[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලංකාවේ බෞද්ධ ස්තූප - 19:  බුදුරජාණන් වහන්සේ වැඩසිටි මිණි පලඟ මත ඉදි වූ කැලණිය චෛත්‍ය රාජයාණන් වහන්සේ

ලංකාවේ බෞද්ධ ස්තූප - 19: 

බුදුරජාණන් වහන්සේ වැඩසිටි මිණි පලඟ මත ඉදි වූ කැලණිය චෛත්‍ය රාජයාණන් වහන්සේ

ආයාචනාය මණිඅක්ඛි මහෝරගස්ස
යස්මිං නිසී දි භගවා මණිමණ්ඩපස්මිං
තස්සෝ පරිට්ඨිත මුපට්ඨිත වීතරාගං
කල්්‍යා ණි චේතිය මහං සිරසා නමාමි

මණිඅක්ඛිත නම් නාගරජයා ගේ ආරාධනාවෙන් සර්වඥයන් වහන්සේ යම් තැනෙක මැණික් මණ්ඩපයෙහි වැඩහුන් සේක් ද, ඒ මතුයෙහි කරන ලද කල්‍යාණි චෛත්‍යරාජයා වන්දනා කරම්.

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ති‍්‍රක්කයේ කැලණිය නගරය ආසන්නයේ පිහිටා තිබෙන කැලණිය පුදබිම සොළොස් මහා සිද්ධස්ථානයන් හි තුන්වන ඉපැරණි විහාරස්ථානය ලෙසයි හඳුන්වන්නේ.

බුදුරජාණන් වහන්සේ තුන් වරක් ලංකා ද්වීපයට වැඩම කළ බව මහා වංසයේ සඳහන් වේ. එහි සඳහන් වන ආකාරයට සම්බුද්ධත්වයෙන් මාස නවයකට පසු ලංකාද්වීපයට වැඩි උන්වහන්සේ මහියංගණයේ මහානාග උයනේ දී යක්ෂයින් දමනය කළහ. එදා එම ස්ථානයේ සිටි පිරිස අතර කැලණියේ මණිඅක්ඛිත නා රජු සිටි බව ද, බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ දී දෙසූ ධර්මය අසා නා රජු සරණ සීලයේ පිහිටි බව ද සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූයේ සම්බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේ දී ය. ඒ චූලෝදර සහ මහෝදර නා රජුන් අතර ඇති වූ මිණිපළඟක් අරභයා ඇති වූ අරගලය සමථයට පත් කිරිම සඳහා ය. එම අවස්ථාවේ දී ද කැලණියේ මණිඅක්ඛිත නා රජුට බුදුරජාණන් වහන්සේ හමුවිය. ඒ හමු වූ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේට සිය රාජධානිය වූ කැලණියට වැඩම කරන ලෙස මණිඅක්ඛිත නා රජු ආරාධනා කළේ ය.

බුදුරජාණන් වහන්සේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනාව පිළිගත්ත ද නා රජු සිතූ තරම් ඉක්මනින් බුදුරජාණන් වහන්සේගේ වැඩ ම වීම සිදු නොවීය. ඒ නිසා ම මණිඅක්ඛිත නා රජු ඉන්දියාවේ ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේ බැහැ දැක තම ආරාධනය නැවත සිහිපත් කරන ලද්දේ ය.

බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ වෙසක් පුන් පොහෝ දිනක පන්සීයයක් මහ රහතන් වහන්සේ සමගින් කැලණියට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ පළමුවෙන් ලංකාවට වැඩම කළ අවස්ථා දෙකට වඩා මෙම අවස්ථාව වඩා වැදගත් විය. ඒ බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයේ භූමිය ස්පර්ශ කිරීමයි.

මෙම වැඩමවීමේ දී කැලණි නදියෙන් ජලස්නානය ද සිදු කර ඇත. ජලස්නානය සිදු කරන අවස්ථාවේ දී මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණි ගඟෙහි ද ශී‍්‍ර පාද ලාංඡනයක් පිහිට වූ බවයි ග්‍රන්ථයන්හි සඳහන් වන්නේ.

ජලස්නානයෙන් පසු බුදුරජාණන් වහන්සේ මහ රහතන් වහන්සේලා සමඟින් දන් වළඳා, මණිඅක්ඛිත නා රජු ඇතුළු දෙවි මිනිසුන්ට ධර්මය දේශනා කර ධර්මාවබෝධය ලබා දී ඇත්තේ වර්තමානයේ සෑ රඳුන් වහන්සේ පිහිටි ස්ථානයේ මැණික් මණ්ඩපයේ මැණික් ආසනයක් ( මිණි පලඟක්) මත වැඩ සිටිමින් බව සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ඒ මිණිපළඟ තැන්පත් කර උන්වහන්සේ ඇතුළු පන්සියයක් මහ රහතන් වහන්සේලා වැඩ සිටි මණ්ඩපය පිහිටි ස්ථානයේ අඩි හැටක් පමණ උසැති අලංකාර ස්තූපයක් නා රජු විසින් ඉදි කරන ලද්දේ යැයි සඳහන් වේ.

වර්තමානයේ මෙම ස්තූපය අඩි අනූවක් පමණ උසැතිය. ධාන්‍යාකාර හැඩයෙන්, එනම් වී ගොඩක හැඩයෙන් යුක්ත ය. නමුත් අතීතයේ මෙම ස්තූපය කුමන හැඩයකින් ඉදිකළ ද යන්න පැහැදිලි නැත. මිණි පළඟ තැන්පත් වීම නිසා මෙය පාරිභෝගික ස්තූපයක් වන්නේ ය. වෙනත් නිධන් වස්තු හා සර්වඥ ශාරීරික ධාතූන් වහන්සේ පසුව සිදු කළ ප්‍රතිසංස්කරණවල දී තැන්පත් කරන්නට ඇතැයි සැලකේ.

කි‍්‍ර. ව. දෙවැනි සියවසේ දේවානම්පියතිස්ස රජුගේ සොයුරු උත්තිය රජු කි‍්‍ර. පූ. දෙසිය දහයේ දී පමණ ස්තූපය ඇතුළු විහාරය ප්‍රතිසංස්කරණය කළේ යැයි ද සඳහන් වේ. යටාලතිස්ස රජු ස්තූපය අඩි එකසිය විස්සක උසට විශාල කර, පස් මහල් ප්‍රාසාදයක් ද ඉදි කළේ යැයි සඳහන් වේ. දුටුගැමුණු රාජ්‍ය සමයේ කැලණි විහාරයේ භික්ෂූන් වහන්සේලා පන්සියයක් පමණ වැඩ සිටි බව ද මහාවංසයේ සඳහන් වේ. ඒ වගේ ම කණිට්ඨතිස්ස රජු, මහා පරාක්‍රමබාහු රජු, නිශ්ශංකමල්ල රජු විහාරයේ නොයෙක් සංවර්ධන කටයුතු සිදු කළේ ය. තුන්වන විජයබාහු රජු ස්තූපය ප්‍රතිසංස්කරණය කරවා රන්කොතක් ද පැළැදවී ය. කැලණි පුදබිමේ මෙම ප්‍රධාන ස්තූපය හැර තවත් කුඩා ප්‍රමාණයේ ස්තූපයක් තිබූ බවට මූලාශ්‍රවල සඳහන් වේ. එය “සිවුරු දාගැබ“ නමින් හැඳීන්වී ඇත. එදා බුදුරජාණන් වහන්සේ කැලණි ගඟෙන් පැන් සනහා ගන්නට සිවුරු තැන්පත් කර තිබූ ස්ථානයේ එම ස්තූපය ඉදිකර තිබූ බව සඳහන් වේ. සමන් දෙවියන් විසින් සමනල අඩවියට වඩිනා ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේ ද කැලණියේ දී ය.

බුදුරජාණන් වහන්සේගේ තුන්වන ලංකා ගමනයෙන් පාරිශුද්ධ වූ කැලණි පුදබිම එදත් අදත් මිනිස් මනස උපශාන්තියට පත් කරවන අතර, අකුසල බලවේග තුනී කර කුසල ශක්තිය වර්ධනය කරන පුණ්‍යවන්ත බිමක් ලෙසට ජන හදවත් තුළ කාලාන්තරයක් තිස්සේ පැවති බව කැලණි හෑල්ල සනාථ කරයි.

  ඉල් පුර අටවක 

නොවැම්බර් 21
සෙනසුරාදා අපරභාග 09.48 න් පුර අටවක ලබා 22 ඉරිදා අපරභාර 10.51 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk