අවුරුදු 50ක්
පිරිත් මණ්ඩපයෙන්
ජීවිත කැටයම් කළ
මව්පිය යුවළ
හැමදාමත් සිතින් වන්දනා කරන කලුතර බෝ සමිඳුන් වහන්සේත්, හිතේ හයියට ගොඩනැඟුණු නිවහන
ඉදිරියෙන් ඇදෙන ගාලු කුමාරි දුම්රියත්, හිස් අහසට මුදාලන සුසුම් පොදත් රැගෙන හමායන
පිටුපසින් ඇති මහා සයුරත් කමලා අම්මාගේත් ධර්මදාස තාත්තාගේත් දුක හොඳීන් දැන
හඳුනයි.
සසරේ රැස් වුණු පිනෙන් ලැබූ ජිවිතය වත්තන් කරගෙන ජිවිකාව හොයන මේ අම්මටයි තාත්තටයි
ඈතින් ඇසෙන පිරිත් හඬ ගිහි අපට වඩා හොඳට හුරු පුරුදු ය. ලැබූ මිනිසත්කමෙන් අදටත්
මතු සසරටත් පින් පුරන මේ දෙන්නාගේ ජිවිකාව අප කාටත් වඩා වෙනස් යැයි සිතෙයි.
ලොව්තුරු බුදු පියාණන් ගේ මුවින් දේශීත මහා පිරිත් බලයත්, බුදු ගුණත් එක්ව රැයක්
පහන්වනතුරාවට දේශනාවන පිරිත් පොතට මණ්ඩප ඉදිකර ඔවුන් ජිවිකාව සොයනුයේ සංසාරයේ පෙර
කළ පිනකට ය.
කමලාවතී සහ ධර්මදාස මව්පිය යුවළ |
වාද්දුව පොතුපිටිය ගමේ ජිවිකාව ගෙවමින්, එදා සිට අද දක්වාම ඉදිවන පිරිත් මණ්ඩප තුළ
ඇත්තේ කමලාවතී අම්මාගෙත් ධර්මදාස තාත්තාගෙත් හදවතින් උපන් අපමණ සැදැහැවත් බවයි. පෙර
සසරේ ආනුභාවයෙන් ලද නිර්මාණශීලී හැකියාව යි. අඩ සියවසක් තිස්සේ විවිධ ආරට නිර්මාණය
කළ පිරිත් මණ්ඩප ප්‍රමාණය කොතෙක් දැයි අද ඔවුන්ගේ මතකයෙන් ගිලිහිගොස් ඇත්තේ ජිවිතයේ
සැඳෑ සමය ජිවිතයට එබිකම් කර ඇති නිසා යැයි සිතෙයි.
හැමදාමත් වදින මිටිපහරින් මොට වූ කැටයම් කටු, කමලාවති අම්මාගේත් ධර්මදාස තාත්තාගේත්
ජිවිකාවේ අමිල සටහන් ය.
එදා කටුවයි මිටියයි දෑතින් ගෙන මහා පිළිම නෙළු මිනිසුන්
මෙන් ම කමලාවති අම්මලා, ධර්මදාස තාත්තලා මහා පුණ්‍යවන්ත මිනිසුන් ය.
“මේ කටු ටිකටත් දැන් අවුරුදු පනහක් පුතේ.එදා ඉඳලම අපි දෙන්නා පිරිත් මණ්ඩප හැදුවේ
මේ ආම්පන්න වලින්. දැන් අපි දෙන්නා වගේම මේ කටු ටිකත් වයස යි.හැබැයි ඉතින් තාමත්
අපි කැටයම් කපලා, මණ්ඩප හදලා ජීවත් වෙන්නේ මේවට පින් සිද්ධ වෙන්න. දැන් අපට හයිය
හක්තිය අඩුයි. මේ අත් දෙකත් දැන් හරි වේදනයි.”
සීරූවට දිරායන ශරීර කුඩූව තුළ ඇති වෙහෙස දරමින් කමලා අම්මා කතාවට මුල පිරුවා ය. එය
ඇයට පමණක් නොව අපට ද උරුම නියතයක් ය. දරුවන් දෙදෙනකුගේ මව්පියන් වන මේ දෙපළ දරුවන්
මෙන්ම තමන් ජීවත් කරන ආම්පන්න වලට ද සෙනෙහස පුදනවා යැයි සිතේ.ජිවිතයේ සැදෑ සමය ගෙවා
දමන ඇය දැන් වයස අවුරුදු අසූවේ කඩඉම පසුකරමින් සිටින අතර, ධර්මදාස තාත්තාට වසය
අවුරුදු අනූවකි.
ඒත් මේ මහා පොළවේ හැකි හැම ඉසව්වකට ම පිරිත් මණ්ඩප නිර්මාණය කළ අම්මයි තාත්තයි අදට
ද එය කරනුයේ හදවතේ එකතුකරගත් අපමණ භක්තියෙන් ය.
“අපි දෙන්නා හමුවුණෙත් හරිම අහම්බෙන්.ඒ කාලේ අපි ගමේ පන්සලේ වෙසක් නාට්‍ය කළා.
’හමුවීම’ කියලා. ඒ නාට්‍යයේ දී තමා අපි හමුවුණේ.”
සංසාරේ ගෙවා ආ ගමනේ එක් ඉසව්වක දී ජිවිතයට එක් වන මේ අම්මා, තාත්තාවත් වත්තන් කරගෙන
අදට ද නිමකරන පිරිත් මණ්ඩප තුළ ඇත්තේ අපූරූ නිමැවුම් ය.
“ඒ කාලේ පුතාලගේ තාත්තා හරි ලස්සනට පිරිත් මණ්ඩප හදනවා මම බලාගෙන හිටියා. කැටයම්
වැඩ පුරුදු වුණේ එහෙම.ඊට පස්සෙ අපි දෙන්නා එකතු වෙලා මණ්ඩප හදන්න ගත්තා.විවිධ
රටාවන්ට හදන මණ්ඩප වලට කවුරුත් කැමතියිනේ.පුතාලාගේ තාත්තාට විදුලියෙන් ලස්සනට වැඩ
කරන්න පුළුවන්.ඒ කාලේ අපි හැදුවා කැරකෙන පිරිත් මණ්ඩපයක් එහෙම.දැන් පුතාලගේ තාත්තට
ඇහෙනවා එහෙම හොරයි.හැබැයි තාමත් අපි දෙන්නා පිරිත් මණ්ඩප හදලා තමයි ජීවත් වෙන්නේ.
”කටුවයි මිටියයි අතට අරන් සව් කඩදාසි මත දිගහැරෙන කැටයමින් අපූරූවට නිමවන පිරිත්
මණ්ඩපවල ආශීර්වාදය කමලාවති අම්මලාගේ ජීවිතය ද කැටයම් කර ඔප දමා ඇතැයි සිතේ.
“පෙර සංසාරේ අපි ලොකු පිනක් කරලා ඇති.මේ ආත්මෙදිත් අපි කුරා කූඹියෙකුටවත් හිංසාවක්
කරලා නැහැ.මහා ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ පුතේ.බුදු හාමුදුරුවෝ දේශනා කළ විදිහට
අප අදටත් ජීවත් වෙන්නේ.අපි ලොකු පිනක් කරලා ඇති.අපි හදන පිරිත් මණ්ඩපවල පිරිත්
කියනවා දකිනකොට, ඇහෙනකොට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ .”
1966 දී පිරිත් මණ්ඩප නිර්මාණය කරන්න පටන් ගත්ත මේ අම්මයි තාත්තයි අද වෙනකොට බුද්ධ
ශාසනය වෙනුවෙන් ඉටු කරනුයේ ද නිහඬ මෙහෙවරකි.
“අපි බොහොම සරලව ජීවත් වුණ උදවිය.එනකොට කිසිම දෙයක් ගෙනාවේ නැහැ වගේම යනකොට කිසිම
දෙයක් ගෙනයන්නෙත් නැහැ. ඒ නිසා පුළුවන් විදිහට පින් කරන්න තමා අපි උත්සාහ කළේ .කරන
පින් පව් විතරයි නේ අපිට ඉතුරු වෙන්නෙ.පුතාලගේ තාත්තා පිරිත් මණ්ඩප විතරක් නෙමෙයි
වෙසක්, පොසොන්වලට ලස්සන වෙසක් කූඩූ නිර්මාණය කළා.තොරණ හැදුවා.අද මගේ පුතා වගේම
මිණිපිරිත් මේ වැඩ වලට හරිම දක්ෂයි.අපෙන් පසුව එයාලා මේ වැඩකටයුතු ඉදිරියට රැගෙන
යාවි.”
පිනට දහමට ලැදිව ගෙවන ජිවිතවලට සොබාදහමේ ද ආශිර්වාදය ලැබෙනවා සේ වසර පනහක් තිස්සේ
පිරිත් මණ්ඩප තනමින් ජිවිතය සොයන මේ අම්මයි, තාත්තයි අපේ කාලයේ ජ්‍යෙෂ්ඨතම පිරිත්
මණ්ඩප නිර්මාණකරුවන් යැයි සිතේ.
වසන්ත ජයසිංහ ආරච්චි |