[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

දෙල්ලව සිරි පුඤ්ඤානන්ද මාහිමි

පොදු ජන සුබසෙත වෙනුවෙන් තම වටිනා ජීවිතය කැප කරමින් ක්‍රියා කරන පිරිසක් ලෙස භික්‍ෂූන් වහන්සේලා හැඳීන්විය හැකි ය. ගිහියාට බරක් නොවෙමින් මල නොතලා රොන් ගන්නා බමරකු මෙන් (බමරස්සේව ඉරියතෝ) සිවුපසය පරිහරණය කරමින් වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ ස්වකීය විමුක්ති මාර්ගය මෙන්ම ගිහියාගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීමට ද අනලස් ව නැඟී සිටියහ.

බුද්ධ කාලයෙන් පසුව ගිහි සමාජය වෙනුවෙන් භික්‍ෂූන් වහන්සේ විසින් ඉටු කළ යුතු වූ සේවය තව දුරටත් පුළුල් විය. වෙදකම් කිරීම, සෙත් ශාන්ති කර දීම පමණක් නොව පන්සල අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාත්මක කරවීමේ භාරධූර වගකීම ද පැවරුණේ භික්‍ෂූන් වහන්සේට ය. එමඟින් ශ්‍රි ලාංකේය සමාජයේ ගිහි පැවිදි බැ¼දීම තව දුරටත් වර්ධනය වුණි. කාර්මික විප්ලවය සහ තාක්‍ෂණික සංවර්ධනය හමුවේ අතීතයට සාපේක්‍ෂ ව වර්තමානය වන විට ගිහි පැවිදි බැ¼දීමේ දුරස්ථභාවයක් ද දක්නට ලැබේ.

මෙවන් පසුබිමක්තුළ දෙල්ලව පුඤ්ඤානන්ද මාහිමි ආදර්ශය ඉතිහාසයේ වැලි තලාවෙන් වැසීයාම සිදු නොවිය යුත්තක් බව උන්වහන්සේගේ අපවත් වීමෙන් එකුන් සතළිස් වසක් සපිරෙන අවස්ථාවේ සඳහන් කරනු කැමැත්තෙමි.

ගාලු දිසාවේ දෙල්ලව ගම් පියසෙහි 1900 සැප්තැම්බර් මස 25 වන දින අප කථානායකයාණෝ ළදරුවකු ලෙස අබේගුණවර්ධන පරපුරෙහි ජන්ම ලාභය ලැබූහ. මෙම කුල කුමරු දෙල්ලව පුඤ්ඤානන්ද නමින් ප්‍රව්‍රජ්‍යා භූමියට පත් වීම අකුරැස්ස ගොඩපිටියේ ඓතිහාසික රාජ මහා විහාරස්ථානයේ දී සිදු වූයේ බඹරැන්දේ බ්‍රහ්මාක්‍ෂිරාජ පරිවේණාධිපති ව වැඩ විසූ ගොඩපිටියේ ශ්‍රි සෝභිත මහා ස්ථවිරපාදයාණන් වහන්සේගේ ශිෂ්‍යවරයකු වශයෙනි. එතැන් පටන් බඹරැන්දේ ගල්කන්දේ බ්‍රහ්මාක්‍ෂිරාජ පිරිවෙන, වැලිගම අග්‍රබෝධි පිරිවෙන, ගෝණගල සුධර්මාකර පිරිවෙන වැනි උත්කෘෂ්ඨ ගණයේ විද්‍යාස්ථානවලින් උගතමනා ශිල්ප ශාස්ත්‍ර සහ බණ දහම් ප්‍රගුණ කළහ.

1921 වර්ෂයේ දී මහනුවර මල්වතු මහා විහාරස්ථ ඓතිහාසික උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත් වූයේ දෙහිපේ ආනන්දාභිධාන මහ තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයකු වශයෙනි.

පසුව ධර්ම විනය පිළිබඳව හසල දැනුමක් ඇති මාතර පාලටුවේ බෞද්ධෝදය පරිවෙණාධිපති ව වැඩ විසූ ඇටම්පල ශ්‍රීි රතනපාල මහා ස්ථවිරපාදයන් වෙතින් ධර්මය සහ විනය කර්ම ආදිය පිළිබඳව විශේෂ පුහුණුවක් ලැබූහ.

කාලයාගේ ඇවෑමෙන් බඹරැන්දේ ගල්කන්ද පුරාණ විහාරස්ථානයේ ආධිපත්‍යය නිරායාසයෙන් ම දෙල්ලව පුඤ්ඤානන්ද මාහිමිපාණන් වහන්සේට පැවරුණු අතර, එහි ශ්‍රී රතනසාර නමින් පිරිවෙනක් ද ආරම්භ කළහ.

මෙම කාලය තුළ දෙල්ලව විහාරස්ථානය අභාවයට පත්වෙමින් තිබුණේ ස්ථිරව වාසය කරන නේවාසික භික්‍ෂූන් වහන්සේ නමකගේ අවශ්‍යතාව පෙන්නුම් කරමිනි. එකී අවශ්‍යතාව මනාව අවබෝධ කරගත් පුඤ්ඤානන්ද හිමිපාණෝ ඉතා සුවපහසු ජීවිතයක් ගතකළ හැකිව තිබූ ගල්කන්දේ පුරාණ විහාරස්ථානයෙන් සමුගෙන හිනිදුම් පත්තුවේ අතිශයින් දුෂ්කර වූත් ස්වකීය ජාතභූමිය වූත් දෙල්ලව ගම් පියසට වැඩම කිරීමට තරම් කෘතඥ වූහ. පසුව විහාරස්ථානයේ නම ශ්‍රී නාථාරාමය බවට පත් කළ අතර විහාරාරාංගයන්ගෙන් සමලංකෘත දර්ශනීය පුදබිමක් බවට පත් කිරීමට ද උන්වහන්සේ සමත් වූහ.

එවක් පටන් දෙල්ලවගම කේන්ද්‍රකොට ගනිමින් හිනිදුම් පත්තුවේ හා මොරවක් කෝරළයේ ගම් දනවු පුරා පා ගමනින්ම වැඩම කරමින් බොදු ජනයාගේ කුදු මහත් ආගමික කටයුතු මැනවින් ඉටුකිරීමට අප මාහිමිපාණන් වහන්සේ විසින් ගනු ලැබූ උත්සාහය ප්‍රශංසනීය ය. චතුර කථිකත්වය හා කර්ණරසායන දේශනා විලාසය ඒ සඳහා මහඟු පිටුවහලක් විය. ගිහි පැවිදි කවරෙකුට වුවද දුටු වරද මුහුණටම කීමේ අපූරු ශක්තියක් සහ නිර්භීත භාවයක් උන්වහන්සේ සතුව පැවති බව නොරහසකි.

එපමණක් නොව අද්විතීය ගණයේ සර්ප විෂ වෛද්‍යවරයෙකු ලෙස ද අප මාහිමිපාණන් වහන්සේ චිරප්‍රසිද්ධ වූහ. එබැවින් බොහෝ දුර බැහැර ප්‍රදේශවලින් පවා උන්වහන්සේගේ පිහිට පතමින් දෛනිකව පැමිණි පිරිස අපමණ ය. උන්වහන්සේ විසින් සම්පාදිත ‘විස ඔසු වග’ නම් ග්‍රන්ථය තුළින් තත් විෂයය පිළිබඳව තිබූ විශාරදත්වය ප්‍රකට වනවා පමණක් නොව සර්ප වෙදකම හදාරන්නවුන්ට ද එය බෙහෙවින් ප්‍රයෝජනවත් වී ඇත.

මේ සියල්ලටම වඩා උන්වහන්සේගෙන් ඉටු වූ අමිල මෙහෙවර උද්දීප්ත කිරීමටත් දූරදර්ශි භාවය විශද කිරීමටත් බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස දැන උගත් විනයධර ධර්මධර ශිෂ්‍ය ප්‍රජාවක් සසුනට දායාද කර තිබිම දැක්විය හැකි ය. ඔවුනතර බණ්ඩාරගම ශ්‍රී ධර්මාලෝක විහාරාධිපති ව වැඩ සිට අපවත් වී වදාළ පූජ්‍ය බඹරැන්දේ උපරතන ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ සහ දෙල්ලව ශ්‍රී නාථාරාමය ඇතුළු විහාර ගණයෙහි විහාරාධීෂ්වර ගාලු මාතර දෙදිසාවේ අධිකරණ සංඝ නායක ශ්‍රී රෝහණ පාර්ශවයේ විධායක කාරක සංඝ සභික උපාධ්‍යාය පූජ්‍ය දෙල්ලව ජිනරතන නාහිමිපාණන් වහන්සේගේ නාමය සිහිපත් කරනුයේ ඉමහත් ගෞරවයෙනි.

මෙසේ ශාසනික, අධ්‍යාපනික හා සාමාජික වශයෙන් සදානුස්මරණීය සේවාවක් කළ උන්වහන්සේ අපවත් වී වසර 39ක් සපිරීම නිමිති කරගෙන 2020 නොවැම්බර් මස 26,27 සහ 28 යන තෙදින තුළ දෙල්ලව ශ්‍රී නාථාරාම විහාරස්ථානයේ දී බෝධි පූජා, ධර්ම දේශනා, පිරිත් දේශනා සහ සඟසතු දානමය පින්කම් ඇතුලු පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරාධිපති නාහිමිපාණන් වහන්සේ සහ ශිෂ්‍ය පිරිසත් දායක සභාවත් කටයුතු සංවිධානය කර ඇත. අපවත් වී වදාළ අතිගරු දෙල්ලව පුඤ්ඤානන්දාභිධාන මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේට අජරාමර නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.

****

ඇහැලකන්දේ සුමන හිමි

ක්‍රිස්තු වර්ෂ 1962 නොවැම්බර් මස 12 වන දින මාවරල දී උපත ලද කොඩිප්පිලිගේ වික්ටර් රත්න සිරි නම් කුල කුමරුවා,ඇහැලකන්ද විද්‍යාලයේ 7 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබීය.

1976.10.27 වන දින මාවරල මල්ලිකාරාමාධිපති දෙනගම සරණතිස්සාභිධාන මාහිමිපාණන්ගේ ගුරු දේවත්වයෙන් පැවිදි දිවියට ඇතුළත් වූ වික්ටර් රත්නසිරි කුමරුවා ඇහැලකන්දේ සුමන හිමි ලෙස සාශනගාමි වුහ.1980.ජුනි 02 වන දින ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ උපෝශථාගාරයේ දි අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබු ඇහැලකන්දේ සුමන හිමිපාණන් 2001 වර්ෂයේ ගුරුදේව පුජ්‍ය දෙනගම සරණ තිස්සාභිධාන මා හිමිපාණන්ගේ අපවත් වීමෙන් පසුව මල්ලිකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට පත් වුහ.බුද්ධ පුත්‍රයෙකු ලෙස සඟ පරපුර හොබවමින් සිටින සුමන හිමිපාණන්ගේ පැවිදි දිවියට වසර 44 ක් සම්පුර්ණ විම පසුගිය ඔක්තෝබර් මස 27 වන දිනට යෙදී තිබුණි. එදින ගැබිනි මව්වරුනට පෝෂණ මල්ලක් පිරිනැමීමත්,ළදරුවන්ට අවශ්‍ය උපකරණ බෙදා දීමත් විහාරස්ථාන ධර්මශාලාවේ දි සිදු කෙරිණ.කොවිඩ් වසංගතයෙන් රටත්, ජාතියත් බේරා දෙන ලෙස ප්‍රාර්ථනා කරමින් බෝධි පුජාවක් සහිත මල් පහන් බුද්ධ පුජාවක් ද එදින පවත්වනු ලැබී ය . පැවිදි දිවියේ සෑම වර්ෂ පුර්ණයක ම ප්‍රජා සත්කාර මෙහෙවරක නිරත වීම සුමන හිමිපාණන්ගේ පැවිදි දිවියේ විශේෂ ලක්ෂණයක් විය.

නිවැරැදිව ස්වර උච්චාරණය කරමින් පරිත්‍රාණ ධර්ම දේශනා පැවැත්වීමේ දස්කම් දක්වන සුමන හිමිපාණන් වහන්සේ සෑම වසරක ම ජූලි මස කතරගම කිරිවෙහෙරෙ භූමියේ පවත්වන පරිත්‍රාණ ධර්ම දේශනාවත්,ජුනි මස පවත්වන තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ පරිත්‍රාණ ධර්ම දේශනයටත්, කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පවත්වනු ලබන වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනාවටත් නොකඩවාම වැඩම කරති.

බෝධි පුජා,යුගාසන ධර්ම දේශනා සහ පරිත්‍රාණ ධර්ම දේශනාවන් සඳහා ද පරිත්‍රාණ ධර්මදේශනා පැවැත්වීමෙන් පසුව අවසානයේ පවත්වනු ලබන අනුශාසනා දේශනා පැවත්වීමේ ද සුවිශේෂ නිපුණතාවයකින් හෙබි, සුමන හිමිපාණන් වහන්සේ ලක්දිව පුරා බොදු ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ හිමිනමකි.

තායිලන්තය,නේපාලය,මැලේසියාව,ඉන්දියාව සහ වීනය යන විදේශිය රටවල බෞද්ධ බැතිමතුන්ට ධර්ම දේශනා පවත්වමින් ධර්ම ප්‍රචාරක මෙහෙවරක ද සුමන හිමිපාණන් වහන්සේ නිරතව සිටිති.

පළමු කොරෝනා ව්‍යාප්ති සමයේ සතර පේරුවේ දායක කාරකාදීන් පීඩාවට පත්ව සිටි අවස්ථාවේඋන් වහන්සේ ප්‍රදේශයේ අවශ්‍යතා ඇති ජනතාවට බොහෝ උපකාරී වූහ. ඇහැලකන්දේ සුමන හිමිපාණෝ ධර්මධරය,විනයධරය. සුපේශලය,ශික්ෂාකාමීය, ඇසූ පිරූ තැන් ඇති ධර්‍මඥානයෙන් පිරිපුන් සංඝ පිතෘවරයාණන් වහන්සේ නමකි.

නොවැම්බර් 21 වැනි දින උන් වහන්සේ 59 වැනි වියට එළඹුණහ. නිහතමානී ව සාසනෝන්නතිය වෙනුවෙන් යුග මෙහෙවරක නිරත වන ඇහැලකන්දේ සුමන හිමිපාණන්ට නිදුක් නිරෝගි සුවය සහ චිර ජීවනය ,දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

  ඉල් පුර අටවක 

නොවැම්බර් 21
සෙනසුරාදා අපරභාග 09.48 න් පුර අටවක ලබා 22 ඉරිදා අපරභාර 10.51 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk