[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පසු නො බසින වීර්යය නිසා රජකම ලද සංවර කුමරුගේ කතාව

පසු නො බසින වීර්යය නිසා රජකම ලද සංවර කුමරුගේ කතාව

සංවර ජාතකය ඇසුරිනි

බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සමයේ පසුබට වීර්ය ඇති එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් අරභයා මෙම ජාතක කතාව වදාළ සේක.

සැවැත් නුවර වාසය කළ එක් කුල පුත්‍රයෙක් බුදු රජාණන් වහන්සේගෙන් බණ අසා මහණවී වස් පහක් ඉක්ම ගිය පසු කර්මස්ථාන ඉගෙනගෙන කැළයෙහි වාසය කරමින් සිටියා. දිනක් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙන් අවසර ගෙන කොසොල් රට එක් පසල් ගමකට වැඩම කළා.

උන් වහන්සේගේ ගුණවත්, සිල්වත් පැවතුම් දැක පැහැදුණු ඒ ගම්වැසි උපාසකවරුන් සාදා දුන් පන්සලේ වැඩ වෙසෙමින් විදසුන් වඩන්නට වුණා. දැඩි වීර්ය සම්පන්න ව තුන් කර්මස්ථාන භාවනාව කොටවත් කිසිදු මග ඵලයක් උපදවා ගත නොහැකි වුණා.

වස් සාරමස අවසන් වූ පසු උන් වහන්සේ මෙසේ කල්පනා කළා. “ ඒකාන්තයෙන් ම සර්වඥයන් වහන්සේ දෙසූ පුද්ගලයන් සතර දෙනා අතුරෙන් මම පාලි ඉගැන්මෙහි දක්‍ෂ වෙමි. ඒ නිසා මම මෙහිි වාසය කිරීමෙන් වැඩක් නැහැ. බුදුන් වහන්සේගේ රූප ශ්‍රීය බල බලා, මිහිරි වූ බණ අස අසා කාලය ගත කරනවා.” යැයි සිතා නැවත දෙව්රම් වෙහෙරට ම වැඩියා.

වීර්ය අතහැර දා පැමිණි මෙම භික්‍ෂූන් වහන්සේ ගැන අනෙක් භික්‍ෂූන් වහන්සේලා දැනගෙන බොහෝ දොස් නඟා බුදුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා. බුදු රජාණන් වහන්සේ කරුණු දැනගෙන පසුබට වීර්ය ඇති භික්‍ෂුව අමතා,

“ මහණ, නුඹ කුමක් පිණිස වීර්ය අත්හැරියේ ද? මේ ශාසනයේ වීර්ය නැත්තා වූ කුසීත පුද්ගලයන්හට අග්‍රඵලය වූ, අර්හත්වයක් නම් නැහැ. පටන් ගන්නා ලද වීර්ය ඇති මහණ තෙමේ ධර්මය ක්‍ෂාත් ක්‍ෂාත් කරනවා. නුඹ වහන්සේ පෙර ආත්ම භාවයක දී වීර්ය ඇති කෙනෙක් වුණා විතරක් නොවේ. වීර්ය පිළිබඳ ව අවවාද පවා පිළිපැද බ්‍රහ්ම දත්ත රජතුමාගේ පුතුන් සියයකට බාලව ඉපිද නුවණැති රජෙක් ලෙස රාජ්‍ය විචාළා. ” යැයි භවයෙන් වැසී ගිය අතීත කතාවක් මතක් කර දුන්නා.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් සිටියා. එකල බෝධි සත්වයෝ ද රජුගේ අමාත්‍ය මණ්ඩලයේ ම අමාත්‍යවරයෙක් ව ඉපිද සිටියා. ඒ රජ්ජුරුවන්ට පුතුන් සියයකට බාල සංවර කුමාරයෝ යැයි කුමාරයකු සිටි අතර, දිනක් මේ සියලු කුමාරවරු සහ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය කැඳවා කුමාරවරුන්ට ශිල්ප උගැන්වීම සඳහා තම පුතුන් ඒ ඒ අමාත්‍යවරුන්ට භාර දුන්නා.

සංවර කුමාරයාට ශිල්ප ලබා දීමට අප මහා බෝධිසත්වයන්ට ම බාර වුණා. ප්‍රාඥ වූ ඒ බෝධිසත්වයෝ ද රාජ කුමාරයන්ට පියකුට ලෙස කටයුතු කරමින් ඉගැන්වූවා.

අනෙක් අමාත්‍යයෝ කුමාරවරුන්ට ශිල්ප උගන්වා රජු කරා යැවුවා. රජු ශිල්ප හදාරා අවසන් වී එන කුමාරවරුන්ට ප්‍රාදේශීය නායකකම් දී ඒ ඒ ජනපදවලට යැවුවා. සංවර කුමාරයෝත් ශිල්ප හදාරා අවසන් වූ පසු රජු සමීපයට යෑමට සූදානම් වුණා. තම ආචාර්යවරයා ළඟට ගොස් “ ආචාරීන් වහන්ස, මාගේ පියා මටත් ජනපදයක් දුන්නොත් මා කෙසේ නම් කටයුතු කරන්න ද? ” කියා ඇසුවා. “ දරුව, නුඹට දනව් ගමක් හෝ ජනපදයක් දුන්නොත් එය නොගෙන මෙහෙම කියන්න. ‘ පිය රජතුමනි, මම හැම දෙනාටම වඩා බාල බැවින් ඔබ හැරදා යන එක සුදුසු නොවෙයි. ඔබ සමීපයේ කිසිවෙක් නැති නිසා මම පිය රජු සමීපයේ සිටීමට කැමැත්තෙමි” යනුවෙන් කියන්න කීවා.

පිය රජු ළඟට ගිය කුමාරයාත් එසේම කියා පිය රජතුමා සමීපයේ ම රැඳුණා.

ඉක්බිත්තෙන් නැවතත් එක් දවසක් රජතුමා සංවර කුමාරයාගෙන් මෙහෙම ඇහුවා.

“ පුත නුඹ ශිල්ප ඉගෙනගෙන ඉවර ද? ”

“ එසේ ය, දේවයන් වහන්ස ”

“ එසේ වී නම් පුත, නුඹට ද ජනපදයක් අරගෙන එහි සැප සේ දවස් හරින්න.

එවිට ද කුමාරයා කිව්වේ “ පිය රජතුමනි, මා ගිය කල නුඹ වහන්සේ වෙනුවෙන් සමීපයෙහි නුඹට උපස්ථාන පිණිස කිසිවකුත් නොවෙයි. එබැවින් මම නුඹ වහන්සේ සමීපයේ වසන්නට කැමැත්තෙමි” යි යනුවෙනි.

“ යහපතැ ” යි කියා ඒ බව පිළිගත් රජතුමා කුමාරයාට තමා සමීපයෙහි ම වාසය කිරීමට ඉඩ සැලසුවා. පසුව බෝධිසත්වයන් වහන්සේ මුණ ගැසුණු කුමාරයා “ ආචාරීන් වහන්ස, මා තවත් කළ යුක්තක් වෙයි ද?”

බෝධිසත්වයෝ කියනුයේ , “ පුත නුඹට හැකි නම් රජතුමාගෙන් පරණ උයනක් ඉල්ලා ගන්න. ” “ යහපති ආචාරීන් වහන්ස ” කියා කුමාරයා රජුගෙන් උයනක් ඉල්ලා ගත්තා. එම උයන මල් හා පලතුරු වලින් අලංකාර කොට නුවර වැස්සන් හා ඉසුරුමතුන් සතුටු කළා.

නැවතත් දිනක ගුරුවරයා සමීපයට ගොස් “ ආචාරීන් වහන්ස, මා තවත් නම් කුමක් කළ යුතු ද? ” කියා කුමාරයා ඇසුවා. “ දරුව රජතුමාගේ අන්තඞපුරයට වැටුප් ගෙවන ක්‍රමයක් සකස් කොට ඔවුන්ට වැටුප් දී සතුටු කරවන්න. ” යැයි බෝධිසත්වයෝ උපදෙස් දුන්නා.

කුමාරයා ද රජුගෙන් අවසර ගෙන අන්තඞපුරයට මෙන්ම දැසි දස්සන්ට හා සියලු පාබල සෙනඟට ද වැටුප් ලබා දීමට කටයුතු කළා. නිරන්තරයෙන් බෝධිසත්වයන්ගෙන් උපදෙස් ලබා, දෙස් විදෙස් වෙළෙඳුන්ට හා දූතයන් ආදීන්ටත් නවාතැන් , දිය යුතු ගතමනාවන් ආදිය තමාගේ විධානයෙන් ම ලබාදීමට කටයුතු කළා.

කල් යාමත් සමඟ වයෝවෘද්ධ වූ රජතුමා මරණ මඤ්චක වූණා. අමාත්‍යයෝ ඒ අවස්ථාවේ “ රජතුමනි, ඔබ වහන්සේගේ ඇවෑමෙන් රජකම කාට ලබා දෙන්නේදැ”යි රජතුමාගෙන් ඇසුවා. “ දරුවනි, මාගේ රජ දරුවෝ හැම දෙනාම රාජාභිෂේකයට සුදුස්සෝ වෙනවා. ඒ නිසා යම් කෙනෙක් නුඹලාගේ සහ රට වැසියාගේ සිත් ගෙන වාසය කරයි ද ඔහුට රාජ්‍ය භාර දෙන්න ” යැයි කියා රජතුමා කාලක්‍රියා කළා.

රජුගේ ඇවෑමෙන් සත්වෙනි දවස සියලු අමාත්‍ය මණ්ඩලය රැස්ව කතිකාකොට මේ වන විටත් රාජ්‍යයේ වැස්සන්ට මෙන් ම, තමන්ටත් ප්‍රිය වූ සංවර කුමාරයා අභිෂේක කරමින් රජකම භාරකළා.

සංවර රජතුමන් තම ආචාර්ය වූ බෝධිසත්වයන්ගේ අවවාදයේ පිහිටා දැහැමින් සෙමෙන් රාජ්‍ය විචාළා.

අනෙක් කුමාරවරු තම පිය රජතුමා කාලක්‍රියා කළ බවත්, සංවර කුමාරයා අභිෂේක ලැබූ බවත් දැනගෙන කිපී “ ඔහු හැමටම බාල වෙයි. රාජ්‍ය අයිති වැඩිමල් කුමාරයාටයි . ඒ නිසා ඔවුන්ගෙන් රාජ්‍ය පැහැර ගමු” යැයි කතිකා කර පිට නුවර වටලා “ අපට රාජ්‍ය දෙවයි. නැතිනම් අප හා යුද්ධ කරවයි ” කියා සංවර රජතුමාට හසුන් පත් යැවුවා.

සංවර රජතුමා එම පුවත බෝධිසත්වයන්ට දන්වා කළමනා කිමදැයි අසා සිටියා. බෝධිසත්වයෝ එයට මෙසේ පිළිතුරු ලබා දුන්නා.

“ මහ රජතුමනි, නුඹ සහෝදරයන් සමඟ යුද්ධයක් නොකරන්න. පියාණන් සන්තක වස්තුව කොටස්වලට බෙදා මේ කුමාරවරුන්ට බෙදා දෙන්න” යැයි උපදෙස් දුන්නා.

සංවර රජතුමා ද බෝධිසත්වයන් වහන්සේ පැවසු ලෙසම රාජ්‍ය වස්තුව කොටස් කර එකුන් සියයක් වූ කුමාරවරුන් ට යැව්වා.

  වප් පුර පසළොස්වක 

     ඔක්තෝබර් 30 සිකුරාදා අපර භාග 05.45 න් පසළොස්වක ලබා 31 සෙනසුරාදා අපර භාග 08.19 න් ගෙවේ. 
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]