[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් පුර අටවක 2020.11.22

සුගතියේ දොරටුව විවර කර ගනිමු

ජීවිතයේ සතුට මිස දුක උදාකර ගන්නට කිසිවෙක් කැමැති නැත.සැපවත් ජීවිතයක් ගෙවීම සැමගේ අපේක්ෂාව ය.එහෙත් බොහෝ පිරිසක් දුක සේ ම ජීවත් වෙති.අපගේ ශාස්තෘන් වහන්සේ ,තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සතුට පරම ධනය වන බව ය.උන්වහන්සේ ඒ ධනය උපයා ගන්නා ආකාරය ද අපට මනාව දේශනා කොට වදාළහ.

ජීවිතයේ දුක,ශෝකය ළඟා වන්නේ බාහිර බලපෑමක් නිසා නොවේ.කෙනෙක් දිව්‍ය ලෝකයට හෝ අපායට යැවීමට තවත් කෙනෙකුට නොහැකි ය.ඒ සියල්ල තීරණය කරන්නේ තමන්ගේ ක්‍රියාකාරකම් ය.

බුදු රදුන් ජීවමාන කල චුන්ද සූකරික නම් ඌරු වැද්දෙක් විය.හේ පනස්පස් වසරක් පුරා ඌරන් ඝාතනය කරමින් ජීවිකාව ගෙන ගිය අයෙකි.මරණයට පෙර ඒ සතුන්,ඌරු වැද්දාගේ බොහෝ වධ හිංසාවන්ට ලක්විය.අපමණ වේදනාවට ලක්විය.එහෙත් ජිවිතයේ අවසන් කාලයේ චුන්ද සූකරික මරණ බියෙන් හඬ නැඟුවේ මරණ වේදනාවෙන් කෑගැසූ ඌරෙකු සේ, දරුණු රෝග පීඩාවෙන් ද, අවීචි මහා නරකයේ ගති නිමිති දකිමින් අතිශය බියට ද පත්වෙමින් ය.

මෙවැනි චුන්ද සූකරලා ගැන බුද්ධ කාලයේ පමණක් නොව වර්ථමානයේ ද අපට අසන්නට දකින්නට ඇත.කළ අකුසල කම් විඳවන මිනිසුන් සමාජයේ බොහෝ වෙති.ඒ විවිධාකාරයෙනි.රෝග බිය ,මරණ බිය අද මුළු ලෝකයම අත් විඳීයි.මේ විපත් කරදර මිනිසා විසින්ම ළගා කරගත් දේ ය.මේ තත්ත්වය ම ජීවිතයට පාඩමක් කරගත හැකි ය. ඒ අධර්මචාරී බවින් මිදී වහ වහා ධර්ම මාර්ගයට පිවිසීමට ය.

බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ශෝකය උපදවන අයහපත් ශක්තීන් අප කෙරෙහිම ඇති බවට ය.ඊර්ෂයා ,තරහව,ක්‍රෝධය,වෛරය, පළිගැනීම සේ ම අධිකතර තණ්හාව ,ලෝභයද ඒ අයහපත් ශක්තීන්, ක්ලේශ ධර්මයන් අතර වේ. සියලු අයහපත්කම්වල මුල මේ ක්ලේශ ධර්මයන් මිනිස් සිත තුළ අවිදි වීමය. ක්ලේශයන් ගැන අවබෝධයෙන් සිටිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ එහෙයිනි.

ඒ අවබෝධයට බුද්ධිය ඇවැසි ය.එනම් ජීවිතයේ යථා ස්වභාවය පිළිබඳ දැනීම ය.කෙලෙස් පිළිබඳව,ඒවා ප්‍රහීණ කරන ආකාරය පිළිබඳව,ධර්මය දැනීම ඇවැසිය. තමන්ට දුක උරුම කරවන,සතුට නැති කරවන,තමන්ව අපායට ගෙනයන පවිටු සිතිවිලි පාලනය කරගත හැකි වන්නේ ඒ දැනුම,අවබෝධය වැඩි දියුණු කරගත් පුද්ගලයාට ය.ඒ තුළ අකුසලය බිඳ දමා සතුට ළඟාකර දෙන කුසලය වර්ධනය කිරීමට පුළුවන.

දීමෙන් හෙවත් පරිත්‍යාගයෙන් ලෝබය දුරු කළ හැකි බව,මෛත්‍රී සහගත ව සිතීමෙන්, ක්‍රියා කිරිමෙන් ද්වේශය දුරු කළ හැකි බව ධර්මය ඉගෙනීමෙන් ධර්මය අවබෝධ කිරීමෙන් මුලාව හෙවත් අවිද්‍යාව,නොදැනීම දුරු කරගත හැකි බව දහමෙහි අවධාරිත ය.

බොදුණු ජනතාවට නිරන්තරයෙන් දහම් කරුණු අවබෝධ කරගන්නට මෙකල අවකාශය ඇත. එසේ තිබියදීත් අසතුටින් ජිවත් වනවා නම් ඊට හේතුව ඉගෙන ගත් ධර්මය ජීවිතයට ප්‍රායෝගික කර නොගැනීම ය.තථාගතයන් වහන්සේ අපට දේශනා කොට වදාළේ මනුෂ්‍ය ජිවිතය යහපත සඳහාම කැප කළ යුතු බව ය.එසේ පින් කුසල් රැස් කරගත යුතු ආකාරය ද උන්වහන්සේ පෙන්වා දුන්හ.බොදුණු අපට අපූර්ව ජිවන ධර්මතාවන් හඳුන්වා දෙන ධම්මපදයෙහි දැක්වෙන ලෙස අප විසින් පින් කුසල් වැඩිය යුතු වන්නේ මල් රැසකින් බොහෝ මල් දම් ගොතන මල් කරුවකු ලෙස ය.දක්ෂ මල් කරුවෙක් නේක විධ සුවඳීන් හා හැඩයෙන් යුතු බොහෝ මල් ගෙන පාටට,හැඩයට,ප්‍රමාණයට,ගැළපෙන ලෙස මල් දම අමුණයි.අප ජිවිතයට පින් රැස් කළ යුත්තේ එලෙස ය.මල් දම හැඩකරන සුවඳවත් ,වර්ණවත් මල් සේ ජිවීතය හැඩ කරන සුවඳවත් සිතිවිලි අපමණ ය. ඒ සිතිවිලි ජීවිතයට අමුණාගැනීම තුළ උපදින්නේ දුක නොව සතුට ය.විවර වනුයේ දුගතියේ නොව සුගතියේ දොරටුව ය.

  ඉල් පුර අටවක 

නොවැම්බර් 21
සෙනසුරාදා අපරභාග 09.48 න් පුර අටවක ලබා 22 ඉරිදා අපරභාර 10.51 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]