අධි වප් අව අටවක
සැබෑ ජයග්‍රහණය
සිඟිත්තකුගේ කිරි සිනහව සිතට දනවන හැඟීම මොනතරම් අපූර්වද? හදවතින් ම නැඟෙන ඒ සුරතල්
සිනහව සේ ම ක්‍රියාකාරකම් කාගේ වුව නෙත් සිත් පැහැර ගන්නවා නොවේද? සිඟිත්තකුගේ
සිනහව එතරම් ආකර්ශනය වන්නේ එහි ඇති පිරිසුදු බව නිසා ම ය. සිනහව යට සැඟවුණු දෙයක්
නොවන නිසා ය. ඊර්ෂ්‍යාවක්, වෛරයක්, ක්‍රෝධයක් නොවන නිසා ය. අව්‍යාජ නිසා ය. මතු
දිනෙක තරුණ වියට එළඹෙන්නේ ද, වැඩිහිටියකු වන්නේ ද, මහල්ලකු වන්නේ ද මේ සිඟිත්තාම ය.
එහෙත් එකල්හි ඔහුගේ සිනහව බොහෝවිට පෙර සේ සිත් නොගනී. ඒ, සිනහව යට සැඟවුණු තවත්
බොහෝ දේ ඇති නිසා ය. වෙනත් ලෙසකින් කියනවා නම් අව්‍යාජත්වයෙන් පිරී පවතින නිසා ය.
මේ වෙනස, ජීවිතය පිළිබඳ වූ අනවබෝධය නිසා ය. ජීවිතයේ සැබෑ ස්වරූපය, මනාව වටහා ගන්නට
ශක්තියක් වේ නම් කිසිවෙක් ව්‍යාජ ජීවන රටාවකට පෙළඹෙන්නේ නැත. ලෝබ, ද්වේෂ, මෝහා දී
සිතිවිලිවලින් යුතුව අන්‍යයන් පිළිබඳව පවතින්නේ නැත. තමන්ට සේ ම අන්‍යයන්ට ද
අනර්ථවත් ලෙස හැසිරෙන්නේ නැත. එහෙත් සමාජය දෙස විමසිලිමත් වන්නේ නම් හැඟී යන්නේ
ජීවිතයේ යථාර්ථය බොහෝ දෙනකුට අවබෝධ නොවී ඇති සැටියෙකි.
ජීවිතයේ ස්වභාවය නම් කවර මොහොතක හෝ බිඳී යාම ය. ධර්මයෙහි සඳහන් වන ලෙස ඇසි පිල්ලමක්
ගසා ඊළඟ ඇසිපිල්ලම ගසන මොහොතේ අපගේ මරණය සිදුවිය හැකි ය. මරණය සැමට නියත වුව ද
මරණින් මතු ජීවිතය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි ය. ඒ, ජීවිත කාලය පුරා
සිදු කළ හොඳ නරක අනුව ය. මරණින් මතු සුගතිය ද, දුගතිය ද තීරණය වනුයේ කළ පින් පව්
අනුව ය. කුසලා කුසල කර්ම අනුව ය.
කළ කී දෙයෙහි විපාක අප පසු පසම පැමිණේ. බෞද්ධයන් ලෙස අප ඉබාගාතේ ඇවිද යා යුතු නැත.
පවට ලජ්ජා බිය ඇතිව සාර්ථක ජීවිතයක් ළඟා කරගන්නා නිවැරැදි මාවත සම්බුදු දහම අපට
උගන්වයි. ඒ මාර්ගය ඉගෙන උට්ඨාන වීර්යයෙන් යුතුව එහි ගමන් කිරීම තුළය අපගේ දෙලොව
ජීවිතයම සැපවත් වනුයේ.
ජීවිතයේ පරදින්නට කිසිවකු කැමති නැත. නිරන්තරයෙන් ජයග්‍රහණය ප්‍රාර්ථනා කිරීම
සාමාන්‍ය ස්වභාවයයි. එහෙත් අනුන්ට දුක් ගින්දර දී, අනුන් රිදවා, අනුන් පීඩාවට
පත්කොට ලබා ගන්නා ජය සැබෑ ජයක් නොවේ. නොපෙනෙන පරාජයකි. එහෙයින් යම් කෙනෙක්
ජයග්‍රහණයක් බලාපොරොත්තු වනවා නම් එය තමන්ට ද, අන්‍යයන්ට ද අර්ථ සම්පන්න විය යුතු
ය. අනර්ථ නොවිය යුතු ය. එසේ වන්නේ කෙනෙක් සත්පුරුෂයකු වූ තරමට ය. සිතිවිලි පිරිසුදු
වූ තරමට ය.
දිනක් මිනිසෙක් මහ වනය මැද ඇවිද යද්දී නරා වලක වැටුණි. ගොඩ එන්නට මඟක් නොවූ හේ බොහෝ
දුකට ද, බියට ද පත් වුණි. ඒ දුටු වඳුරෙක් ඉතා අපහසුවෙන් ඒ මිනිසා ගොඩට ගත්තේ ය.
උපස්ථාන කළේ ය. මඳ වේලාවකින් මිනිසාට සිහිය ආවේ ය. දැඩි කුස ගින්නක් දැනී වඳුරා මරා
ආහාරයට ගැනීමේ සිතිවිලි ඇතිවුණි. ගලක් ගෙන වඳුරාගේ හිසට දරුණු පහරක් ගැසුවේ ය.
බෞද්ධ සාහිත්‍යයෙහි එන මේ හා සමාන කතා මේ සමාජයෙහි ද සුලබ, දුලබ වශයෙන් දැකිය හැකි
ය.
අපගේ සිතිවිලි පිරිසුදු කරගත යුතුව තිබේ. කුණු දුහුවිලි වැකුණු ගත පිරිසුදු ජලයෙන්
සෝදා පිරිසුදු කරන්නා සේ සිත ද පිරිසුදු කළ යුතු වේ. දැඩි ලෝභයෙන් සිත අපිරිසුදු වී
නම් පරිත්‍යාගය පුරුදු කර පිරිසුදු විය යුතු වේ. සියලු කෙලෙස් මෙසේ බැහැර කිරීමට
උත්සාහ කළ යුතු ය. එවිට ජීවිතය පිරිසුදු වනු ඇත. අව්‍යාජ වනු ඇත. ලෝකය සමඟ අවංකව
සිනහ වීමට හැකි වන්නේ එවිට ය. |