[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු රජතුමා - 13: ගැමුණු කුමරුගේ සිතෙහි සැකයක්

දුටුගැමුණු රජතුමා - 13:

ගැමුණු කුමරුගේ සිතෙහි සැකයක්

කාවන්තිස්ස රජතුමා මහලු වියට පා තබා සිටියත් රාජ්‍ය පාලනයෙහි දක්ෂ බවත්, ගෝඨාභය රජු මෙන් යුද්ධකාමියකු නොව සාමකාමියකු බවත්, එතුමා උපායෙන් ප්‍රාදේශීය රාජ්‍ය යටත් කරගැනීමෙහි දැක්වූ ස්ථානෝචිත ප්‍රඥාව රජරට වෙනුවෙන් යොදන්නට නොහැකි බවත් විහාරමහා දේවිය දැන සිටියා ය.

බුද්ධියෙන් හා පෞරුෂයෙන් ස්වකීය වැසියන් කෙරෙහි දක්වන මෙත් මුදිතාදියෙන් මෙන්ම මහා සංඝරත්නය කෙරෙහි ඇති අනුපමේය භක්තියෙන් ද වෙහෙර විහාර තැනවීමෙන් ශාෂනාභිවෘද්ධිය සඳහා යෙදෙන දායකත්වයෙන් ද එතුමාටම අනන්‍ය වූ රාජ්‍ය ආකල්ප පිළිබඳ විමසා බැලීමේදී එතුමා ජීවත්ව සිටියදී සොළීන්ට විරුද්ධව සටන් ආරම්භ කළ නොහැකි බව විහාරමහා දේවිය අවබෝධ කරගත්තා ය.

කෙසේ වුවත් ප්‍රමාදය එතරම් හොඳ නැති බව ඇගේ තීරණය විය. රට වෙනුවෙන් දිවි දුන් ඇය රට වෙනුවෙන් තව දුරටත් කැපවීමට සුදානම් ය.

පසුදා උදෑසන ආහාරයෙන් පසු ගැමුණු කුමරුත්, දීඝාභය කුමරුත් වේළුසුමන සහ සුරනිමල මහා සෙනෙවිවරුන් හමු වුහ. ඔවුහු තම තමන් එකතු කරගෙන ඇති කරුණු ගැන සාකච්ඡා කළහ.

"අල්ලාගත් චර පුරුෂයන්ගේ සිර කඳවුරු තියෙන්නේ යෝධකන්ඩියේ වැව අසල. ඒවායේ සොළීන් පිරිලා ඉන්නවා. අපි මේ ගමන්ම කිරින්දට ගිහිල්ලා අහිකුන්ටික පැල්පත් බලාගෙන එමු" වේළුසුමන යෝජනා කළේ ය.

"මමත් කැමතයි කිරින්දට යන්න.මෑණියන් ගොඩබැස්ස නිසාම නොවෙයි. ඒ පරිසරයේ ඇති සුන්දරත්වය නිසයි. මුහුදෙන් හමන සුළඟ ගත සිත දෙකම සනසනවා. මා වඩාත් කැමති රළවැල් දිහා බලාගෙන ඉන්න. ඒවා පෙරළි පෙරළි ඇවිත් ගල්පරවල හැපී සුදු පෙණ පිඬු විසුරුවන ආකාරය හරිම ලස්සන දර්ශනයක්" දීඝාභය කිවේ තමාගේ කුඩා කල අත්දැකීම් සිහිපත් කරමිනි.

ඒ යෝජනාව අනුමත කළ ගැමුණු කුමාරයා මේ ගමනේ ද ී යුද්ධ සංවිධාන කටයුතු ගැනද දීඝාභය කුමාරයාට හැගීමක් ඇති කරන්නට අදහස් කළේ ය.

හිරු බැස යමින් තිබිණි. යෝධකණ්ඩිය වැව සිපගෙන එන සුළඟ දැඩි රශ්මිය මඟ හරවා සිසිල් සුවපහසක් ගෙන දෙන්නට විය. යුද අභ්‍යාසවල යෙදෙමින් තරඟකාරී ව දිවයන අශ්වයන් කණ්ඩායමක් දෙස වේළුසුමන බලා සිටියේ ඒ තමන්ගෙන් පුහුණුව ලැබූ පිරිසක් වන නිසාවෙනි.

"යුද්ධයේදී වඩාත් ප්‍රයෝජනවත් වෙන්නේ අශ්ව සේනාවයි" ගැමුණු කුමාරයා කිවේ ඒ දෙස බලමිනි. හොඳීන් පුහුණු කළ අශ්වාරෝහකයින්ට සතුරු පිරිසට විශාල හානියක් කළ හැකියි. ඇත් සේනා, පාබල සේනාවේ ආරක්ෂාවට යොදා ගන්නට පුහුණු කරන්නට ඕනේ. ඇත් සේනාව සමත් වෙන්නේ සතුරන් පලවා හරින්නටයි. මරන්නට නොවෙයි. "මේ යුද්ධයේ දී අපට ඔය දෙකම කරන්නට සිදුවේවි.

ඔවුන් කතා කළේ යුද්ධ ආරම්භය කෙසේ සිදුකරන්නේ ද යන්න පිළිබඳවයි. පිය රජතුමාගේ බියගුළුකම ගැන දුටුගැමුණු කුමරු දොස් නඟන්නට විය. එහෙත් දීඝාභය එයට විරුද්ධ විය.

පියරජතුමා බිය වෙන්නේ යුද්ධයට නොවෙයි. ඔබගේ ආරක්ෂාව පිළිබඳවයි. සතුරාගේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ මුලින්ම නායකත්වය විනාශ කිරීමයි. ඒ බව පියාණන් දන්නවා. ඒ ගැන පවතින සැකය නිසයි යුද්ධය ප්‍රමාද කරන්නේ. "පෙර සූදානම හැම අතින්ම සුදුසුයි. අපි තව ටිකක් ශක්තිමත් වෙමු". පිය රජතුමාගේ අදහසයි.

"අයියණ්ඩිය අපේ මේ යුධ ශක්තිය හොඳටම ප්‍රමාණවත්. උතුර ජයගන්නට පුළුවන්. ප්‍රමාදය එතරම් ම හොඳ කරුණක් නොවන බව පිය රජතුමාට පවසන්න".

"මල්ලි ඉක්මන් නොවන්න. ඉවසන්න. ප්‍රමාදය අපට අවාසි බව මමත් පිළිගන්නවා. ඒ බව මම ඊයේ පියාණන්ටත් පැහැදිලි කළා.මහරජතුමාත් ඒ බව පිළිගත්තා. අලුතින් බඳවාගත් භට පිරිස් පුහුණු කළ පසු යුද්ධය ආරම්භ කරන්නට පිය රජතුමා ඔබට ඉඩදේවි. එතෙක් ඉවසන්න. හොඳීන් සංවිධානය වෙන්න. කිසිවිටෙකත් පිය රජතුමාට අකීකරු වන්නට එපා. යුද්ධය ජයග්‍රහණය කරන්නට අපට පිය රජතුමාගේ ආශිර්වාදය අවශ්‍යයි. නන්දිමිත්‍රගෙන් යුද්ධ සංවිධානය පිළිබඳ වාර්තාව ඉක්මනින් ලබාගන්න. යුද්ධය සඳහා යන ගමන් මාර්ගය සැකසීම ගැමුණු ඔබට බාරයි. මාගම සේනාංක මහවැලි ගං තීරයට පැමිණි පසු අපේ සේනාංකවල සියලු ආරක්ෂක භට හමුදා ඔබට එකතු වේවි. මම ඉතා ඉක්මනින් අනුරාධපුර සේනාංකවල විස්තරත් ඔවුන්ගේ සේනා සංවිධානය පිළිබඳ විස්තරත් වාර්තා කරන්නම්".

"අයියණ්ඩි මට ඉවසීම නැති බව ඇත්තයි. පිය රජතුමා ජීවත්ව සිටියදීම සටන අරඹා ජයග්‍රහණය කර රට එක්සේසත් කිරීම මගේ අරමුණයි. එවිට පිය රජතුමාගේ කැපවීමට, උපාය ඥානයටත් උපහාර වශයෙන් මුළු සිංහලයේ ම රජතුමා වෙන්නේ කාවන්තිස්ස රජතුමායි. මම නොවෙයි".

දීඝාභය කුමාරයා මහත් පුදුමයෙන් තම මලණුවන් දෙස බැලී ය. වේළුසුමන, සුරනිමල, ඔවුනොවුන් දෙස පුදුමයෙන් බැලුහ. දුටුගැමුණු කුමරුගේ කෘතගුණය පිළිබඳ සතුට පළ කළහ. "පියරජතුමාගෙන් පසුවයි මම ඔටුනු පල¼දින්නේ" දුටුගැමුණු පැවසී ය.

"අනුරාධපුරයේ රාජධානියට ඒමට පියරජතුමාගේ අදහසක් නෑ මලයණ්ඩි" "යුද්ධය ආරම්භ කරන මොහොතේදී පියාණන් ඔබත් සමඟ පැමිණෙන්නේ මහියංගන තොටමුණට පමණයි. ඔහු ඔබට ආශිර්වාද කර ආපසු හැරේවි. එතුමාගේ එකම පැතුම ගැමුණු ලංකාවේ මහරජු හැටියට ඔටුනු පළදිනවා බලන්නයි" දීඝාභය පැවසිය.

  ඉල් පුර අටවක 

නොවැම්බර් 21
සෙනසුරාදා අපරභාග 09.48 න් පුර අටවක ලබා 22 ඉරිදා අපරභාර 10.51 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk