වප් පුර පසළොස්වක 2020.10.30
තමන් උපමාවට ගැනීම
මිනිසුන් තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදී දුර්ගුණ පහළවන විට සොබා දහම පවා මිනිසාට
එරෙහි වන බව බුදු දහමේ අවධාරණය කෙරේ. ඒ සත්‍ය ධර්මතාව අද අපි ප්‍රායෝගික ව ම අත්
විඳිමින් සිටිමු.
රෝග බිය, මරණ බිය දැන් මුළු ලෝකය පුරා පැතිර යමින් තිබේ. එය මිනිසා දීර්ඝ කාලයක්
තිස්සේ ඉවක් බවක් නොමැතිව සොබා දහමට කළ අකටයුතුකම්වල, පස මිතුරුකම්වල ප්‍රතිඵලයක්
නොවන්නේ යැයි කිසිවෙකුට ප්‍රත්‍යක්ෂයෙන් කිව නොහැකි ය.
එහෙත් කළ, කී දේ ගැන පසුතැවීමෙන් ප්‍රයෝජනයක් නොමැත. කළ යුතු ඉදිරිය නිවැරැදි කර
ගැනීමට උත්සාහවත් වීම ය.
බුදු දහම අපට උගන්වන්නේ තමන්ට ද හිත පිණිස වන ලෙස, අනුන්ට ද හිත පිණිස වන ලෙස
ජීවත්වීමේ ප්‍රතිපදාවයි. එය මිනිසා විසින් මිනිසාට පමණක් නොව ගහ කොළ සතා සීපාවා
ඇතුළු සමස්ත පරිසරයට ම පවත්වනු ලැබිය යුතු ක්‍රියා පිළිවෙතකි. එතැන ඇත්තේ
මිත්‍රශීලී බවකි. එක් අවස්ථාවක ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ
උන්වහන්සේගෙන් මෙසේ විමසූහ.
‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්මයෙන් හරි අඩක් ම මිත්‍රත්වය මත රඳා
පවතිනවා නේද?’ යනුවෙනි. එවිට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ හරි අඩක් නොව මුළු
බුදු දහම ම රඳා පවතින්නේ මිත්‍රශීලී බව මත වන බව ය.
මිත්‍රශීලී බව නම් මෛත්‍රියයි. එනම් මෙත්තාවයි. අපගේ තථාගතයන් වහන්සේ සකල ලෝ සත වෙත
සම මෙත පෑ සේක. ඒ උතුම් සදහම් මඟ යන ආර්ය ශ්‍රාවකයන් ලෙස අප වෙතින් ද ඒ ගුණධර්ම
ප්‍රකට විය යුතු ම ය. නෑදෑ හිතමිතුරු, පසමිතුරු ඈ සියලු සත වෙත දක්වන ඒ මෙත් සිත
තුළ සියලු සතුන්ට හිතකාමී පරිසරයක් නිර්මාණය කර දෙයි. බුදුරජාණන් වහන්සේ තමන්
වහන්සේගේ අනුගාමිකයන්ගෙන් බලාපොරොත්තු වූයේ එයයි.
‘අත්තානං උපමා කත්වා’ යනුවෙන් දේශනා කොට වදාළේ නිතරම තමන් උපමාවට ගන්නා ලෙසයි.
එහෙත් බොහෝ විට සිදුවන්නේ අනෙකකි. තමන්, තම දූ දරුවන්, මව්පිය නෑදෑ හිත මිතුරන්
පමණක් සුව සේ ජීවත් වනවා නම් අනුන්ට කුමක් වු ව ද කම් නැත යන පටු ආකල්පයකින් බොහෝ
දෙනෙක් කටයුතු කරති. සමාජ අනර්ථයන් හා නොසැලකීම් සිදු වන්නේ ඒ තුළය.
මවක් සිය එකම දරුවාට දක්වන ආදරය ප්‍රමාණ කළ නොහැකි ය. ඇයට තම දරුවා තමන්ගේ ප්‍රාණය
හා සරි ය. අප අන්‍යයන් වෙත දැක්විය යුතු වන්නේ ද එවැනි ම දයාර්ද බවකි. මිතුරු බවකි.
ඒ තුළ මොන තරම් අපූර්ව පරිසරයක් නිර්මාණය වේද? අද අප මුහුණ දී සිටින රෝග වෛරසය මේ
තරම් හිස එස වූයේ ඒ දයාර්ද බව නොමැති නිසා නොවේ ද? දැන දැනම රෝගය සැඟවීම, සෞඛ්‍ය
පුරුදු මඟ හැරිම තුළ කොපමණ පිරිසක් අසරණ වූයේ ද? රටක් ලෙස මොන තරම් අසීරු තත්ත්වයකට
මුහුණ දී සිටින්නේ ද?
මේ මොහොතේ සිට හෝ අපට අවදි වන්නට කාලය ප්‍රමාණවත් ය. ධර්මය කොපමණ ශ්‍රවණය කළ ද,
ධර්ම ඥානය තිබුණ ද එය ප්‍රායෝගික ව ජීවිතයට පුුරුදු පුහුණු නොකළේ නම් දැන උගත්කමෙන්
අත්වන ප්‍රයෝජනයක් නැත.
යහපත් දේ ජීවිතයට පුරුදු පුහුණු කළ යුතු ය.
මෛත්‍රිය උපදවා ගන්නට උත්සාහ නොකරන තාක් අනුන්ට මෙත් වැඩිය නොහැකි ය. අනුන් ගැන
සිතීමට නොහැකි ය. සිතිවිලි ක්‍රියා කරන ආකාරය පුද්ගලයකුගෙන් පුද්ගලයකුට වෙනස් ය.
කෙනකුගේ සිත පොහොසත් ය. කෙනකුගේ සිත දුප්පත් ය. වැරැදි අදහස් පහළ වන්නේ දිළිඳු ලෙස
සිතන පුද්ගලයාගේ සිතෙහි ය. සිතිවිලි පොහොසත් කර ගත යුතු යැයි කියන්නේ එහෙයිනි.
මෛත්‍රී සිත පුරුදු පුහුණු කරන්නා තුළ තමන්ගේ මෙන් ම අනුන්ගේ ද යහපත පිළිබිඹු
වන්නේය. එහි දී ඔහු කවර හෝ අවස්ථාවක තමන්ගේ හැසිරීම් අනුන්ට අනර්ථයක් වන ලෙස පවත්
වන්නේ නැත. ඔහුගේ සිතිවිල්ලෙන් සේ ම ක්‍රියාවෙන් ද ඒ මිතුරු බව ප්‍රකට වෙයි. අප
පැමිණිය යුතු වන්නේ ද එවැනි තැනකට ය. |