[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දසත සුපතළ පෙරදිග මහා තක්සලාව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් විහාරය

දසත සුපතළ පෙරදිග මහා තක්සලාව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් විහාරය

මෙරට අග‍‍්‍රගණ්‍ය ප‍‍්‍රාචීන භාෂා සහ බෞද්ධ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙසින් සම්භාවිත පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන දෙස, බස, දැය, සමය උද්දීපනය කරවීම උදෙසා සිදු කළ මෙහෙවර අනල්ප වෙයි. විද්‍යාලංකාර පිරුවනෙහි ශාස්ත‍ී‍්‍රය මෙහෙවර ඇගයීම නොව සම්භාව්‍ය පුරාණ විහාරස්ථානයක් වශයෙන් වැදගත්කම මෙහි විස්තර කරනු ලබයි.

මහනුවර යුගයේ ස්‍යාමෝපසම්පදාව පිහිටුවීමෙන් පසු කොළඹ දිසාවෙහි ශාසනෝද්දීපනියට කැප වූ ආසිදෙණියේ ධර්මකීර්ති හිමියන් විසින් පුනර්ජීවය ලබා දුන් ප‍‍්‍රථම විහාරස්ථානය ලෙස රත්මලානේ පුරාණ විහාරය හඳුන්වා දිය හැකි ය. වලානේ ශී‍්‍ර සිද්ධාර්ථ මාහිමියන් සෙවණේ ශාස්ත්‍රෝද්ග‍‍්‍රහණය කළ දෙස් විදෙස් සුපතළ කීර්තිමත් හිමි නමක වූ රත්මලානේ පුරාණ විහාරාධිපති රත්මලානේ ශ‍ී‍්‍ර ධර්මාලෝක මාහිමියන් වහන්සේ සහ තත් ශිෂ්‍ය රත්මලානේ ශ‍ී‍්‍ර ධර්මාරාම නාහිමියන් වහන්සේ කැලණි ප‍‍්‍රදේශවාසී හිමිවරුන්ගේ සහ දායකයන්ගේ ඇරයුම පරිදි 1874 වර්ෂයේ දී පෙතියාගොඩ විහාරයේ ද 1875 වර්ෂයේ දී දළුගම ග‍‍්‍රාමයේද වස් විසූහ. මෙම කාලයේදී දොන් ආබ‍‍්‍රහම් සමරතුංග රන්දුනු බස්නායක මුහන්දිරම් රාළහාමි ප‍‍්‍රමුඛ පළාතේ ප‍‍්‍රභූන්ගේ දායකත්වයෙන් විද්‍යාලංකාර දායක සභාව පිහිටුවා ගන්නා ලද අතර, එම සභාව විසින් මිලට ගත් පෑලියගොඩ තොරණ හන්දියට යාබද ගාලගොඩවත්ත නම් වූ බිම් කොටසෙහි වර්ෂ 1875 නොවැම්බර් මස පළමුවන දින විද්‍යාලංකාර පිරුවන ආරම්භ කරන ලදී. ආරම්භයේ දී අවම පහසුකම් මධ්‍යයේ කටු මැටි ගැසූ බිත්ති සහ පොල් අතු සෙවිලි කළ පිරිවෙන් ශාලාවකින් සහ ඊටම යාබද එවැනි ම කාමර දෙකක පරිවේණාධිපති ශ‍ී‍්‍ර ධර්මාලෝක මාහිමියන් සහ ශ‍ී‍්‍ර ධර්මාරාම නාහිමියන් වැඩ සිටිමින් ඉගැන්වීම් කටයුතු සිදු කළහ. ඉගැන්වීම් කටයුතු සිදු නොවුණු දිනවල දී ලක්දිව ඉපැරණි රජමහා විහාරවල පොත්ගුල් පිරික්සමින් පැරණි පුස්කොළ පොත් සෙවීමටත්, සති අන්තවල දී රත්මලානේ පුරාණ විහාරයේ වැඩ විසීමත් නිසා මුල් අවධියේ මෙහි විහාරස්ථානයක් වශයෙන් ආගමික කටයුතු සිදු වී නොමැති බව පැහැදිලි වෙයි.

වර්ෂ 1887 දී ශ‍ී‍්‍ර ධර්මාරාම හිමියන් විද්‍යාලංකාර පරිවේණාධිපති පදවියට පත් වූ අතර, විහාරස්ථානයක් වශයෙන් මෙහි පූජනීය ස්ථාන ඉදි වීම ආරම්භ වූයේ මේ වකවානුවේ දී ය. හේවාදේවගේ දොන් පෑලිස් ප‍‍්‍රනාන්දු විමලගුණවර්ධන මුදලිතුමා විසින් වර්ෂ 1899 දී විහාර මන්දිරය හා වර්ෂ 1905 දී ධර්මශාලාව තනවන ලදී. මීට සමකාලීන ව බෝධීන් වහන්සේ රෝපණය කරවීම, දානශාලා, නේවාසිකාගාර ආදිය තැනවීය. බුදු සසුනට එල්ල වූ දුර්මත සඳහා පිළිතුරු සැපයීමට සත්‍ය සමුච්චය මුද්‍රණාලය ආරම්භ කරවන ලදී. වර්ෂ 1918 දී ලුණුපොකුණේ ශ‍ී‍්‍ර ධර්මානන්ද නාහිමියන් විද්‍යාලංකාර පරිවේණාධිපති ධූරයට පත් වූහ. විද්‍යාලංකාර පිරුවන ත‍ි‍්‍රවිධ චෛත්‍යයෙන් සම්පූර්ණ පුදබිමක් බවට පත් වූයේ මල්වතු මහා විහාරයෙන් සහ සියමේ චූලාලංකාර මහ රජතුමා විසින් පෙර කලෙක පිරිනමන ලද සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කොට 1925 වර්ෂයේ දී මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික ඇතුල්ගම ශ‍ී‍්‍ර දේවරක්ෂිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පෑලියගොඩ බෞද්ධ කුලඟන සමිතිය විසින් වෙහෙර වහන්සේ ඉදි කරවීමත් සමඟිනි.

වර්ෂ 1849 දී ශ‍ී‍්‍රමත් ඇලෙක්සැන්ඩර් කණිංහැම් සහ ජෙනරාල් මෙයිසි යන පුරාවිද්‍යාඥයන් විසින් දඹදිව සාංචියට නුදුරු හිල්සා ස්තූපයෙහි කැණීම්වලින් හමුවූ එංගලන්තයට රැගෙන ගිය සර්වඥ ධාතූන් වහන්සේලා පිරුවනෙහි දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ ශී‍්‍රමත් ඩී. බී. ජයතිලක මැතිතුමාගේ මෙහෙයවීමෙන් 1940 දී විද්‍යාලංකාර පිරුවනට වැඩමවීය. ලුණුපොකුණේ ශ‍ී‍්‍ර ධර්මානන්ද නාහිමියන්ගෙන් පසු කිරිවත්තුඩුවේ ශ‍ී‍්‍ර ප්‍රඥාසාර නාහිමියන් පරිවේණාධිපති පදවියට පත් වූහ. පැරණි සාහිත්‍යයේ කියැවෙන පරිදි ත‍ි‍්‍රපිටක ධර්ම සංගායනාවක් 1950 වර්ෂයේ දී මෙම බිමේ සකස් කළ විශේෂ මණ්ඩපයක දී ආරම්භ කරන ලදී. 1959 වර්ෂයේ දී විද්‍යාලංකාර පිරුවන වෙත විශ්වවිද්‍යාල තත්ත්වය පිරිනැමුණු පසු මෙම භූමිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කටයුතු සඳහා භාවිත විය.

කිරිවත්තුඩුවේ ශ‍ී‍්‍ර ප‍‍්‍රඥාසාර නාහිමියන් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උපකුලපති පදවියට පත් වීමෙන් පසු දිගු කලක් විද්‍යාලංකාර පිරුවනෙහි අධ්‍යක්ෂ ලෙසින් සියලු කටයුතු මෙහෙයවමින් මහත් මෙහෙවරක් සිදු කළ යක්කඩුවේ ශ‍ී‍්‍ර ප‍‍්‍රඥාරාම නාහිමියන් පරිවේණාධිපති පදවියට පත් වූහ. විද්‍යාලංකාර පිරුවනෙහි අද දක්නට ලැබෙන ධාතු මන්දිරය, පිරුවන් ගොඩනැඟිලි ශ‍ී‍්‍ර ධර්මාරාමාශ‍‍්‍රමය නම් ගුරු නිවාසය, ශ‍ී‍්‍ර ධර්මානන්ද ශිෂ්‍ය නිවාසය, සීමාමාලකය, දානශාලාව ඇතුළු ගොඩනැඟිලි යක්කඩුවේ නාහිමියන්ගේ මෙහෙයවීමෙන් විවිධ යුගවල ඉදි වූ ගොඩනැඟිලි වේ. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය දළුගමට රැගෙන යාමෙන් පසු 1975 වර්ෂයේ දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් පෑලියගොඩ මුල් භූමිය පිරුවනට පූජා කරන ලද අතර, දෙමටගොඩට සහ පන්නිපිටියට රැගෙන ගොස් තිබූ පිරුවනෙහි කටයුතු 1980 වර්ෂයේ සිට නැවත පෑලියගොඩ දී ඇරඹුණි. නාත්තන්ඩියේ ශ‍ී‍්‍ර ප‍‍්‍රඥාකර නාහිමියන්ගෙන් පසු වර්තමාන විද්‍යාලංකාර පරිවේණාධිපති සහ අධ්‍යක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය වැලමිටියාවේ ශ‍ී‍්‍ර කුසලධම්ම නාහිමියෝ පරිවේණාධිපති පදවිය ශෝභමාන කරති. රත්මලානේ ධර්මාරාම නාහිමියන්ගේ සිට මේ දක්වා වැඩ සිටි සෑම පරිවේණාධිපති හිමි නමක් වෙතම මල්වතු මහාවිහාරය විසින් ධර්මකීර්ති ශ‍ී‍්‍ර සහ ත‍ි‍්‍රපිටකවාගීශ්වරාචාර්ය යන ගෞරව නාම සම්මුතීන් සහිතව උපාධ්‍යාය පදවියක් සහ කොළඹ හලාවත දෙදිසාවේ ප‍‍්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත. රත්මලාන පුරාණ විහාරය, හුණුපිටිය විජේසුන්දරාරාමය, හැඳල පුරාණ විහාරය, කෑරගල පද්මාවතී පිරුවන, නාත්තන්ඩිය වීරහේන විද්‍යාරත්න පිරුවන, දෙමටගොඩ ධර්මප‍‍්‍රසාදය ඇතුළු හතළිහකට අධික විහාරස්ථාන විද්‍යාලංකාරයට අනුබද්ධ විහාරස්ථාන ලෙස පවතී. මෙරට ප‍‍්‍රධානතම ශාස්ත‍ී‍්‍රය ගුරුකුලයක් ලෙසින් විරාජමාන වන විද්‍යාලංකාර ගුරුකුලය බිහි කරන ලද පුණ්‍ය භූමිය සුවිශේෂී වැදගත්කමකින් යුතු පුණ්‍යභූමියක් ලෙසින් ද සඳහන් කරනු වටී.

  ඉල් පුර අටවක 

නොවැම්බර් 21
සෙනසුරාදා අපරභාග 09.48 න් පුර අටවක ලබා 22 ඉරිදා අපරභාර 10.51 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk