දුටුගැමුණු රජතුමා - 11
දුටුගැමුණු රජතුමාට
යෝධ ශක්තියක් වූ දසමහ යෝධයෝ
ඛඤ්ඡදේව
ඛඤ්ඡදේව යෝධයා උපන් ගම ගිරුවාපත්තුවට අයත්ව ඇති මිද්දෙණිය බව විශ්වාස කෙරේ. මොහුගේ
පියා අභය යැයි මහාවංශයේ දැක්වේ. ඔහු ධනවත් පුද්ගලයකු ලෙස රසවාහිනියේ සඳහන් වේ.
ඛඤ්ඡදේව යෝධයා කුඩා කාලයේදී මුවන් දඩයම් කිරීම පිණිස ගම්වැසියන් සමඟ කැලයට ගොස්
මීවුන් පාදයෙන් අල්ලා විසිකර සුණුවිසුණු කර ඇත. මොහුගේ මේ ක්‍රියාවන් පිළිබඳ
කාවන්තිස්ස රජුට දැනගන්නට ලැබීමෙන් පසු මව්පියන්ට බොහෝ සම්පත් දී මොහු ගෙන්වා ගත්
බව සද්ධර්මාලංකාරය පවසයි.
විජිතපුර සටනේදී ප්‍රාකාරය බිඳ මොහු වෙනම විවරයකින් කොටුවට වැදුණු බව ඓතිහාසික
ග්‍රන්ථවල සඳහන් වේ.
ඵුස්සදේව
ඵුස්සදේව යෝධයාගේ උපන්ගම කපිට්ඨයැයි මහාවංසයේ දැක්වේ. එම ගම පිහිටා තිබුණේ රෝහණයේ
චිත්තල පබ්බතය හෙවත් සිතුල්පව්ව අසල බව සඳහන් වේ. ඵුස්සදේව යෝධයාගේ පියා උත්පල බව
ඓතිහාසික ග්‍රන්ථවල දැක්වේ. ඵුස්ස යන නැකතින් උපන් නිසා මව්පියෝ ඔහුට ඵුස්සදේව යැයි
නම් තැබූහ. කුඩා කල යහළුවන් සමඟ විහාරයට ගිය ඵුස්සදේව විහාරයේ තිබූ සංඛයක් ගෙන
පිම්බේ ය. එහි නාදය හෙණ හඬක් සේ විය. මේ නිසා ඵුස්සදේව යෝධයා සක් පිඹීමේ දක්ෂයකු
ලෙස මූලාශ්‍ර ග්‍රන්ථවල ද විස්තර දක්වා ඇත. එහෙත් ඔහුගේ පරපුර ධනු ශිල්පයට දක්ෂ
වූවන් නිසා පියාණන් වූ උත්පල ඔහුට එය ප්‍රගුණ කරවීමට කටයුතු කළේ ය.මේ අනුව ඔහු දක්ෂ
ධනුර්ධයෙක් ද විය. ඔහුගේ මේ දක්ෂතා ගැන තොරතුරු දැනගත් කාවන්තිස්ස රජු ඔහු ගෙන්වා
ගැමුණුූ කුමරුට බාර කළේ ය.
ඵුස්සදේව යෝධයා ද යුද්ධයේ දී දෙමළ බලකොටුවල සටන් කළ බව සඳහන් වේ. අනුරාධපුරයේ දී
කරන ලද මහා සංග්‍රාමයේදී සුරනිමල යෝධයා එළාර රජුගේ ප්‍රධාන යෝධයා දීඝජන්තු මරණයට
පත් කළේ ය. ඒ අවස්ථාවේදී ඵුස්සදේව යෝධයා සංඛය පිම්බේය යනුවෙන් තොරතුරු සඳහන් වේ.
ඔහු දුටුගැමුණු රජතුමාගේ ජීවිතය හා ගෞරවය පෞද්ගලිකව ආරක්ෂා කිරීමට කටයුතු කර ඇත.
මෙබඳු වීර ක්‍රියා කළ ඵුස්සදේව යෝධයා රට ,ජාතිය, ආගම වෙනුවෙන් ශ්‍රේෂ්ඨ මෙහෙවරක්
ඉටු කළ බව දැක්වේ.
යුද ජයග්‍රහණයෙන් පසු රජුගෙන් සංග්‍රහ ලබා පැවිදි ව විසූ බව ජනප්‍රවාදයේ පවතී.
දිගාමඩුල්ල ප්‍රදේශයේ ලෙනක විසු බව ද විශ්වාසයක් පවතී.
ලභිය්‍ය වසභ
ලභිය්‍ය වසභ යෝධයාගේ උපන්ගම තුලාධාර පබ්බතය අසල විහාරවාපී ග්‍රාමය බව මහාවංසයේ
කියැවේ. ඔහුගේ පියා “මත්ත” බව එහි සඳහන් වේ. ඔහු මහත් ධනවත්, මහත් යසස්, මහත් භෝග
ඇති අයකු ලෙස රසවාහිනිය දක්වයි.
ලභිය්‍ය වසභ යෝධයා විසි වයසේ දී මහා ශරීර ශක්තියකින් යුක්ත විය. කුඹුරු සැකසීමේ දී
දස දෙනකු ඉසිලිය යුතු පස් පිඬු තනිවම ඉවත් කළ බවත් එයින් ඔහු ප්‍රකට වූ බවත්
වංශකතාවල සඳහන් වේ. ඔහු කඩු ශිල්පයෙහි ද දක්ෂයෙක් විය.
චත්ත කෙළෙඹියාගේ පුතාගේ දක්ෂතා ගැන ඇසු කාවන්තිස්ස රජු ඔහු ගෙන්වා ගත්තේ ය.
උදකවාරගම ද ඔහුට ප්‍රදානය කළේ ය. සෙස යෝධයන් මෙන් දුටුගැමුණු රජතුමාගේ රට,ජාතිය
බේරාගැනීමේ සටන්වලදී මහත් මෙහෙයක් ඉටු කළ බව සඳහන් වේ. යුද ජයග්‍රහණවලින් පසුව
පින්කම් කර මිය ගිය බව පැහැදිලි වෙයි.
දාඨාසේන
දාඨාසේන යෝධයා උපන්නේ රෝහණ ජනපදයෙහි කුඹුඛන් ගමේ බව සද්ධර්මාලංකාරයේ සඳහන් වේ.
ඔහුගේ මව්පියන් තැබූ නම දාඨාසේන බව රසවාහිනිය පවසයි. මෙම යෝධයා ගේ පෙර භවය ගැන
තොරතුරු මූලාශ්‍ර ග්‍රන්ථවල දක්වා ඇත.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ දී ඔහු එක් ප්‍රදේශයක උපන්නේ ය. බුදුරජාණන්
වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට නිරතුරුව කිරි ආහාර දන් දුන්නේ ය. දිවි හිමියෙන්
පන්සිල් රැක්කේ ය. පසුව මිය ගොස් දෙව්ලොව උපත ලැබීය. එහි බොහෝ කාලයක් දිව්‍ය සැප
විඳ කාවන්තිස්ස රජු රාජ්‍ය කරන කාලයේ මිනිස් ලොව උපන්නේ ය.
දාඨාසේන යෝධයා සොළොස් හැවිරිදි වියේ දී රූප සම්පත්තියෙන් හා දේහ ශක්තියෙන් හෙබි
පුද්ගලයෙක් වූයේ ය. දිනක් ඔහු තමා ගේ කාය ශක්තිය පරීක්ෂා කර බැලීමට තීරණය කළේ ය.
කුඹුඛන් ගමේ මහා තඩාගයක් අසල පිහිටි ගිරිකාල නම් මහා පර්වතයට නැංගේ ය. අවට වනය
සිසාරා සරුවට වැඩී තිබුණු කලවැල් කපා අඹරා පිරිමින් දහසකට පවා එසවිය නොහැකි මහා කළු
ගල් එක්කර එක එක රැහැනින් බැඳ හිස වටා කිහිපවරක් කරකවා විසි කළේ ය. මෙලෙස තමා ගේ
බලය පරික්ෂා කර ඒ පිළිබඳ තෘප්තිමත් ව යුද සේනාවට බැඳීමේ අදහසින් කාවන්තිස්ස රජු
හමුවීමට ගියේ ය.
අයන්ති විතාන |