[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වීදිය බණ්ඩාර කුමරු රැකවරණය ලැබූ වීදියගොඩ රාජමහා විහාරය

වීදිය බණ්ඩාර කුමරු රැකවරණය ලැබූ වීදියගොඩ රාජමහා විහාරය

කෝට්ටේ යුගයේ විසූ අතිදක්ෂ රණකාමී සෙන්පතියකු වූ වීදිය බණ්ඩාර රැකවරණය ලබමින්, සේනා සංවිධානය කළ ග්‍රාමවරයක් ලෙස ජනප්‍රවාදයෙහි සඳහන් වන වීදියගොඩ ග්‍රාමය විජයබා කොල්ලයෙන් පසු බෙදී ගිය රයිගම රාජධානියට නුදුරින් පිහිටා ඇත.


විහාරස්ථානය ආරම්භයේ දී හඳුනාගත් ශෛලමය ප්‍රතිමා වහන්සේ ප්‍රතිසංස්කරණය කර ඇති අන්දම

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ රයිගම් කෝරළයේ කුඹුකේ පත්තුවේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වීදියගොඩ ග්‍රාමය බණ්ඩාරගම නගරයේ සිට සැතපුම් තුනක පමණ දුරින් පිහිටා ඇත.

වීදියගොඩ රජමහා විහාරයේ ආරම්භය කවර වකවානුවක සිදු වූයේ දැයි ප්‍රකාශ කිරීම අවිනිශ්චිතය. එහෙත් වීදියගොඩ රජමහා විහාරයේ ගොදුරු ගමක් වන වැල්මිල්ලෙන් සොයා ගත් තුන්වන සේන රජුගේ කාලයට අයත් යැයි සැලකෙන පුවරු ලිපියට අනුව අනුරාධපුර යුගයේ සිටම මෙම ප්‍රදේශය ඉමහත් සශ්‍රීක බවින් යුතුව පැවතුණු බව පැහැදිලි වෙයි.

එම පුවරු ලිපියෙහි කියැවෙන ‘පහන්බුනු දනව්ව’ වීදියගොඩ විය හැකි බවට විද්වත් මත පළ වී ඇත. වීදාගම, පතහවත්ත, රයිගම ඇතුළු ඉපැරණි රජමහ විහාර රාශියක් මීට තදාසන්න ව පිහිටීම නිසා මෙම විහාරය ද ඊට සමකාලීන යැයි පැවසීමට හැකි සාධක පවතී.

විහාරස්ථානයේ මෑත කාලයේ නවෝදය ස්‍යාමොපසම්පදාව පිහිටුවීම හා සමකාලීන ව සිදු වූ බව කරුණු අධ්‍යයනයේ දී පෙනී යයි. වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන්ගේ තුන්වැනි ශිෂ්‍යවර ගිනිගත්පිටියේ සංඝරක්ඛිත හිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර, වීදියගොඩ රජමහා විහාරස්ථානයේ පුනර්ජීවනයට කැප වූහ.

ගිනිගත්පිටියේ සංඝරක්ඛිත හිමියන්ගේ ශිෂ්‍ය වූ ගිනිගත්පිටියේ දීපංකර හිමියෝ අක්ෂි ආබාධයක් සඳහා ප්‍රතිකාර ගැනීමට දකුණු ලක බෙන්තර දෝපේ ප්‍රදේශයට ගියහ. ඒ යන සෑම අවස්ථාවල දී ම මහානුභාව සම්පන්න බෝධීන් වහන්සේ සහ පෞරාණික නටබුන් සහිත ඉපැරණි විහාරස්ථානයක් පැවති බවට සාධක පැවති මෙම බිමෙහි සති කිහිපයක් ලැගුම් ගෙන ගිමන් හරිමින්, ධර්ම දේශනා පවත්වමින්, ගම් වැසියන්ගේ දානමානාදී ආගමික කටයුතු සිදු කර දුන් බව කියැවේ.

අක්ෂි ප්‍රතිකාර නිමවා යළි මහනුවර වඩින විට එගම දරුවකු දෝපේ ගුණරතන නමින් පැවිදි කරවන ලදි. මල්වතු පාර්ශ්වයේ අනුනායක පදවියෙන් සම්මානිත වූ දෝපේ ගුණරතන අනුනාහිමිපාණන් වහන්සේ ද තම ගම්පියසට වඩින අතර නවාතැන් ගත්තේ වීදියගොඩ විහාර භූමියේ ම ය.

එවක මේ බිම රැක බලා ගත් කහතුඩුවේ උපාසක මහතා සමඟ ගොඩැලි බිමක් එළි පෙහෙළි කිරීමේ දී අද ද විහාර භූමියෙහි සුරක්ෂිත ව පවතින ආසනය සහිත ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ හමු වී ඇත.

මෙම බිමෙහි ඓතිහාසිකත්වය හඳුනා ගත් දෝපේ ගුණරතන අනුනාහිමිපාණෝ ස්වකීය ඤාති ශිෂ්‍ය බෙන්තර සුදස්සන හිමියන් වස් වසවා වීදියගොඩ විහාරයේ විහාරාධිපති පදවියට පත් කරවා විහාරස්ථානයට පුනර්ජීවනය සැලසූහ.

බෙන්තර සුදස්සන හිමියන් සහ තත් ශිෂ්‍ය වීදාගම සෝභිත හිමියන් විහාරස්ථානයෙහි අත්‍යාවශ්‍ය විහාරාංග ගොඩ නංවමින් ලෝක ශාසනික අර්ථචර්යාවෙහි යෙදුණහ.

වීදාගම සෝභිත හිමියන්ගෙන් පසු උන්වහන්සේගේ හයවැනි ශිෂ්‍ය පුංචි මඩපාත සෝණුත්තර හිමියන් විහාරාධිපතීත්වයට පත්ව වෙහෙර වහන්සේ ප්‍රතිසංස්කරණය කරවා කොත් පළඳවන ලදී.

ඉන් පසු ගම්මප්පිල දේවානන්ද හිමියන්ගේ යුගයේ දී වීදියගොඩ අභිමානය ලොවටම කියාපාන දර්ශනීය මහා විහාර මන්දිරය සහ තෙමහල් ධර්ම ශාලා මන්දිරය ඉදි කරවන ලදි. වීදියගොඩ අරියවංස මාහිමියෝ පෝයගෙය, පුස්තකාලය, සංඝාවාසය ඇතුළු ගොඩනැඟිලි සහ විහාරස්ථානයේ ප්‍රාකාර බැමි බඳවා මකර තොරණ ඉදිකරවමින් විහාරස්ථානයට ස්වර්ණමය යුගයක් ඇති කළහ.

මේ අවධියේ හේන්ගොඩ හේමසිරි හිමියන් සියලු කටයුතුවලදී නාහිමියන්ට සහය ලබා දුන්හ. වැල්මිල්ලේ හේමාලෝක මාහිමියන්ගෙන් පසු වත්මන් විහාරාධිපති වල්ගම ධම්මින්ද මාහිමියන් විහාරාධිපතීත්වයට පත්ව තත් ශිෂ්‍ය, විහාරාධිකාරී, හොරණ තක්ෂිලා විද්‍යාලයේ ධර්මාචාර්ය වීදියගොඩ විජිතාලෝක හිමිපාණන් ඇතුළු ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා බිහි කරමින් විහාරස්ථානයේ දියුණුවට කටයුතු කරන සේක.

වීදියගොඩ රජමහා විහාරය හා බැඳී පවතින පෞරාණික නාථ දේවාලය සුවිශේෂී වූවකි. සපරගමු මහසමන් දේවාලයේ ගෘහ නිර්මාණ ආකෘතියට සමානකමක් දක්වන මෙය කෝට්ටේ නගරය මුලින්ම නිර්මාණය කළ නිශ්ශංක අලගක්කෝනාර සෙන්පතිඳුන් හෝ වීදිය බණ්ඩාර සෙන්පතිඳුන් කරවූ බවට අදහස් පළ වි ඇත.

නාථ දේවාලය හා සබැඳෙන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු පත්තිනි දේවාලය, රිට්ටාගෙය සහ ඉපැරණි කිරිගස ද සුවිශේෂී වෙයි. වීදියගොඩ රජමහ විහාරය සහ නාථ දේවාලය කේන්ද්‍ර කොට ගනිමින් පවත්වන වාර්ෂික ඇසළ පෙරහර පූජෝත්සවය ඊට අනන්‍ය වූ සුවිශේෂී චාරිත්‍ර විධි සමුදායකින් යුක්ත ය.

වීදියගොඩ රජමහ විහාරය ලක්දිව ශාසන ඉතිහාසයෙහි සුවිශේෂී සටහන් සනිටුහන් කරන්නේ වීදියගොඩ සංඝ පරපුර නිසාවෙනි. වීදාගම සෝභිත හිමියන්ගේ ශිෂ්‍ය හිමිවරුන් හය නම සහ එම හිමිවරුන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව ලක්දිව සිසාරා පමණක් නොව මුළු ලෝකයෙහි ම ධර්ම ප්‍රචාරයෙහි යෙදෙමින් විහාරස්ථාන සහ ශිෂ්‍ය පුත්‍රයන් ඇති කරමින් ලෝක ශාසන සංග්‍රහයෙහි නිරත වූහ.

හොරණ විද්‍යාරත්න පිරුවන, ලෙනවර රජමහ විහාරය, පුහුවල ගංගාතිලක විහාරය, මඩපාත ශෛලතලාරාමය, මාම්පේ විජයවර්ධනාරාමය, තලගල මංගලාරාමය, තිඹිරිගස්යාය අශෝකාරාමය, ඔලබොඩුව රජමහ විහාරය, අරකාගොඩ ලංකාතිලක විහාරය ඇතුළු ලක්දිව සහ ලෝකය පුරා ඇති විහාරස්ථාන සිය ගණනක් සේ ම, කරඳන ජිනරතන නාහිමි, කරඳන පඤ්ඤාලංකාර නාහිමි, මාකෙහෙල්වල ධම්මානන්ද නාහිමි, පිටිපන මේධානන්ද නාහිමි, හොරණ වජිරඤාණ නාහිමි, හොරණ පඤ්ඤාසේකර නාහිමි , වේවැල්පනාවේ ඉන්දරතන නාහිමි, මහනුවර ධම්මරතන නාහිමි, තලගල සුමනරතන නාහිමි , කුරාලේවෙල සංඝරක්ඛිත හිමි, මීවනපලානේ සුමේධ නාහිමි ඇතුළු මහා යතිවරයන් වහන්සේලාගේ ද පරපුරෙහි මූලස්ථානය වීදියගොඩ රජමහා විහාරයයි.

මෙම පරපුරෙහි වවුලුගල ධම්මරක්ඛිතාරාමයෙහි වැඩසිටි පුංචිමාහේනේ ධම්මරක්ඛිත හිමියන්ගේ ශිෂ්‍ය වූ රයිගම ඉන්දජෝති නාහිමියන් පසු කලෙක කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රීධර්ම මහා සංඝසභාවට එක් වූ අතර, තත් ශිෂ්‍ය මොල්ලිගොඩ අරියවංස මහානාහිමි සහ ලබුගම ලංකානන්ද මහානාහිමි එම සංඝ සභාවෙහි මහානායක පදවි හෙබවූහ.

ගොදුරුගම් හතක ආගමික අවශ්‍යතා ඉටු කරන, සිත් සතන් සනහාලන මහානීය පුණ්‍ය භූමියක් පමණක් නොව, වෙහෙර විහාරස්ථාන සිය ගණනක් ඉදි කරවමින් සදහම් ආලෝකය දසත පැතිරවීමට මහෝපකාරී වූ පුදබිමක් ලෙස ද සම්භාවනාවට පත්වේ

  වප් පුර පසළොස්වක 

     ඔක්තෝබර් 30 සිකුරාදා අපර භාග 05.45 න් පසළොස්වක ලබා 31 සෙනසුරාදා අපර භාග 08.19 න් ගෙවේ. 
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]