තිස් වසරක යුද්ධය මැද
නාගදීපය රැකගත්
නා හිමියන්ගේ කතාව -
21 කොටස නවදගල පදුමකිත්ති හිමියෝ
උපසම්පදාවට සූදානම් වෙති
ත්‍රස්තවාදී තර්ජන මැද කිසිදු සිංහලයෙක් උතුරට නොපැමිණීම නිසා නාගදීප පුදබිම හුදකලා
විය. නාගදීපයේ නා හිමියන්ටත් පදුමකිත්ති හිමියන්ටත්, දානය පවා නොලැබෙන තත්ත්වයක්
උදා විය. එහෙත් නාගදීපයේ රාමචන්ද්‍රන් මුදලාලි ඒ සඳහා අවශ්‍ය කටයුතු කෙළේ ය. ඔහු
විසින් උදෑසන දානයත් දවල් දානයත්, හිමිවරුන්ට පිරිනැමීමට කටයුතු කරන ලදී.
මෙරට භික්ෂූන් වහන්සේට දීර්ඝතම කාලයක් උදෑසන හා දවල් දානය ලබා දුන් එකම දෙමළ
පුද්ගලයා රාමචන්ද්‍රන් මුදලාලි ය. ඒ කොටි තර්ජන මැද ය. යාපනයට ගිය අවස්ථාවක
රාමචන්ද්‍රන් මුදලාලිට ත්‍රස්තවාදී තර්ජන ද එල්ල විය.
‘ආයිත් පන්සලට දානෙ දුන්නොත් බලාගෙනයි.‘‘
‘‘මැරුවත් අපි සාමිට දානය දෙනවා.‘‘ රාමචන්ද්‍රන් මුදලාලි නාහිමියන්ට පැවසුවේ ය.
රාමචන්ද්‍රන් මුදලාලි ඇතැම් විට නාහිමියන්ටත්, පදුමකිත්ති හිමියන්ටත් මුදල් පවා ලබා
දුන්නේ ය. උන් වහන්සේට කිසිම මුදලක් ලැබෙන ක්‍රමයක් තිබුණේ නැත. පෙරවූ සිවුරු පවා
දුර්වර්ණ විය. සිවුරක් මිලට ගන්නටවත් තැනක් නොවීය. තිබුණා නම් රාමචන්ද්‍රන් මුදලාලි
ගෙනවිත් දෙනවා නොඅනුමාන ය. ත්‍රස්තවාදී තර්ජන හමුවේ ආණ්ඩුව විසින් උතුරේ ගමන් තහනම්
කරන ලදී.
ඒ වන විට නාගදීපයේ වැඩ වාසය කළ සිංහලයන් දෙදෙනා වූයේ බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති නා
හිමියන් හා නවදගල පදුමකිත්ති හිමියන් පමණි.
ඒ වන විට කොමාන්ඩර් රවීන්ද්‍ර විජේගුණරත්න නාගදීපයට පැමිණ සිටියේ ය. ඔහු නාවික
හමුදා අනු ඛණ්ඩය බාරව සිටි නිලධාරියා ය. පදුමකිත්ති හිමියන්ගේ උපසම්පදා පින්කම ද එම
වසරේ දී ම පැවැත්වීමට අවශ්‍ය බව නා හිමියන් දන්වා තිබුණි. ඒ බව රවීන්ද්‍ර
විජේගුණරත්න නාවික නිලධාරියාට දන්වා අවශ්‍ය පහසුකම් ලබා ගැන්මට උත්සාහ කළ ද ඒ වන
විට ඔහු නිවාඩු ගොස් තිබුණි. වැඩ බැලීමට පත් කර තිබුණේ නාවික නිලධාරි ක්‍රිස්ටි
ජයවර්ධන ය. නා හිමියන් ඔහු විහාරස්ථානයට කැඳවීය. ඔහුට පදුමකිත්ති හිමියන්
උපසම්පදාවට වැඩම කරවීමට අවශ්‍ය බව කී විට ඔහු සිනාසී හිස වනා එය අනුමත කෙළේ ය.
එහෙත් බෞද්ධයකු නොවූ ඔහු එය තේරුම් ගත් බවක් නොපෙනුණු හෙයින් පසුව ඔහු හමුවූ
පදුමකිත්ති හිමියන් උපසම්පදාවට තමන්ට කොළඹට යාමට අවශ්‍ය බව පැවසී ය.
‘‘ ඒ උපසම්පදාවට කමාන්ඩර් රවීන්ද්‍ර විජේගුණරත්න සර් ආවට පස්සෙ ගියොත් මදිද?‘‘
පදුමකිත්ති හිමියෝ සිනාසී කල්පනා කර කදිම පිළිතුරක් ලබා දුන්හ.
‘‘ඒක එහෙම කල් දාන්න පුළුවන් දෙයක් නෙමේ. උපසම්පදාව කියන්නෙ හරියට ඔබතුමාලා නේවි
එකේ පුහුණුවීම් ඉවර වෙලා අධිකාරියට පත් කරනවා වගේ ලොකු උත්සවයක් එක්ක කරන වැඩක්. මම
විතරක් නෙමෙයි. උපසම්පදාව ලබන්නෙ‘‘
පදුමකිත්ති හිමියන්ගේ ඒ කතාව ඇසූ ක්‍රිස්ටි ජයවර්ධනට උන් හිටි තැන් අමතක විය. ඔහු
අසුන්ගෙන සිටි පුටුවෙන් නැගී සිටියේ ය.
පදුමකිත්ති හිමියන් වෙත දණ නමස්කාර කර ‘‘එතකොට ද ඔබ වහන්සේට ලොකු සාධු කෙනෙක් වෙන්න
පුළුවන් වෙන්නෙ‘‘ යනුවෙන් විමසුවේ ය. එය පැහැදිලි කළ පදුමකිත්ති හිමියන් ඔහුගෙන්
සමුගත් අතර, පසු දින රවීන්ද්‍ර විජේගුණරත්න ද පැමිණියේ ය. ඔහුට ද නා හිමියන් මෙන්ම
පදුමකිත්ති හිමියන්ද විස්තරය පැවසීය.
ත්‍රස්තවාදය දිගින් දිගටම පැතිරෙන්නට විය. නාගදීපය අසලට ම මෝටාර් ප්‍රහාර පවා එල්ල
විය. කෙසේ හෝ ආරක්ෂක අංශවල අනුග්‍රහයෙන් නා හිමියන්ට වැඳ පදුමකිත්ති හිමියෝ
නාගදීපයෙන් පිටත්ව ගුවනින් කොළඹට වැඩම කරන ලදී. බේස්ලයින් පාරේ නාගදීප විහාරයට වැඩම
කළ පදුමකිත්ති හිමියෝ එහි විහාරාධිපති බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියන්ට වැඳ අවසර ලබා
ගන්නා ලදී.
උතුරේ ජන දිවිය හා දකුණේ ජන දිවිය අතර වෙනස පදුමකිත්ති හිමියන්ට පැහැදිලිව තේරුම්
ගියේ කොළඹට පැමිණි පසු ය. උන් වහන්සේට දැඩි කළකිරීමක් ඇති විය. එහෙත් කිසි විටෙක
උන් වහන්සේ එයින් කම්පිත වූයේ හෝ දිවියේ ඉදිරි ගමන් මඟ අඩාල කර ගත්තේ නැත. කොළඹින්
ඇල්පිටියට වැඩම කරන ලද්දේද බස් රථයකිනි. නවදගල නිවසට ගිය පදුමකිත්ති හිමියන් තම
මෑණියන් හමුවී උපසම්පදාව ගැන මවට දැනුම් දුන්හ. මව මෙන්ම සහෝදර සහෝදරියන් ද සතුටු
වූහ.
‘‘ඒත් අපේ හාමුදුරුවනේ නාගදීපෙ ඉන්නෙ කොහොමද, මේ ත්‍රස්තවාදීන් එක්ක?‘‘
නිවැසියෝ ප්‍රශ්න කළහ. පදුමකිත්ති හිමියන් ඒවාට නිසි පිළිතුරු දෙන්නට නොගියේ දහසක්
දේ කියන්නට වන නිසා ය.
‘‘අපිට ප්‍රශ්නයක් නැහැ‘‘ කෙටියෙන් පවසා නිහඬ විය.
පදුමකිත්ති හිමියන් ඇල්පිටියේ පිටිගල ධර්මාධර විහාරයේ නේවාසික ව සිටියහ. උන් වහන්සේ
පිටිගල විහාරස්ථානයේ නේවාසිකව මාස 6ක් පමණ උපසම්පදාවට සූදානම් විය. ඒ අතර උන්
වහන්සේට අසන්නට ලැබුණේ සිත එක්තැන් ව තබාගෙන කටයුතු කළ හැකි ආරංචි නම් නොවේ.
දිනක් උන් වහන්සේට අසන්නට ලැබුණේ තම ජීවිතයේ අසන්නට ලැබුණු තවත් ශෝකජනක ආරංචියකි.
එය දෙවැනි වූයේ තමන්ගේ පියා මියගිය දින පමණක් බව පදුමකිත්ති හිමියන්ට වැටහුණි.
දිනය 1985 වසරේ මැයි 14 වැනිදා ය. අනුරාධපුර ජය ශ්‍රී මහාබෝධිය අසල සිල් සමාදන් ව
සහ ශ්‍රී මහා බෝධි වන්දනාවට පැමිණ සිටි සිංහල බෞද්ධයන්ට ත්‍රස්තවාදීන් විසින් එල්ල
කරන ලද ප්‍රහාරයකින් බෞද්ධයන් 146 දෙනකු මියගිය පුවතින් ශ්‍රී ලංකාව ම කම්පනයට පත්
විය.
තාරක වික්‍රමසේකර |