පුරාණ ලී කැටයම් ශිල්පියාගේ
දක්ෂතාවය මතු කළ
පනාවිටියේ අම්බලම
පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
අම්බලම් පුරාණ කාලයේ නිර්මාණය කරන ලද, සුවිශේෂ පොදු ප්‍රයෝජනය සඳහා වූ එකකි. හිටපු
පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ මහතා මෙසේ සඳහන් කරයි.
“අම්බලම නම් විඩා හැරීම සඳහා ස්ථානයකි. නොහොත් නැවතුම්පළකි. මෙය පළමුවෙන්ම මහජනයාගේ
ප්‍රයෝජනය පිණිස වෙන් කරන ලද විශාල ගසක් යට සෙවනැල්ලේ වූ ආවරණයක් නැති භූමියක් විය.
ගම් සභාව එක්වන තැන හෝ පණ්ඩිත සභාව හෝ ප්‍රදේශයේ ආදායම් එක් කළ තැන ද එයම විය.
අම්බලම නොයෙක් ක්‍රීඩා හා සෙල්ලම්වලට මධ්‍යස්ථානයක් විය. ගහේ සෙවනැල්ල අව්ව, වැස්ස,
නැවැත්වීමට ප්‍රමාණවත් නොවූ හෙයින් ගසයට කුඩා ගෙයක් සාදන ලදී. එසේම ගසක ආධාරය
නොමැතිව ද ගෙවල් සාදන්නට විය. පසු ව්‍යවහාරයෙහි එම ගෙය අම්බලම නමින් හඳුන්වන්නට
විය."
මෙම අම්බලම විශේෂයෙන් සාදන ලද්දේ ප්‍රසිද්ධ මංමාවත් අසල ය. මංමාවත්, කුඹුරු යායවල්
ඔස්සේ වැටුණු හෙයින් බොහෝවිට විශාල කුඹුරු යායවල් අසල පාරවල් අයිනේ අම්බලම දකින්නට
ලැබේ. දුර බැහැර රාජකාරි සඳහා හෝ නෑගම් හෝ වන්දනා ගමන් යන අය සඳහා පමණක් නොව ඉහත දී
සඳහන් කළ පරිදි ගම් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා ද අම්බලමක් ඉදි කරන ලදී. අම්බලම ගමට
පිටින් එන ගැමියන්ගේ නැවතුම්පළ ද විය. රටේ තොටේ ආරංචි හුවමාරු වන තැන ද මේ අම්බලම
විය. අම්බලමට එක්වන ජනතාව බුලත් හපමින්, කිසිදු හදිසියක් නොමැතිව, සුවසේ ඉඳගෙන
රජුන්, ඇමතිවරුන් පිළිබඳ තොරතුරු සහ රාජකාරි, ගොවිතැන් ආදිය ගැන ද කතා බහේ යෙදුණහ.
එම ඈත කාලවල දී රට වැසි ජනයා දේශපාලන තොරතුරු ඇසුවේ ද, කීවේ ද අම්බලමට එක් වූ විට
ය.
අම්බලමක් ගොඩනැගීම ගෘහ නිර්මාණ වශයෙන් ඉතා සුළු වැඩකි. කුඩා අම්බලමක් සාදන්නේ
පොළවෙන් උසට අඩියක් පමණ ගෙපිලක් නංවා, ඒ උඩ ගල් ගෙඩි මත ලී කොට හතරක් තබා ඒ කොටන්
අග කණු හතරක් සිටුවා ඒ පිට වහලයක් සෑදීමෙනි. මෙවැනි ගෙය හරි හතරැස් ය. මේ ලෙසින්
හරි හතරැස් ලෙස අම්බලම සාදනවා නම් වහලය සඳහා මුදුන් යට ලීයක් අවශ්‍ය නොවේ. හතර
පැත්තේ වහල කැණිමඬලකින් එක්කොට වහල මුදුණේ මැටි කොතක් තබා ඇත. වහලය පිදුරුවලින්,
පොල් අතුවලින් හෝ උළුවලින් සෙවිලි කරනු ඇත. අත්තිවාරම පිණිස ගන්නා ලී කඳන් ගල්පිට
තබන්නේ ද ඒවා වේයන් ආදී සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ය. මෙම ලී අම්බලමේ නවාතැන්
ගන්නවුන්ට වාඩිවීමට හෝ හාන්සිවී නිදා ගැනීමට ද සෑහෙයි. මේ විස්තර කරන ලද්දේ ඉතා
කුඩා වූ අම්බලමක් සාදන ක්‍රමයයි. මතු විස්තර කරනුයේ පනාවිටියේ අම්බලම හා එහි
විසිතුරු රූකම් පිළිබඳව ය.
තවත් නොයෙක් ක්‍රමවලින් අම්බලම් සාදනු ලැබේ. ගල්වලින් හෝ ගඩොලින් කුළුණු බැඳ ඒ පිට
වහල සාදා ගොඩනැඟිලි සාදනු ඇත. පනාවිටියේ අම්බලම වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ
දඹදෙණි හත්පත්තුවේ මයුරාවති කෝරළේ පනාවිටිය නම් ගමේ පිහිටි අම්බලමකි. එය පිහිටා
තිබෙන්නේ ඉතා විශාල වෙල් යායක් අසබඩ ය. මේ වෙල ඔස්සේ දඹදෙණියේ සිට යාපහුව හා
කුරුණෑගල දෙසට යන මාර්ගයක් තිබුණු බව පැරැණි ගම් වැසියෝ පැවසූහ. පනාවිටියේ අම්බලම
ඉතා කුඩා වර්ගයේ අම්බලම් විශේෂයට අයිති ය.
එය ගොඩනඟා ඇත්තේ කැට ගල් සහ කැඩූ ගල්වලින් පිරවූ අඟල් හයක් පමණ පොළොව මට්ටමින් උඩට
ඉස්සූ ගෙපලක් පිට තැබූ අඩියක් පමණ උස ඇති ගල් පිට සෑදූ දැව උඩ ය. මෙම ගොඩනැඟිල්ලේ
ගෙපිල දිගින් අඩි 12 අඟල් 4 කි. පළල අඩි 9 අඟල් 6 වේ. දැව පිට කොන් හතරේ ලී කණු හතර
බැගින් ය. දිග පැතිවල මැදින් කනු හතර බැගින් වේ. මේවා මෙහි ඇති ඡායාරූපයෙන්
පැහැදිලි වෙයි. අම්බලමේ උඩ ගොඩනැඟිල්ලේ අත්තිවාරමේ සිට අඩි 11 අඟල් 5 කි.
ප්‍රමාණයෙන් කුඩා වුව ද පනාවිටියේ වටිනාකම එය ගොඩනැඟීමට යෙදූ දැව කණු හා අනෙකුත්
ලීවල කර ඇති කැටයම් ඉතා අගනේ ය. මේ කැටයම් අතරේ මිනිස් රූප, සත්ව රූප, මල් කොළ ආදිය
වේ. එසේ ම සියලුම රූප කැටයම් කර ඇත්තේ ලී වඩුවාගේ නියන පහසුවෙන් යොදන්නට හැකි වන සේ
මිනුම් ගණිත ක්‍රමයට හරි හැටි සම කොට බෙදා ගන්නට හැකි ක්‍රමවලට ය. මෙම අම්බලමේ වහලය
මුලදී උළු සෙවිලි කර තිබූ බව ඒ බිමෙහි තිබී හමු වූ පෙති උළු කැබලිවලින් ඔප්පු වෙයි.
එසේ වුව ද, මෑත කාලයේ දී එය පොල් අතුවලින් වසා තිබුණි. එය නැවත පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව මගින් ඡායාරූපයේ පෙනෙන අන්දමට සංරක්ෂණය කර ඇත. |