පරිපූර්ණ වීර්යය ඇති
භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ
සෝණ මහ රහතන් වහන්සේ
සසර කතරෙන් එතෙර වන්නට වීර්යය වැඩිය යුතු යි. සම්බුදු සසුනේ අධික වීර්යය ඇති ඇතැම්
භික්ෂූන් වහන්සේලා සංසාර සාගරයෙන් එතෙර වූයේ අධික වීර්යය සම කර ගනිමිනි.
මෙලෙස පරිපූර්ණ වීර්යය ඇති භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වන්නේ සෝණ මහ රහතන් වහන්සේ
යි. උන්වහන්සේ අතීත ආත්ම භාවයක කෝළිවිසැ නම් ගෝත්‍රයක උපත ලබා, කෝටිප්‍රාප්ත ධනවත්
ගොවි කුලයක් හිමි වූ නිසා කෝළිවිස සෝණ නාමයෙන් ප්‍රකට ය.
කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ ‘සෝණ’ උපත ලැබුවේ එක්තරා සිටු
කුලයක ය. සිරිවඩ්ඪන නමින් ප්‍රකට වූ ඔහු දිනක් විහාරයට ගොස් බණ ඇසුවේ පිරිසෙහි
කෙළවරක සිට ය.
එහිදී පියුමතුරා බුදුන් වහන්සේ එක්තරා භික්ෂූන් වහන්සේ නමකට පරිපූර්ණ වීර්යය ඇති
භික්ෂූන් වහන්සේ අතරින් අග්‍රස්ථානය පිහිටුවනු දැක ඇතිවූයේ බලවත් ප්‍රීතියකි.
‘මම ද අනාගතයේ මෙවැනි පදවියක් ලබමි’යි අදිටන් කරගත් මොහු සම්බුදු හිමියන් සමඟ මහ
සඟරුවනට සතියක් මුළුල්ලේම දන් පුදා තම අභිලාෂය දන්වා සිටියේ ඉමහත් ශ්‍රද්ධාවෙනි.
මොහුගේ ප්‍රාර්ථනාව දුටු පියුමතුරා බුදුන් වහන්සේ විවරණ දී වදාළේ එය ගෞතම බුද්ධ
ශාසනයේ දී ඉෂ්ඨ සිද්ධ වන බවට ය. මෙලෙස අපමණ පින් දහම් කළ මොහු සසර මඟ අපමණ සැරිසරා
කාශ්‍යප බුදු හිමියන් පිරිනිවන් පෑ පසුව ඒ ශාසනයේ ම උපත ලැබුවේ බරණැස්නුවර කුල
ගෙදරක ය.
දිනක් තම යහළුවන් සමඟ ජල කෙළියේ යෙදී සිටි මොහු දුටු දසුන කදිම ය. ඒ පසේ බුදුන්
වහන්සේ නමක් වස් පිණිස කුටියක් තනා ගැනීමට ගඟෙහි වූ ලී දඬු එකතු කරන අයුරු ය. එහිදී
එක් දිනකදී කුටියක් ඉදිකරවා එය පූජා කර ඒ වෙත වැඩම කරන පසේ බුදුරදුන්ගේ පාදයේ මැඩ
නොගෑවෙන සේ ලක්ෂයක් වටිනා රන් පලසක් ඇතිරුවේ ඉමහත් ශ්‍රද්ධාවෙනි.
පසේ බුදුරදුන් වැඩම කිරීමට සූදානම් වන මොහොතේ ම පාපිස්නාව ස්වර්ණ වර්ණයෙන් බැබළී
ගියේ විචිත්‍රවත් ලෙස ය. මෙයින් පැහැදුණු කුල පුත්‍රයා පැතුවේ උපත ලබන සෑම භවයක දී
ම අත් පා රන්වන් ව, අතුල් පතුල් සියක් වර පෙළු කපු පුළුන් මෙන් මෘදුව පවතීවා
යනුවෙනි.
මෙලෙස බොහෝ පින්දහම් කළ මොහු සසරේ අවසන් ආත්ම භාවයේ දී උපත ලැබුවේ කාලචම්පා නුවර
උසභ සිටුගේ නිවසෙහි ය.
ස්වර්ණ වර්ණයෙන් බැබළෙන මේ කුමාරයා හැඳීන්වූයේ ‘සෝණ’ නාමයෙනි. කුමරු උපත ලැබූ
දිනයෙහි නුවර සියලු වැසියෝ ආහාර පානාදියෙන් සතුටුව නිවසට රැගෙන ආ පුද පඬුරු ද බොහෝ
ය.
කුමරුට ආහාර පිළිගන්වන්නේ ද රන්තලියක තබා ය. ආහාර ගැනීමෙන් පසුව මුව, දෝත දෝවනය
වන්නේ සුවඳවත් ජලයෙනි. පුෂ්පයන් සේ විචිත්‍රවත් මොහුගේ අතුල් පතුල් සියක් වර පෙලූ
කපු පුළුන් සේ මුදු මොලොක් ය. පාද තලයෙහි වූ ලෝමයන් ඉඳුනිල්මිණි කොඩොල් සේ රැළි
ගැසී රන්වන් පැහැති ය.
මොහුට තරහ සිතක් මතු වුවොත් තර්ජනය කරන්නේ මුදු මොලොක් දෙපා බිම තබන බවට ය. ඍතු
තුනටම ගැළපෙන මැඳුරු තුනක වාසය කළ කුමරු අපමණ සැප සම්පත් විඳීමින් දිවි ගෙවුවේ දෙවි
දේවතාවුන් සේ ය.
දිනක් බිම්බිසාර රජතුමාට ඇති වූයේ සුවිශේෂී කැමැත්තකි. ඒ සෝණ කුමරුගේ පතුලෙහි වූ
ස්වර්ණ වර්ණයෙන් බැබළෙන අසිරිමත් ලෝමයන් පිරික්ෂා බැලීමට ය. තමා කිසි දිනක
යටිපතුල්වල ලෝම ඇති කෙනෙකු ගැන දැක හෝ අසා නැති නිසා රජතුමාට ඒ දසුනින් ඇතිවූයේ
විශ්මයකි.
බිම්බිසාර රජතුමා දිනක් සෝණ කුමරුන් සමඟින් නික්ම ගියේ බුදුන් වහන්සේගෙන් සදහම්
අසන්නට ය. එහි දී කුමරුට පැවිදි වීමේ අදහසක් ඇති වුව ද සම්බුදු හිමියන් වදාළේ මව්
පිය අවසරය ලබා ගන්නා ලෙස ය. එලෙස පැවිදි වූ සෝණ තෙරුන් වහන්සේ හමුවට මව් පියන් ,
නෑදෑයන් පැමිණියේ නිබඳව ම ය. තවත් පිරිසක් ප්‍රිය කළේ උන්වහන්සේගේ රූප සෞන්දර්ය
දැකීමට යි.
මෙය භාවනාවට මහත් බාධාවක් සේ සිතූ උන්වහන්සේ, බුදුන් වහන්සේගෙන් අවසර ලබා ගෙන
කමටහන් වඩා මහණ දම් පිරුවේ ශීතවනයෙහි වූ සොහොන් පිටියක සිට ය. සෝණ හිමියන් ඇතැම්
අවස්ථාවල දී නිදිමත නොඑන පිණිස බවුන් වැඩුවේ සක්මන් කරමිනි. ඉතා මෘදු වූ
උන්වහන්සේගේ දෙපා වේදනා දුන්න ද නොනවත්වා ම සක්මන් කළේ ඉමහත් වීර්යය නිසා ය.
ගිහි කල අපමණ සැප විඳී සෝණ හිමියන්ගේ සියුමැලි දෙපා පැලී රුධිරය ගලා ගොස් සක්මන්
මළුව ලේ විලක් විය. තුවාල සහිත පාද තබා සක්මන් කිරීමට නොහැකි වූ උන්වහන්සේ දණ
ගාමින් බවුන් වැඩුවේ අපමණ වීර්යය නිසා ය. මෙසේ කෙතරම් වීර්ය කළත් ඵලක් නොලද සෝණ
තෙරණුවන්ට සිතුණේ පැවිදිවීමෙන් කිසිදු ඵල ප්‍රයෝජනයක් නැති බවත් , ගිහිව වාසය කර,
බොහෝ සැප සම්පත් විඳ කුසල් වැඩීම සුදුසු බවත් ය.
සෝණ හිමියන්ගේ මේ සිතිවිල්ල දුටු බුදු හිමියන් ඒ මොහොතේ ම සීත වනයට වැඩම
කළේ මහා කරුණාවෙනි.
‘‘සෝණය, සක්මන් මළුවේ බොහෝ ලේ පැල්ලම් සහිත යි. ඔබ පා පැලී යන තුරු ම සක්මන් කළා
ද?”
‘‘එසේ ය ස්වාමීනී, මා එතරම් වීර්යය කරද්දීත් කිසිදු අධිගමයක් නොලැබෙන්නේ ඇයි දැ’යි
නො වැටහේ. ස්වාමීනී, ඒ නිසා මා කල්පනා කළේ මෙලෙස ගෙවන පැවිදි දිවියට වඩා ගිහි ව
වාසය කිරීම සුදුසු බව යි?”
එහිදී බුදු හිමියන් සෝණ හිමියන්ට පෙන්වා දුන් උපමාව කදිම ය. ‘‘පින්වත් සෝණ, ඔබ ගිහි
කල ඉතා හොඳීන් වීණා වාදනය කරන්නට සමත් වූ අයෙක් නේ ද?”
‘‘එසේ ය ස්වාමීනී”
‘‘පින්වත් සෝණ, ඔබ වීණා වයද්දී එහි තත් බුරුල් ව තිබෙද්දී මිහිරි හඬක් නාද වුණා ද?”
‘‘නැත, ස්වාමීනී”
‘‘එසේ නම් සෝණය, මිහිරි හඬ ඇති වුණේ වීණාවේ තත් ඉතා ම තදින් ඇදී තිබෙන විට ද?”‘
‘නැහැ, ස්වාමීනී, වීණාවේ තත් බොහෝ තදින් ඇද වාදනය කළොත් එහි හඬ ගොරහැඩි යි. ඇතැම්
විට එහි තත් බිඳී යන්නට ද පුළුවනි.”
‘‘සෝණය, වීණාවේ මිහිරි නාදය එසේ නම් කෙසේද උපදවා ගන්නේ?”
‘‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, වීණාවේ තත් පමණට වඩා බුරුල්වත් නැතිව, පමණට වඩා
තදටත් නැතිව මධ්‍යස්ථ ප‍්‍රමාණයකටයි සකස් කර ගත යුත්තේ. එවිට වීණාව වාදනය කිරීමත්
පහසුයි. හඬත් මිහිරි යි. වීණාවටත් හානියක් වන්නේ නෑ.”
‘‘පින්වත් සෝණ, එලෙස ම කුසීතව ධර්මයේ හැසිරුණොත් ඉන් ඵලයක් ලබන්නට බැහැ. මේ ධර්මය
කුසීතයාට අයිති දෙයක් නො වෙයි. ඒ ලෙසම අධිකව අසීරු වීර්යයෙන් ධර්ම මාර්ගය පුරුදු
පුහුණු කරන්නට බැහැ. පින්වත් සෝණ, අකුසල් දුරු කිරීම පිණිසත්, කුසල් දියුණු කිරීම
පිණිසත් ඔබ ගන්නා වීර්යය සෑම විට ම අරඹන ලද්දක් විය යුතුයි. එය කිසිවිටකත් පසු නො
බසිනා වීර්යක් ම විය යුතුයි. ඒ නිසා සෝණය වීර්යය සම කරමින් ධර්ම මාර්ගය වඩන්න.”
යනුවෙනි.
සම්බුදු ඔවදන හොඳීන් සිතට ගත් සෝණ ස්වාමීන් වහන්සේ පැලී තුවාල ව ගිය යටි පතුල් ඖෂධ
ගල්වා සුවපත් කළේ නැවත වීර්යය වඩා සදා සැප ඇති නිවන් සුව විඳීන්ට යි. අධික වීර්යය
ක්‍රමයෙන් සම කරමින් ධර්ම මාර්ගය දියුණු කරගත් උන්වහන්සේගේ වීර්යය තවත් බලවත් වුණා.
උපන් අකුසල් දුරු කිරීම පිණිසත්, නූපන් අකුසල් නූපදවීම පිණිසත්, උපදවා නො ගත් කුසල්
ඉපදවීම පිණිසත්, හටගත් කුසලයන්ගේ වැඩිදියුණුවටත් නොපසුබසිනා වීර්යයෙන් රහත් බව
සාක්ෂාත් වූ අයුරු විශිෂ්ට යි. මෙම වීර්යයන් සතර සම්‍යක් ප්‍රධානයෝ යනුවෙන් ද
ධර්මයේ සඳහන් ය.
පසු කලෙක භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතා සෝණ මහ රහතන් වහන්සේ ගැන වදාළේ
මෙලෙස යි.
‘‘පින්වත් මහණෙනි, මාගේ ශ‍්‍රාවකයන් වහන්සේ වන වීර්යවන්ත භික්ෂූන් වහන්සේ අතරින්
සෝණ මහ රහතන් වහන්සේ අග්‍ර වන බව යි.”
සම්බුදු ඔවදනින් බලවත් වීර්යය අඩුකර මැදහත් ලෙසින් බවුන් වැඩූ සෝණ මහ රහතන් වහන්සේ
පරිපූර්ණ වීර්යය ඇති භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර බවට ලැබූ තනතුර විශිෂ්ට යි.
මෙලෙස උන්වහන්සේ තුළ ඇති අපරිමිත වීර්යය සසර කතරෙන් එතෙර වීමට වෙර දරන සිව් වණක්
පිරිසට ගෙන දෙන්නේ කදිම ආදර්ශයකි.
ජම්මික ප්‍රබෝධනී වැලිකල |