[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරජාණන් වහන්සේ දැක ගනිමු - 2: මහා අනුසස් ලැබෙන සැබෑ අත්හැරීම

බුදුරජාණන් වහන්සේ දැක ගනිමු - 2:

මහා අනුසස් ලැබෙන සැබෑ අත්හැරීම

අප බෞද්ධයන් ලෙස සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛන ධර්මයට යටත් ය යන අදහස අවබෝධ කර ගත යුතුයි. “පාරමී” යන වචනය දහම් කතාවේ පැහැදිලි කරනවා.

බලවත් ලෙස යටපත් ව පවතින කෙලෙස් ධර්මයන් බැහැර කරන්නට තරම් හැකියාවක්, දක්ෂතාවයක් මේ දානාදී පාරමී ගුණ මඟින් සපුරා ගත යුතු වෙනවා. සමතිස්සක් පාරමී හැටියට දියුණු වීමේ දී ඒ අවස්ථාව උදාකරගන්න පුළුවන්. මාර්ගඵලාවබෝධයට තරම් වූ සුදුසු සිතක්, විඥානයක්, මනසක්, ශ්‍රාවකයාට ඇති කරගත හැකි වෙනවා.

පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී යනුවෙන් කොටස් තුනක් පිළිබඳ ව ධර්මයේ සඳහන් කළා. පාරමී නම් දාන පාරමිතාවයි. ආහාර පාන, ඇඳුම්, පැළඳුම්, බෙහෙත් හේත්, නිවාස ලෙසින් තණ්හාවෙන් මද මානයෙන් දිට්ඨියෙන් තොරව පරිත්‍යාග කිරීමයි.

උපපාරමී නම් ඇස්, හිස්, මස් වශයෙන් ලෞකික ආශාවන්ගෙන් බැහැර ව අත්හැරීමයි. පරිත්‍යාග කිරීමයි.

පරමත්ථපාරමී නම් ලෝභා දී කෙලෙසුන්ගෙන් බැහැර ව තම ජීවිතය පවා පූජා කිරීමයි. අත්හැරීමයි. එවැනි පුද්ගලයා සියලු ආරම්මන හෙවත් සංස්කාර උදය්‍යයට යටත්කොට දැකීමට තරම් සුදුස්සෙක් බවට පත් වෙනවා. එනම් හේතූන් ප්‍රත්‍ය කරගෙන සකස්වෙන මේ සියලු ඵල විපාකයෝ ඒ හේතූන්ගේ ම විසිර යැමෙන් නැතිව යනවා ය. යන අදහසයි.

මේ සිහිපත් කළේ භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයා මුණ ගැසුණේ නම් භාග්‍යවතුන් වහන්සේ ඉන්ද්‍රිය පරෝපරියත්ථ හා චේතෝපරියත්ථි ඥාණයන් ගෙන් මේ ශ්‍රාවකයාගේ සිත දැකීමයි. සිතෙහි දියුණුව, තියුණු බව දැක එක එල්ලේ ම චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කිරීමයි. එනම් “දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං යනුවෙනුයි. ශ්‍රාවකයා සෝවාන් මාර්ගයේ පටන් මාර්ගඵලාවබෝධයට පත්වී ඉහළ තලයකට ගමන් කරනවා.

තථාගත බුදුරජාණන් වහන්සේට මුණගැසෙන මේ ශ්‍රාවකයා මාර්ගඵලාවබෝධයට තරම් ඉන්ද්‍රිය ධර්ම බලධර්ම දියුණු කරගෙන නෑ. ඒ කියන්නේ පාරමී ධර්මවල දියුණුවක් නෑ.

ශ්‍රාවකයා සිතෙහි තික් ඉන්ද්‍රිය නම් වූ අවස්ථාව සකස් වී නැහැ. ඒ නිසා තවදුරටත් පාරමී ධර්ම සම්පූර්ණ කර ගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ ආනුපුබ්බී කතාව දේශනා කරනවා. “ආනුපුබ්බී” කතාව කියන්නේ දාන කතා, සීල කතා හා සග්ග කතා.

මේ ආනුපුබ්බී කතාවේ සඳහන් කරුණු දීර්ඝ වශයෙන් ම සාකච්ඡා කොට ගත හැකියි. එනමුත් මෙහි අපි ඉතා කෙටියෙන් සාමාන්‍ය අර්ථ වශයෙන් සඳහන් කර ගනිමු. දානය නම් දීමයි. පරිත්‍යාගයයි. එහෙත් එය තමා සතු ධර්මානුකූල ව උපායගත් වස්තුවක් විය යුතුයි. එහි දී පාරමී කතාවේ සඳහන් කළ අයුරින් බාහිර වස්තුව තමාගේ ම ශරීරයේ අංගයන් විය හැකියි. ඒ වගේ තම ශරීරය ද විය හැකියි. “තණ්හා මද මාන දිට්ඨීන්ගෙන් තොරව එය යම් අයෙක් වෙනුවෙන් කැප කරන්නේ නම්, එය අතින් වගේ ම සිතින් ද අත්හැරිය යුතු වෙනවා. ධර්මයේ එය පැහැදිලි කරන්නේ මුත්තචාග යනුවෙනුයි. මුත්තචාග නම් තමා සතු අයිතිය නම් වූ හැඟීමෙන් තෘෂ්ණාවෙන් අවබෝධයෙන් යුතුව මිදෙනවාය යන අදහසයි. “පයථපානී” පිරිසුදු අත් දෙකක් ලෙස මනසේ ඇති පිරිසුදුකම සංකේතවත් කරනවා. “වොස්සගරතෝ” හිත පිරිසුදුවීම සංකේතවත් කරනවා. දෙන්නටම කැමැති අත් දෙකක් හැටියයි. “දාන සංවිභාග රතෝ” අවබෝධයෙන් පරික්ෂාකාරීව “තණ්හා මද මාන දිට්ඨීන්ගෙන් බැහැරව පැහැදුණු සිතින්, සසර බිය ද දැක, කර්මඵලය අවබෝධයට තබාගෙන පරිත්‍යාග කරනවා. අත්හරිනවා. දානය පිළිබඳ ව සඳහන් කිරීමේ දී “දක්ඛිණාවිභංග“ සූත්‍ර දේශනාවට අනුව තිරිසන් සත්වයකුට යමක් දුන්නත් එය සියයක් ආනිසංස ලෙස දක්වා තිබෙනවා. ඉඳුල් වතුර ටික හෝ හැළිවළං සෝදා වතුර ටික ප්‍රාණීන් සිටින තැනකට 'මෙය ප්‍රාණීන්ට ආහාරයක් වේවායි' යන අදහසින් දමන්නේ නම් එයත්, තිරිසන් සත්වයකුට යමක් දීමෙන් ලබන්නා වූ සියයක් ආනිසංසයන්ට හිමිකරුවෙක් වෙන්නට පුළුවනි.

මින් අනතුරුව තමනුත් සීලයේ පිහිටා, සීලයේ පිහිටියා වූ පිරිස් වෙනුවෙන්. ධර්මානුකූල ව උපයාගත් ධනයක් කර්මය හා ඵලය පිළිබඳව ඇති අවබෝධයෙන් යුතුව ම “තණ්හා මද මාන දිට්ඨීන්ගෙන්” බැහැරව දෙන්නේ නම්, පරිත්‍යාග කරන්නේ නම් ඒ දාන කතාවට වඩාත් ගැළපෙනවා.

මෙමගින් සම්‍යග් ප්‍රඥාව ස්පර්ශ වෙනවා. තමා සතු යමක් අවබෝධයෙන් පරිත්‍යාග කරන විට අත්හැරීමයි. එනම් තම ජීවිතය පවා ත්‍රිලක්ඛනයට යටත් කොට දැක ලෝභාදී කෙලෙසුන්ගෙන් මිදීමට තරම් ඒ සිතේ හැකියාවක්, ශක්තියක් සකස් වෙනවා. යම් තැනක සීලය පවතින්නේ නම්, එතැන සම්‍යග් ප්‍රඥාව ම පැවතිය යුතු බව “සෝණදණ්ඩ”සූත්‍ර දේශනාවෙහි පැහැදිලි කරනවා. එනම් කායික, වාචික, සංවරය නම් වූ සීලය සියලු කෙලෙසුන්ගෙන් දුරුවීම පිණිස සියලු සංස්කාරයෝ අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛන ධර්මයට යටත් කොට ම සීලය පවත්වා ගත යුතුයි. එවිට සීලය සම්‍යග් ප්‍රඥාවට උපකාරයක් බවට පත්වෙනවා. එමෙන් ම ඒ සීලය චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට උපකාරයක් බවට පත්වෙනවා. මූලික පියවරේ දී සීලය අනුගමනය කළ යුතු ආකාරය අඛණ්ඩ, අච්චිද්ධ, අසබල, අකම්මාස යනුවෙන් ධර්ම කතාවේ පෙන්වා දී තිබෙනවා.

තමන් කුමන සීලයක් ප්‍රමාණාත්මක ව සිතින් රකිනවා යැයි ඉටා ගන්නේ ද? එය මුලින් හෝ අගින් හෝ මැදින් හෝ පිළිවෙළින් හෝ එකක් හැර එකක් හෝ ඡේදනය නොකොටගෙන අවබෝධයෙන් ම සම්‍යග් ප්‍රඥාව ම ඉලක්ක කරගෙන ම ආකරක්ෂා කර ගත යුතු වෙනවා. එවැනි සීලයක් ආර්යකාන්ත සීලයක් හැටියට දියුණු කරගත හැකියි. අශ්‍රැතවත් පෘතග්ජන ලෝකයා පළමුවෙන් ම සිතන, බැඳෙන, තමා ද බැහැර කොට ආධ්‍යාත්මික වශයෙන් ඇති කරගත්තා වූ පොරොන්දුව යථාභූත ඤාණයට උපකාර කරගෙන ආරක්ෂා කරගත යුතු වෙනවා. එය ආර්යකාන්ත සීලයයි. කෙටියෙන් සඳහන් කරන්නේ නම් ජීවිතය නැති වූවත් තමන් සමාදන් වූ සීලය නොබිඳින්නේ ය යන අදහස සිත්හි පවත්වා ගැනීමයි. සීලය බිඳිනවාය කියන අදහසින් මතු වෙන්නේ මම ය මාගේ ය යන වැරැදි දෘෂ්ඨිය හෙවත් සක්ඛාය දිට්ඨිය නැවත මතුවීමයි. මේ නිසා සීලය සම්‍යග් ප්‍රඥාව ස්පර්ශ විය යුතුයි.

  අධි වප්
අව අටවක 

    අධි වප් අව අටවක පෝය
ඔක්තෝබර් 09 සිකුරාදා අපරභාග 05.49 න් අව අටවක ලබා 10 සෙනසුරාදා අපරභාග 06.16න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]