වැඳීමේ අනුසස්
රේරුකානේ
චන්දවිමල මහා නා හිමි
වැඳීමට පිදීමට සුදුසු ගුණයන්ගෙන් යුත් බුද්ධාදි උත්තමයන් වහන්සේලාට වැඳීමෙන් ලැබෙන
අනුසස් මෙලොව පරලොව දෙකෙහි දී ම ලැබෙන්නේ ය.
අභාවාදනය කරන ස්වභාවය ඇත්තා වූ නිතර වැඩිහිටියන්ට ගරු බුහුමන් කරන්නා වූ තැනැත්තාට
ආයුෂය, වර්ණය, සැපය බලය යන මේ ධර්මයෝ සතර දෙන වැඩෙත් ය.
මේ ආයු වැඩීම යැ යි වදාරා ඇත්තේ, අභිවාදනය කරන මනුෂ්‍යයාට නියම ආයුෂය ඉක්මවා
අභිවාදනයේ බලයෙන් වර්ෂ සිය ගණනක්, දහස් ගණනක් ජිවත්විය හැකි බව නො ව, රෝගාදි
අන්තරායයන් නිසා ආයුෂය තිබිය දී අතරකදී මරණය නො වී නියම ආයු කාලය ජීවත්විය හැකිවීම
ය.
වන්දනාමය කුසලය පැමිණෙන්නා වූ රෝගාදි අන්තරායයන් මැඩලිය හැක්කේ ද ඒ කුසලයේ බලය අනුව
ය. වඳින්නවුන්ගේ නුවණ හා ශ්‍රද්ධාව අනුව වන්දනාමය කුසලය ද කුඩා මහත් වේ.
දුබල වන්දනාමය කුසලය බලවත් හේතුවකින් පැමිණෙන අන්තරායයන් මැඩලීමට සමත් නො වේ.
ස්වල්ප වූ ජලය මහ ගින්නක් නිවීමට සමත් නො වන්නාක් මෙනි. බලවත් වන්දනාමය කුසලය එයට
වඩා බලයෙන් අඩු අකුසලයන් නිසා වන අන්තරාය වළක්වා දිවි රැකදීමට සමත් වේ.
නුවණින් තොරව කරන දුබල වන්දනාමය කුසලයන්හි එතරම් බලයක් නැති බව කිව යුතු ය. නුවණින්
යුක්තව බලවත් සැදැහැයෙන් යුක්තව දවස දෙවේලේ තුනුරුවන් වඳින තැනැත්තාගේ ඒ කුසලය ඉතා
බලවත් ය. එය අනේකාන්තරායයන් දුරුකොට ආයුරාරෝග්‍යාදි අනේක සම්පත් සාදා දීමට සමත් වේ.
රේරුකානේ චන්දවිමල නා හිමියන්ගේ ‘පුණ්‍යෙපදේශය’ ග්‍රන්ථය ඇසුරිනි. |