වීර්යයෙන් පුරුදු
කළ යුතු
නො පසුබස්නා වීර්යය
අමෙරිකා එක්සත් ජනපදයේ
කැලිෆෝනියා ප්‍රාන්තයේ
ක්ලාරා නුවර බුද්ධි විහාරවාසී
රාජකීය
පණ්ඩිත
කොටපොළ චන්දිම හිමි
ජපානයේ භික්ෂූන් වහන්සේ සතර නමක් ‘සසර ඇති අනවරාග්‍ර දුකින් අත මිදෙමු’යි සාකච්ඡා
කොට, තමන් සතු සියලු දේ හා නගරබද ආරාම වාසය ද හැර දමා ඈත පෙදෙසක ආරණ්‍යයක් වෙත
පැමිණියහ.
ඒ අවබෝධ ඥානය ලබනතුරු අපි වදනක්වත් හුවමාරු කර නොගනිමු’යි යන අධිෂ්ඨානය පෙරදැරිව ය.
භාවනා ශාලාවේ හා දානමාන කටයුතු භාර ගිහි යෝගියකු හැරුණු කොට වෙන කිසිවකුට ආරාමයට
පිවිසීමට අවසර නොවී ය.
පළමු දිනය හොඳින් ගෙවිණි. දෙවන දිනය ද, තෙවන දිනය ද, සාර්ථක ව ගෙවිණි. සිව්වන දිනයේ
සවස අතවැසියාට භාවනා ශාලාවේ පහන දැල්වීමට අමතක විය. ශාලාව කෙමෙන් කෙමෙන් දැඩි අඳුරේ
ගිලෙන්නට විය. එක් භික්ෂුවක් මෙය දුටුවේ ය. කතාවට බර කෙනකු වූ උන්වහන්සේගේ ඉවසීම
නැති විය.
“ෂ්ෂ්ෂ්” පහන ,උන්වහන්සේ අතවැසියාට සංඥා කළේ ය.
“හපොයි කතා කළා නේද? දෙවන භික්ෂුවට ද ඉබේටම කියැවිණි.
“මෙහෙමත් මෝඩයෝ දෙන්නෙක්. දෙන්නාම කතා කළා”. කෝපවන සුළු තෙවැනි භික්ෂුවට ද කතා නො
කර සිටිය නොහැකි විය.
සතරවන භික්ෂුව නෙත් පියාගත්වන ම ය. ඇඟද නොසෙල් වී තිබිණි. එහෙත් අනේ මුව ඇරිණි.
“මෙතන මම විතරයි කතා කළේ නැත්තේ”
උන්වහන්සේ ගේ නිශ්බ්දතා
අධිෂ්ඨානය එතැනින් නිමාවිය.
සැබවින් ම උන්වහන්සේට වැරැදුනේ කොතැන ද? උන්වහන්සේට මඳ වූයේ වීර්ය ධර්මතාවය යි.
ධර්ම මාර්ගයේ යෙදෙන ප්‍රඥාවන්ත ආර්ය ශ්‍රාවකයන්හට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප
තුළ ඇතිකරගත යුතු වීර්යය ප්‍රභේද වශයෙන් හයක් පුහුණූු කළ යුතු ආකාර වශයෙන් හතරක් ද
දක්වා ඇත.
අත්තකාර සූත්‍රයට අනුව එම වීර්යය ප්‍රභේද සය මෙසේ දක්වා ඇත.
ආරම්භක ධාතු – ආරම්භ කිරීමේ වීර්ය යි. ධර්ම මාර්ගය ආරම්භ කිරීමට වීර්යය නැතහොත්
නොහැකි ය. ලොව සියලුම ලෞකික ලෝකෝත්තර කටයුතු ආරම්භයට මෙකී වීර්යය අත්‍යවශ්‍ය ය.
නික්ඛම ධාතු – පවත්වාගෙන යාමට අවශ්‍ය වීර්යය යි. ධර්ම මාර්ගය උද්‍යෝගිමත් ව ආරම්භ
කළ ද පවත්වාගෙන යාම ඉතා අපහසු ය. පෙරකී ජපන් හිමිවරුන්ට නො තිබුණේ මෙයයි.
පරක්කම ධාතු – කෙළවරක් දක්වා පුහුණුවීමට ඇවැසි වීර්යය යි. මෙය ද ඉතා දුර්ලභ ය. ලොව
ලෞකික, ලෝකෝත්තර කටයුතු අරඹන බෙහෝ දෙනා අතුරින් අතැම්හු මුල දී ම ඇද වැටෙති.
ඇතැම්හු ටික කලක් වීර්ය යොදා මැද දී නතර වෙති. කෙළවර දක්වා යන්නෝ ඉතා දුර්ලභ ය.
ථාම ධාතු – බලවත් කරන වීර්ය යි. සිය අරමුණ තුළ දැඩිව සිත පිහිටුවා ගැනීමට බලවත් කරන
වීර්යය මෙයින් අදහස් වේ.
ඨිති ධාතු – අරමුණ කරා යාමට, ඝන පර්වතයක් මෙන් නො සැලෙන, එතුළ ම රැඳෙන වීරියවත්
ස්වභාවය මින් අදහස් වේ.
උපක්කමික ධාතු – උපායශීලි බවින් යුක්තව වීර්යය සිය අරමුණ දක්වා ම ක්‍රමානුකූල ව
කලමණාකරණය කිරීම මින් අදහස් වේ.
මනුෂ්‍ය ඝාතකයාට ද, සොරාට ද, ස්ත්‍රී
දූෂකයාට ද, හිංසකයාට ද එම පව්කම් කිරීමට වීර්යයක් අවශ්‍ය වන නමුත්, එය සැබෑ යහපත්
වීර්යයක් නොවේ. ගඟ පහළට ගැලීම සේ ම අප තුළ කොහොමත් පවතින අකුසල් ක්‍රියාත්මක කිරීමට
ඇවැසි වීර්යය ඉතා කුඩා ය.
එහෙත් ගඟෙහි උඩට පිවිසීමට ඉතා අපහසු වන සේ එබඳු කෙලෙස්වලින් මිදීි කුසලය පුහුණු
කිරීමට ඉතා සුවිසල් වීර්යයක් අවශ්‍ය වේ. එම වීර්යය පුහුණුූ කළ යුතු ආකාර සතර “
සම්‍යග් ප්‍රධාන වීර්යය” ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත.
තමා තුළ ඇති අකුසල් ධර්ම දුරු කිරීමට කළ යුතු වීර්යය,
තමා තුළ නැති අකුසල් නූපදවීමට කළ යුතු වීර්යය, තමා තුළ ඇති කුසල් වර්ධනය කරමින්
පවත්වාගෙන යාමට කළ යුතු වීර්යය හා තමා තුළ නැති කුසල් උපදවා ගැනීමට කළ යුතු වීර්යය
වශයෙනි.
වීර්යය ගැන බොහෝ දෙනා ඉගෙන ගත්තත්, කතා කළත් එය පුහුණු කරන අය මද ය. එයට හේතුව
කුසීත බව හෙවත් කම්මැලිකම යි. එසේ සිටින තාක් අපි සසරට බිය නො දකිමු.
අපේ ජීවිතය ඉතා කෙටි ය. සතර මහා ධාතූන් කිපී අප අදම මිය යා හැකි ය. හෙට ද මිය යා
හැකි ය. කොරෝනා වෛරසය බඳු වසංගත බියකින් හෝ, සොර සතුරු උපද්‍රවයකින් හෝ මහ පාරේ
සිදුවන අනතුරකින් හෝ විෂකින් හෝ ගිනි කුණාටු, ජල ගැලීම් ගිලීම, සර්ප ප්‍රහාර,
අමනුෂ්‍ය ආවේගාදියෙන් හෝ අප මිය යා හැකි ය.
අපේ ජීවිතය අවුරුදු සියයක් නම් ඉන් පනස් වසරක් ම අපි නිදීමට වැය කරමු. ඉතුරු පනස්
වසරින් වසර 25 ක් පමණ අපි අධ්‍යාපනය ලැබීමට, රැකියා කිරීමට, මළගෙවල්, මඟුල් ගෙවල්
ආදියට වැය කරමු. බාල, මහලු රෝගී කාලවලට තවත් වසර දහ පහළොවක් යෙදූවිට අපට ඉතිරිව
ඇත්තේ වසර දහයක පමණ කාලයකි. එයිනුත් දැනට ඔබ කෙ තරම් කාලයක් ගෙවා ඇත් ද?, තවත්
ඉතිරිව ඇත්තේ වසර කීයක් ද? හිස ගිනි ගත්තෙකු මෙන් කුසල් දහම් වැඩීමට භාග්‍යවතුන්
වහන්සේ වදාළේ මන්ද යන්න ඔබට දැන් වැටහුණා ද? එසේ වූයේ නම් ඔබ පින්වත්
ප්‍රඥාවන්තයෙකි.
අද ඔබ මනුෂ්‍යයෙකි. එය වූයේ ඉතා කුඩා බලවත් පිනක් නිසා විය හැකි ය. එහෙත් අපේ
සංසාරික බැංකු ගිණුමේ නරක තැන්පත් අහස උස්ව ඇති බව ඒකාන්ත ය. අදම සිට අප්‍රමාදව
වීර්යවන්ත නො වූයේ නම්, මේ අගනා මනුෂ්‍ය ජීවිතය කාබාසිනියා කොට ගෙවා දැමු අවසන අපේ
හොඳ තැන්පත් ගෙවී නරක තැන්පතු වැය කිරීමට අප හට දුගතිවල සැරිසැරීමට සිදුවනු ඇත.
ඇඳක නිදා සිටි කෙනකු ඇඳේ සර්පයා දැක ඇඳෙන් පනින්නේ යම්සේ ද, අප ද සංසාර භය දැක පංච
කාමයන් මත නිදමින් නො සිට ධර්ම මාර්ගයට පැන ගන්නට වීර්යය කළ යුතු ය.
තවත් දෙයක් හොඳින් තේරුම් ගත යුතු ය. ප්‍රමාණයට වඩා ඇති වීර්යය ද අන්තරායකර ය.
ප්‍රඥාව නො වඩන, වීර්යය පමණක් යොදන යමකුට ධර්ම මඟ හොඳින් දියුණු කළ නො හැකි ය.
වරක් සෝණ හිමියෝ වීර්යය දැඩි කොට නො නිදමින් ආහාර කාලය හැර අවශේෂ කාල සියල්ලම
යොදමින් සක්මන් භාවනා වේ යෙදුණේ ‘ඉක්මනින් ම සසර දුක කෙළවර කරමි’ය යන අධිෂ්ඨානයෙනි.
ටික දිනකින් උන්වහන්සේ ගේ පතුල් පැලී ලේ ගලන්නට විය. බුදුරජාණන් වහන්සේ මෙය දැන සෝණ
හිමියන් හමුවට වැඩියහ.
“සෝණ, ඔබ කලින් වීණා වාදකයකු නේද?” භාග්‍යවතුන් වහන්සේ විචාළ සේක.
“එහෙමයි, ස්වාමීනි” සෝණ හිමියෝ පිළිවදන් දුන්හ.
“වීණාවේ තත් ඉතා තද කළ විට මිහිරි හඬ නැඟේ ද?”
“නැත, ස්වාමීනි.”
“වීණාවේ තත් ඉතා ලිහිල් කළ විට මිහිරි හඬ නැඟේ ද?”
“නැත, ස්වාමීනි,”
“එසේනම් තත් ප්‍රමාණවත් පරිදි යෙදූ විට”?
“මිහිරි හඬ නැඟෙයි. ස්වාමීනි”
“සෝණ පුහුණු ව ද, එසේ ම ය. ප්‍රමාණය ඉක්මවා ගිය වීර්යය ද ලිහිල් වූ වීර්ය ය ද. දහම්
මඟ වැඩීමට බාධක වේ. එහෙයින් ධර්ම මාර්ගය නිසි පරිදි අවබෝධ කර ගනිමින් අවශ්‍ය
ප්‍රමාණයට වීර්යය කළ යුතු ය”
එය අවබෝධ කරගත් සෝණ තෙරණුවෝ ක්‍රමානුකූල ව වීර්යය යොදා මහරහතුන් වහන්සේ නමක් බවට
පත් වූහ.
හෙට කවරක් වේ ද, මරණින් මතු කවර උපතකට අප යා දැයි කිසිවකු නො දනියි. ඉතිරිව ඇති සුව
කාලය මනාව කළමණාකරණය කොට අවබෝධයෙන් දහම් මඟ වඩා, සසර දුක් කෙළවර කොට උතුම් වූ නිවන
සාක්ෂාත් කර ගැනීමට ප්‍රඥාවන්ත පිනැතියන් විසින් වහ වහා වීර්ය කටයුතු වේ. |