අෂ්ට ඵලරුහ
බෝධි පුරාණය
අනුරාධපුර මහමෙව්නා උයනෙහි රෝපණය කරන ලද දක්ෂිණ මහා බෝධියෙහි හටගත් ඵලයකින් බෝරුක්
අටක් පැන නැඟී ඇත. සිංහල විශ්ව කෝෂය තුළ ඒ පිළිබඳව තොරතුරු මෙසේ සඳහන් වේ.
‘මිහිඳු මාහිමියන්ගේ උපදෙස් පරිදි දෙවනපෑතිස් රජු විසින් දඹදිව ශ්‍රී මහා බෝධියේ
දක්ෂිණ ශාඛාව ලක්දිවට එවනු මැනැවැ යි දම්සෝ රජුට සන්දේශය යවන ලද්දේ ය. ඒ වූ පරිදි
දක්ෂිණ ශාඛාව මහ බෝධියෙන් වෙන්කර ගන්නා අවදියෙහි එහි බෝ ඵල පසෙක් ද විය. ඒ ශාඛා
බෝධිය ලක්දිවට ගෙනවුත් මහමෙවුනා උයන්හි පිහිටුවන අවස්ථාවෙහි මහත් පෙළහර පහළ විය.
සත් දවසක් ම බෝධිය හිම වලායෙන් වැසී තිබිණ.
සත් වැනි දවසැ හිමවලා පහවැ ගියෙන් බෝධි ශාඛායෙහි කඳ, කොළ, අතු හා යට කී ඵල පස ද
පෙනෙන්නට විය. මිහිඳු මා හිමියෝ ද සඟමිත් තෙරණියෝ ද පිරිවර සහිත දෙවන පෑතිස් රජ ද
බොහෝ සෙයින් දිවයින් වැසි සියලු ජනයෝ ද බෝධිය පිහිටි තැන ට රැස්වූහ. උතුරු ශාඛායෙහි
විලිකුන් ව තුබූ ඵලයෙක් එකෙණෙහි ගිලිහුණේ මිහිඳු මහ තෙරුන් දිගු කළ අත්හි පිහිටියේ
ය. මහතෙරණුවෝ එය ‘‘මහරජ, රෝපණය කළ මැනැවැ‘‘ යි රජුට දුන්හ. රජ රන් කටාහයක මිහිරි
පස් බහා ඟදකලලින් පුරා එය රෝපණය කළේ ය. සියල්ලන් බලා සිටිය දී මැ එයින් අංකුර අටක්
නැගී සතර රියන් පමණ වූ තරුණ බෝරුක් වැ සිටගත. රජ ඒ ආශ්චර්යය දැක ඒ බෝරුක් සේසතින්
පුදා අභිෂේක දුන්නේ ය. යනුවෙන් මූලාශ්‍ර ග්‍රන්ථයන්හි සඳහන් වේ.
මහාවංසය හා සමන්තපාසාදිකාවෙහි සඳහන් වන තොරතුරු අනුව ඉන් එක් බෝධින් වහන්සේ නමක්,
දඹකොළ පටුනෙහිත්, එකක් තිවක්ක නම් බමුණු ගමෙහිත්, එකක් ථූපාරාමයෙහිත්, එකක්
ඉසුරුමුණි විහාරයෙහිත්, එකක් පඨමකචේතිය ස්ථානයෙහිත්, එකක් සෑගිරිය හෙවත්
මිහින්තලයෙහිත්, එකක් රුහුණු ජනපදයෙහි කතරගමත්, එකක් රුහුණෙහි සඳුන්ගමත් රෝපණය කළ
බවයි. එම අටතැන්හි රෝපණය කරන ලද බෝරුක් අට අෂ්ටඵලබෝධීන් වහන්සේ යනුවෙන් හඳුන්වනු
ලැබේ.
එම අෂ්ටඵල බෝධීන් වහන්සේ පිළිබඳ ව සිංහල විශ්ව කෝෂයතුළ තවදුරටත් මෙසේ සඳහන්ව ඇත.
ඒ අනුව
‘‘මේ ඵල රුහබෝධීන් අතුරෙන් තිවක්ක බමුණුගම් හි පිහිටුවූ බෝධිය මෙකල තන්තිරිමලය
නමින් දන්නා තැන්හි දැනුදු දක්නට ඇත. එසේම ථූපාරාමය, ඉසුරුමුණිය, සෑගිරිය හා කතරගම
යන ස්ථානයන්හි පිහිටුවන ලද බෝධි වෘක්ෂයෝ ද මේ තාක් ප්‍රකට වැ දක්නට ලැබෙති. යාපන
අර්ධද්වීපයෙහි වූ දඹකොළ පටුන, පැරැණි අනුරාධපුරයේ නැඟෙනහිර දොරටුව සමීපයෙහි
පඨමකචේතිය, රුහුණු ජනපදයේ පිහිටියේ යැයි විනය අටුවාවෙහි සඳහන් වන සඳුන්ගම යන
ස්ථානවල පිහිටුවන ලද බෝධි වෘක්ෂ තුන මේ දක්වාත් ඇද්දැයි සොයාබැලීම වටනේය. තවද ඉතිරි
බෝ ඵල සතරෙහි ඇටවලිනුදු බෝ පැළ දෙතිසක් නැගිණ.‘‘ යනුවෙනි.
ජම්බුකෝල පට්ටනය
එය ඉතා පැරැණි තොටුපළක් වන අතර, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කළ පිරිස ගොඩබට
ස්ථානය ද වේ. තිස්ස රජතුමා අෂ්ට ඵලරුහවලින් එකක් මෙහි රෝපණය කළ බව වංසකථාවල සඳහන්
වේ. මහාවංසයේ සඳහන් වන කරුණු අනුව අරිට්ඨ කුමරු ඇතුළු දූත පිරිස අශෝක රජතුමාට
තෑගිභෝග රැගෙන නැව් මගින් පිටත් වූ තොටුපළත්, ජය ශ්‍රී මහා බෝධි ශාඛාව රැගෙන
සංඝමිත්තා තෙරණියට පැමිණෙන ලෙසට පණිවුඩය රැගෙන ගිය තොටුපළත් ජමුබුකෝළ පට්ටනයයි.
තිවක්ක බ්‍රාහ්මණ ග්‍රාමය
දඹකොළ පටුනේ සිට අනුරාධපුර ගමන් මාර්ගයේ මෙම ගම පිහිටා තිබූ බවට ප්‍රකාශ වන අතර,
අෂ්ටඵලරුහට අයත් වන එක් බෝධීන් වහන්සේ නමක් ඉහත සඳහන් ගම්දොර රෝපණය කළ බව
මූලාශ්‍රයන්හි සඳහන් වේ. බෝධිහාර උළෙල සඳහා තිවක්ක බ්‍රාහ්මණයාට ආරාධනා
කළේත්, බෝධි අංකුරයක් එහි රෝපණය කළේත්, තිවක්ක බ්‍රාහ්මණයාත්, එම ග්‍රාමයත් එකල
ප්‍රකටව පැවැති නිසා බව මූලාශ්‍රගත තොරතුරු අනුව පෙන්වා දිය හැකි ය.
ථූපාරාමය
අනුරාධපුරයෙහි ඉදිකර ඇති ථූපාරාමයට සුවිශේෂි ස්ථානයක් හිමිව ඇත්තේ ලංකාද්වීපය තුළ
ගොඩනඟන ලද ප්‍රථම ස්තූපය වන බවට සඳහන් වන ඉතිහාසගත තොරතුරු අනුව ය. වී ගොඩක ස්වරූපය
ගන්නා බැවින් එය ධාන්‍යාකාර යැයි මුලාශ්‍රයන්හි සඳහන්වේ. පොළොව මට්ටමේ සිට අඩි 11ක්
අඟල් 4ක් පමණ උස, අඩි 16 අඟල් 6ක් පමණ වටප්‍රමාණයකින් යුත් වටමළුවක් සහිත ස්තූපය
අඩි 59 ක උසින් යුක්ත ය. එසේ වුවද, යම් යම් ප්‍රතිසංස්කරණයන් හි දී මෙහි හැඩය වෙනස්
වන්නට ඇත. අෂ්ටඵලරුහවලින් එක් බෝධීන් වහන්සේ නමක් මෙම ස්ථානයෙහි රෝපණය කර ඇත.
ඉසුරුමුණිය
අතීතයෙහි දී කසුප්ගිරිවෙහෙර, කසුන්ගිරි වෙහෙර, සරණාරාම යනාදී නම්වලින් හඳුන්වා ඇති
ඉසුරුමුණි විහාරය දෙවන පෑතිස් යුගයට අයත්වන අතර, මිහිඳු මහ රහතන් වහන්සේ වෙතින්
පැවිදි බව ලබාගත් ඉසුරුමත් කුලවල පිරිසගේ විහරණය සඳහා ගොඩනඟන ලදී. වෛශ්‍ය
කුලවතුන්ගෙන් පැවිදි වූ පිරිසට ගොඩනඟන ලද්දේ වෙස්සගිරියයි. ක්‍රි.ව. 470ත් ක්‍රි.ව
497ත් යන කාලපරිච්ජේදයේ දී සීගිරි කසුප් රජු විසින් ස්වකීය දියණිවරුන්ගේ නම් ඇතුළත්
වන පරිදි බෝ උපුල්වන් කසුප්ගිරි වෙහෙර යනුවෙන් නම් කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද බව
සෙල්ලිපිවල සඳහන් වේ. අෂ්ට ඵලරුහ බෝධීන් වහන්සේ නමක් මෙම ස්ථානයෙහි ද රෝපණය කර ඇති
බව තවදුරටත් සඳහන් කළ හැකි ය.
පඨමකචේතිය
අනුරාධපුරයෙහි වැඩ සිටි මිහිඳු මහරහතන් වහන්සේ වෙත දෙවන පෑතිස් රජතුමා විසින් කරන
ලද ඉල්ලීමකට අනුව මහරහතන් වහන්සේ මහමෙවුනාවෙහි වැඩ සිටියහ. උන්වහන්සේ වැඩ සිටි එම
ස්ථානයෙහි පසුකාලීන ව චෛත්‍යයක් ඉදිකරන ලදී. එය පඨමකචේතිය, නිවත්ත චේතිය යන
නම්වලින් හැඳීන්වූ අතර, එම ස්ථානයෙහි ද අෂ්ට ඵලරුහ බෝධින් වහන්සේ නමක් රෝපණය කර ඇත.
කතරගම හා වන්දනාගම
වර්තමානය වන විට කතරගම ස්කන්ධ දිව්‍ය රාජයාගේ දෙවොලක් ලෙස ප්‍රකටව ඇත. රුහුණු
ප්‍රදේශයට අයත් කතරගමත්, වන්දනාගමත්, අෂ්ට ඵලරුහ බෝධීන් වහන්සේලා දෙනමක් රෝපණය කර
ඇති බවට මූලාශ්‍රයන්හි සඳහන්ව ඇතත්, වන්දනාග්‍රාමය කුමන ස්ථානයක පිහිටා ඇති දැ යි
මෙතෙක් හඳුනාගෙන නොමැත.
හේමමාලා රන්දුනු |