයෙන් පහළට තල්ලු කළා. ඔහු වැටී
සුණු විසුණු වුණා.
ඊට පස්සේ භද්‍රා හිතනවා,
“මට දැන් නැවත මාගේ මව්පියන් වෙත යා නොහැකි යි. එනිසා මම පැවිදි වෙනවා” ඇය
නිගණ්ඨයින් සිටින ආරාමයකට ගොස් පැවිද්ද ඉල්ලා සිටියා. එයට අවසර දුන් ඔවුන් තල් ඇට
දෙකක් අරගෙන ඇගේ කෙස් උඳුරා ඇය පැවිදි කළා. නැවත ඇගේ කෙස් වැඩුණේ කුණ්ඩලාකාරවයි.
එතැන් පටන් ඇය ‘කුණ්ඩලකේසා’ නමින් ප්‍රසිද්ධ වුණා.
ඇය නිගණ්ඨ දහම ඉක්මනින් ඉගෙන ගත්තා. නමුත් ඒ දහමෙන් ඇගේ ජීවිතේ ඇති හිඩැස පිරවුණේ
නැහැ. එනිසා ඇය සෑහීමකට පත් වුණේ නැහැ. නිගණ්ඨයින් දන්නා සියලු දේ ඉගෙන අවසන් කළත්
ඇයට ජීවිතයේ හිස් බවක් දැනුණා.
දිනක් ඇය නගරයේ සැරිසරද්දී සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිරිසකට ධර්මය දේශනා කරනවා
දුටුවා. ඇය සෙමින් පිරිස පිටුපස සිට ඒ ධර්මය අසා සිටියා. සසරේ බොහෝ පින් කර තිබූ
නිසා උන්වහන්සේ වදාළ ඒ දහම ඇයට වහා වැටහුණා.
ඇය මහත් ප්‍රීතියට පත් වුණා. දේශනාව අවසානයේ ඇය සාරිපුත්තයන් වහන්සේ වෙත ගොස්
වැඩිදුරටත් ධර්ම කරුණු විමසා සිටියා. උන්වහන්සේ ඇය බුදුරජාණන් වහන්සේ වෙත රැගෙන
ගියා.
ඇයගේ නුවණ හොඳීන් මුහුකුරා ගොස් ඇති බව දුටු භාග්‍යවතුන් වහන්සේ ඇයට ආයතන, ස්කන්ධ,
ධාතු ආදිය විස්තර කරමින් ධර්මය දේශනා කර භාවනා වඩන ලෙස අවවාද කළා.
ඇය නිගණ්ඨ ආරාමයෙන් ඉවත් ව භික්ෂුණීන් වහන්සේ වෙත පැමිණ පැවිදි වුණා. ධර්මය, විනය
හොඳීන් අධ්‍යයනය කළා. උපසම්පදාව ලැබුවා.
දිනක් තෙරණිය පය සෝදා කුටියට ඇතුළු වුණා. පළඟක් බැඳ වාඩි වුණා. පුරුදු කළ භාවනා
වැඩීමට පටන් ගත්තා. ටිකෙන් ටික තෙරණියගේ සිත තැන්පත් වුණා. කෙලෙස් දුරු වුණා. සිත
දුකෙන් නිදහස් වුණා. සසරේ ඇති සියලු බැඳීම් කඩා සුණුවිසුණු කළා. තෙරණිය පෙර විසූ
භවයන් දකින නුවණ ලැබුවා. දිවැස පිරිසුදු කර ගත්තා. සියලු අකුසල් ගෙවා අවසන් කළා.
බුදුරජාණන් වහන්සේගේ සියලු අනුශාසනා පිළි පැද්දා. මහා බරක් බිම තැබුවා මෙන් තෙරණිය
සැහැල්ලුවත්, සැනසීමත් ලැබුවා.
දිනක් භාග්‍යවතුන් වහන්සේ අග්‍රස්ථාන පිරිනමන අවස්ථාවේ දී ‘වහා අවබෝධ කර ගන්නා’
භික්ෂුණීන් වහන්සේ අතරින් අග්‍ර වන්නේ භද්‍රා කුණ්ඩලකේසා භික්ෂුණිය බව වදාළා.
දිනක් උන්වහන්සේ උදාන වශයෙන් මෙසේ වදාළා.
නයනා නිල්මිණී |