[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අනුපමේය සේවයක් ඉටු කළ අති පූජ්‍ය නාපාන පේමසිරි මහ නා හිමි

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අනුපමේය සේවයක් ඉටු කළ අති පූජ්‍ය නාපාන පේමසිරි මහ නා හිමි

සංඝ ශෝභන ගුණ පූජිත මහා තෙර නමක් ලෙස ත්‍රෛනිකායික මහා සඟරුවනේ ගෞරවයට පාත්‍ර වූ සාසන සෝභන ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය, සිරි සීලවංස වංසාලංකාර, පරියත්ති විශාරද, ත්‍රිපිටක ධර්ම චක්‍රවර්ති, ස්ථවිර වංසාලංකාර ශාසන කීර්ති ශ්‍රී, රාජකීය පණ්ඩිත, විනයාචාර්ය විනය විශාරද, අග්ගමහා පණ්ඩිත, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධුරන්දර, අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නායක මාහිමිපාණන් වහන්සේ පසුගිය 17 වැනිදා අපවත් වී වදාළහ. මේ ලිපිය උන් වහන්සේගේ ශාසන මෙහෙවර ගැන කෙටි හැඳීන්වීමක් පමණි.

කන්ද උඩරට මහනුවර පාතදුම්බර උඩගම්පහ කෝරළයේ නාපාන ග්‍රාමයේ දී 1923 ජනවාරි 20 වැනිදා ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර කිරිබණ්ඩාර නිලමේතුමාට දාව නියංගොඩ හිටි බණ්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේගේ කුසින් මෙලොව එළිය දුටු පුත් කුමරෙකි. මේ කුමරාට ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර ටිකිරි බණ්ඩාර යන නාමය තබන ලදී.

වලල මූලික පාසලෙන් අත්පොත් තැබීමෙන් අනතුරුව ගුන්නෑපාන අමුණුගම මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ටිකිරි බණ්ඩාර කුමරා නිතර ආගමික කටයුතු කෙරෙහි ඇලුණු දරුවෙක් විය. ඒ නිසාම දසවස් පිරෙද්දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරයෙහි වැඩ වාසය කළ (අපවත් වී වදාළ) තෙරිපැහැ සිරි සීලවංශ නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් නාපාන පේමසිරි නමින් මේ කුමරා පැවිදි විය. ඒ 1933 ජූලි මස 08 වෙනිදා හුරිකඩුව උදුම්බරාරාමයේ දී ය.

සාමණේර අවධියේ මූලික බණ දහම් අධ්‍යයනය කළ පේමසිරි හිමියෝ 1935 වසරේදී කොළඹ වැල්ලවත්ත ශ්‍රී ධර්මෝදය පිරිවෙනට ඇතුළත් වූහ.

ජාතියේ පිනට පහළ වූ ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත ධර්මධර විනයධර මහා තෙරවරුන්ගේ ආශ්‍රය ලැබූ පේමසිරි හිමියෝ ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම විභාග සමත්ව අවසානයේ රාජකීය පණ්ඩිත විද්‍යා විසාරද පරීක්ෂණය ද සමත් වූහ.

මෙසේ අධ්‍යයන කටයුතුවල මෙන්ම ශාසනික කටයුතුවල ද මනා ලෙසින් නියැළී කටයුතු කළ පේමසිරි හිමියෝ 1943 වසරේ අගෝස්තු 6 වැනිදා මහනුවර කටුගස්තොට දී පිගාඔය මධ්‍යයේ ඉදිකළ උදකුක්ඛේප පෝය සීමා මාලකයේ දී උපසම්පදා ශීලය ලැබූහ. එතැනින් පසුව ද අධ්‍යයන කටයුතු සිදු කළ පේමසිරි හිමියෝ තමන් වහන්සේ උගත් ධර්ම ශාස්ත්‍රීය සේවය භික්‍ෂු පරපුරට දායාද කිරීම පිණිස 1945 වසරේ දී නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙණින් ගුරු වෘත්තිය ආරම්භ කළහ.

තමන් උගත් ධර්මය පරාර්ථය සඳහාම යොදවමින් කැටවල ශ්‍රී ජිනේන්ද්‍රාරාමයේ ආරම්භ කළ ශ්‍රී විද්‍යාලෝක පිරිවෙනෙහි පරිවේණාධිපති ධූරය හොබවමින් උගත් ගිහි පැවිදි පිරිසක් රටට සසුනට දායාද කරන්නට කටයුතු කළහ.

ගිහි පැවිදි විශාල ශිෂ්‍ය පිරිසකට පාලි, සිංහල සංස්කෘත බුද්ධ ධර්මය යන විෂයන් ඉගැන්වීමේ නිරතව සිටි නාහිමියන් පසුව තමන් වහන්සේ උපත ලැබූ ගමට ආසන්න ගම් පියසක් වන මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙණ ආරම්භ කරන ලදී. ඒ 1967 වසරේ දී ය. එහි ප්‍රථම පරිවේණාධිපති ධූරය දරන ලද්දේ ද උන් වහන්සේ විසිනි.

එහිදී භික්‍ෂූන් වහන්සේට අමතරව ගිහි සිසුන් ද විශාල පිරිසක් උන් වහන්සේ විසින් ඇරැඹූ එම පිරිවෙණින් අධ්‍යාපනය ලබන ලදී. ඒ බොහෝ පිරිස් අදද සමාජයේ ඉහළ තනතුරු හොබවති.

ශ‍ී‍්‍ර ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ යාවජීව සාමාජිකයකු ද වූ උන්වහන්සේ එහි කාරක සභිකයකු ලෙස ද ක‍ි‍්‍රයා කළ හ.

උන් වහන්සේ සැමවිටම උත්සාහ කෙළේ ගුණ දහමින් පිරි සමාජයක් කරා යන ගිහි පැවිදි පිරිසක් බිහි කිරීම වෙනුවෙනි. ඒ සඳහා කිසිදු විටෙක උන් වහන්සේ තනතුරු නම්බු නාම ගැන නොතැකූහ. එසේ වුවත් උන් වහන්සේගේ ශාසනික මෙහෙවර උදෙසා 1980 වසරේ මහනුවර ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති ධූරය උන් වහන්සේට පිරිනැමුණි. එසේම 1986 වසරේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනුවර ප්‍රාදේශීය සංඝ සභාවේ ම ලේඛකාධිකාරී පදවිය ද 1987 දී එම නිකායේ සඤ්ඤා ලේඛකාධිකාරී ධූරය ද හිමි විය.

බුදුරජාණන් වහන්සේ විසින් වදාළ දහමට අනුවම යමින් නාහිමියෝ විදෙස් ධර්ම චාරිකාවේ ද වැඩම කළහ. සිංගප්පූරුව, ඔස්ට්‍රියාව, වියානා, එංගලන්තය හා දඹදිව ඇතුළු විදෙස් රටවල පැවති ජාත්‍යන්තර බොදු සමුළු ද උන් වහන්සේ නියෝජනය කළහ. ඊට අමතරව ධර්ම ප්‍රචාරයෙහි ද නිරත විය.

1998 වසරේ දී අධිකරණ සංඝනායක පදවිය ලැබූ නාපාන නා හිමියන්ගේ ආගමික ශාසනික සේවාව වෙනුවෙන් උන් වහන්සේට 2008 වසරේ දී මියන්මාර් රාජ්‍යයෙන් අග්ගමහා පණ්ඩිත ගෞරවෝපාධිය ද හිමි වූහ. එමෙන්ම පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් ආයතනය වෙතින් ස්ථවිරවංශාලංකාර ශාසනකීර්ති ශ්‍රී යන ගෞරව උපාධියෙන් ද උන් වහන්සේ පිදුම් ලැබූහ

කිසිදු තනතුරු නාමයන් ගැන කිසිදු අයුරකින් උදම් නොවූ නාහිමියන්ගේ උත්කෘෂ්ට ගුණාංගය නිසාම 2012 වසරේ ඔක්තෝබර් 19 දී උන් වහන්සේ රාමඤ්ඤ නිකායේ 13 වන මහ නායක ධුරයට පත් වන්නේ අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහ නා හිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහ නාහිමි තනතුර වෙනුවෙනි.

කුමන තනතුරක් ලැබුණ ද ඒ සියලු තනතුරු උන් වහන්සේ උපයෝගී කරගත්තේ ශාසනික කටයුතු වෙනුවෙන් ම ය.

ඒ අනුව දුනුවිල සඳගිරි ලෙන් විහාරය, කුණ්ඩසාල වරාපිටිය බෝධිරුක්ඛාරාමය, පල්ලේකැලේ සීලවංශ බෞද්ධ මධ්‍යස්ථානය, මින්දගොඩ සිරි සුමනාරාමය, රජවැල්ලේ ශ්‍රී පූර්වාරාමය හා අලුත්වත්ත මිහිඳු ධර්ම පීඨය යන විහාරස්ථාන සියල්ල ම මහ නා හිමියන්ගේ උපදෙස් අනුව ඉදි කළ ඒවා ය.

එම විහාරස්ථානයන්හි දහම් පාසල් ආරම්භ කර කන්ද උඩරට දරු දැරියන්ට ධර්මාවබෝධය ලබා දීමට ද උන් වහන්සේ නව පියවරක් තැබීම විශේෂයෙන්ම සිහි කළ යුතු ය.

මහනාහිමි සිදු කළ සාමාජික සේවාවන් ද රැසකි. ඒ අතර 1951 වසරේ දී හුරීකඩුවේ ශ‍ී‍්‍ර විජය ප්‍රජා මණ්ඩලය ආරම්භ කරමින් ගමට ක‍ී‍්‍රඩා පිටියක් හා සමූපකාර වෙළඳ සැලක් ලබාදීමට ක‍ි‍්‍රයා කිරීම ද, ගමේ අභිවෘද්ධිය පිණිස විද්‍යාසාගර අන්‍යෝන්‍යාධාර සමිතිය, සංඝමිත්තා ග‍‍්‍රාම සංවර්ධන හා සුභසාධක සමිතිය, ශ‍ී‍්‍ර සුචරිතවර්ධන ළමා සමාජය ආදී සමිති රැසක් ආරම්භ කිරීම ද අගය කළ යුතු ය.

සර්වෝදය ව්‍යාපාරය කන්ද උඩරටට හඳුන්වා දී එහි සේවාවන් සිදු කිරීම සඳහා ස්වකීය විහාරස්ථානයේ මහනුවර දිස්ත‍ි‍්‍රක් මධ්‍යස්ථානය පිහිටුවීම ආදියද මෙහිදී දැක්විය හැකි ය. තව ද උන් වහන්සේට පරිත්‍යාග වශයෙන් ලැබුණු ඉඩමෙන් අක්කර 2 ක් ද්‍රවිඩ ජනතාවගේ සොහොන් පිටියක් ඉදිකරවීම සඳහා පිරිනැමීම මහනාහිමි සමාජ සේවා අතර විශේෂත්වයක් ගන්නා ලදී.

තෛ‍‍්‍රනිකායික මහා සංඝයා වහන්සේලාගේ සමඟිය පිළිබඳව දැඩි අවධානයෙන් ක්‍රියාකළ නාහිමියන් රටේ සෑම අභියෝගාත්මක අවස්ථාවන්හි දී ම සෘජුව ඉදිරිපත් ව කටයුතු කරන ලදී. එසේම දුරබැහැර ශාසනික කටයුතුවල යෙදී සිටින භික්‍ෂූන් වහන්සේ දිරිගැන්වීමට ද උන් වහන්සේ විසින් කටයුතු කරන ලදී.

2019 අගෝස්තු මාසයේ 16 දින ශ‍ී‍්‍ර ලංකා අමරපුර සහ රාමඤ්ඤ යන මහ නිකායන් දෙක එක් කරමින් ශ‍ී‍්‍ර ලංකා අමරපුර රාමඤ්ඤ සාමග‍ී‍්‍ර මහා සංඝ සභාව ලෙස පෙනී සිටීම සඳහා වන සම්මුතියට අත්සන් තැබීමෙන් පසුව එහි සම සභාපති ධුරයට ද මහනාහිමියෝ පත් වූ හ.

භික්ෂූන් වහන්සේට මෙන්ම රටට දැයට හානිවන යම්කිසි කරුණක් දුටුවේ නම් උන් වහන්සේ ඒ සෑම අවස්ථාවක දී ම රට දැය සමය වෙනුවෙන් කතා කළහ.

චිරාත් කාලයක් බුදු සසුනට හා සමාජයට විශිෂ්ට මෙහෙයක් සිදු කළ උන් වහන්සේ පසුගිය 17 අඟහරුවාදා පේරාදෙණිය රෝහලේ දී අපවත් වී වදාළේ අවුරුදු 98ක් ආයු වැළ¼දීමෙන් අනතුරුව ය. උන් වහන්සේට නිවන් සැප ප්‍රාර්ථනා කරමු.

  ඉල් පුර අටවක 

නොවැම්බර් 21
සෙනසුරාදා අපරභාග 09.48 න් පුර අටවක ලබා 22 ඉරිදා අපරභාර 10.51 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk