[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරජාණන් වහන්සේ උරුවෙල කාශ්‍යප දමනය කළ හැටි

බුදුරජාණන් වහන්සේ උරුවෙල කාශ්‍යප දමනය කළ හැටි

භාග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන් දහම තුළ දමනය කිරීම සඳහා විවිධ අවස්ථාවල ප්‍රාතිහාර්ය පා වදාළ සේක. උන්වහන්සේ ආදේශනා ප්‍රාතිහාර්ය, අනුශාසනා ප්‍රාතිහාර්ය, සෘද්ධි ප්‍රාතිහාර්ය ලෙස ප්‍රාතිහාර්ය තුනක් අනුදැන වදාළහ. බොහෝ විට අනුශාසනා ප්‍රාතිහාර්ය තුළින් ලෝක සත්ත්වයා දමනය කිරීමටයි උන්වහන්සේ ප්‍රිය කළේ. නමුත් අවශ්‍ය විටක දී සෘද්ධි ප්‍රාතිහාර්ය මඟින් ද සත්ත්වයා දමනය කළ සේක.

තථාගතයන් වහන්සේ උරුවෙල දනව්වට වැඩම කළ සේක. ඒ කාලයේ ඒ නගරයේ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යැයි සොහොයුරෝ තිදෙනෙකි. උරුවෙල කාශ්‍යප තවුසන් පන්සියයකට නායකයා විය. නදී කාශ්‍යප තවුසන් තුන්සියයකට නායකයා විය. ගයා කාශ්‍යප තවුසන් දෙසියකට නායකයා විය.

එදා බුදුරජාණන් වහන්සේ දුටුවා උරුවෙල කාශ්‍යප තවුසා ගෞතම බුදු සසුනේ පැවිදි වී රහත් වීමට තරම් පින තිබෙන බව සහ ඔහු දමනය කිරීමට සෘද්ධිි ප්‍රාතිහාර්ය පාන්නට සිදුවන බවත්. ඒ අනුව උන්වහන්සේ උරුවෙල දනව්වට වැඩම කොට උරුවෙල කාශ්‍යප වෙත වැඩම කළා.

“කාශ්‍යප, ඔබට කරදරයක් නැති නම් මම එක් රාත්‍රියක් මේ ගිනිහල් ගෙයි වාසය කරන්න ද?”

“ශ්‍රමණයන් වහන්ස, මට නම් කරදරයක් නැහැ. නමුත් එහි විෂඝෝර නපුරු නාග රාජයෙක් ඉන්නවා. ඔබ වහන්සේට කරදරයක්, නපුරක් වෙන්න පුළුවන්.”

“කාශ්‍යප, නාගයා මට හිංසාවක් කරන එකක් නැහැ. ඔබ කැමැති නම් මට කියන්න.” “ශ්‍රමණයන් වහන්ස, එසේනම් රැය පහන් කරන්න.”

තථාගතයන් වහන්සේ ගිනිහල් ගෙයට පිවිස තණ අතුරා එහි වැඩහුන් සේක. “කිසිවකු ඇතුලු නොවන නාග භවනට කිසිදු ගරු සරුවක් නැතිව පැමිණි මොහු කවුද?” නා රජු කිපුණි. වහාම නාගයා බුදුරදුන් ගිනිහල් ගෙයින් පිටතට වැඩම කර හරිනු රිසියෙන් මහා විෂ දුමක් පිට කළා. තථාගතයන් වහන්සේ නාගයා දමනය කරනු පිණිස දුමක් පිට කළ සේක. නාගයාගේ විෂ දුමෙන් බුදු රදුන්ට පීඩාවක් නොවුණත්, නාගයා පීඩාවට පත් වුණා. එයින් නාගයා තව තවත් කිපුණා. පිට පිට විෂ දුම පිටකළා. තථාගතයන් වහන්සේත් එසේම සිදු කළා. නාගයා තව තවත් දුමෙන් පීඩාවට පත් වුණා. ගිනිහල ගිනි දලුවෙන් වැසී ගියා. ගින්න දුටු උරුවේල කාශ්‍යප ඇතුලු පිරිස ගිනිහල වටා රොක් වුණා.

“අනේ ලස්සන ශ්‍රමණයන් වහන්සේ, නාග රාජයා විසින් නසනු ලබන්න ඇති.” ඔවුන් කතාබහ වුණා. එහෙත් තථාගතයන් වහන්සේ සෘද්ධි බලයෙන් නාග රාජයාගේ තේජස බිඳ දමනය කර පාත්‍රයට ගත්තා. පසුදින භාග්‍යවතුන් වහන්සේ ගිනිහල් ගෙයින් පිටතට වැඩම කළා. පිරිස මහත් බියට පත්වුණා.

“ස්වාමීනි, නාග රාජයා කෝ?”

“මේ සිටින්නේ ඔබගේ බලසම්පන්න නාගයා.” භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා. උරුවෙල කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුන ද ඔහු සිතනවා, “මේ ශ්‍රමණයන් වහන්සේ මේ තේජස් ඇති නාගයා දමනය කළ බව සැබෑව යි. නමුත් මම වගේ රහත් බවට පත්වෙලා නැහැ” කියා.

නාග දමනයෙන් පසුව තථාගතයන් වහන්සේ උරුවෙල කාශ්‍යප ආරාමය සමීපයේ ඇති වන ලැහැබක වැඩ විසූ සේක. රාත්‍රියේ සතර දිගට අධිපති දෙවිවරු සතර දෙනා සතර දිගින් පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමීපයේ සිට ගත්තා. කාශ්‍යප සතරවරම් දෙවිවරු පැමිණි බව දුටුවා. පසුදා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි උරුවෙල කාශ්‍යප

ශ්‍රමණයන් වහන්ස, ඊයේ රාත්‍රියේ වනය ආලෝකමත් කරමින් ඔබ වෙත පැමිණියේ කවුරුන් ද?

“කාශ්‍යප, සතරවරම් දෙවිරජවරුන් දහම් ඇසීමට මා වෙත පැමිණියා.” එවිට කාශ්‍යප සිතනවා

“මේ ශ්‍රමණයන් වහන්සේ වෙත සතරවරම් දෙවිවරුන් ධර්මය ඇසීමට පැමිණෙනවා. නමුත් මා වගේ උන්වහන්සේ රහත් ඵලයට පත්වෙලා නැහැ.” කියා.

තව දිනක දී භාග්‍යවතුන් වහන්සේට පාංශුකූල වස්ත්‍රයක් ලැබුණා. එය සෝදා ගැනීමට තැනක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ සක් දෙවිඳු තථාගතයන් වහන්සේ ගේ අදහස දැක, එය සේදීමට පොකුණක් මවා වස්ත්‍රය සෝදා වැනීමට මහා කළු ගලක් ද ගෙනවිත් තැබුවා. තථාගතයන් වහන්සේ පොකුණෙන් ගොඩ වීමට ඒ සමීපයේ තිබූ කුඹුක් ගසේ අත්තක් ද සක් දෙවිඳු විසින් පොකුණ දෙසට නමා තැබුවා. පසුදින උරුවෙල කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණ

“ශ්‍රමණයන් වහන්ස, කලින් මෙහි පොකුණක් තිබුණේ නැහැ. මේ ගල තිබුණෙත් නැහැ. මේ කුඹුක් අත්ත ද මෙසේ නැමී තිබුණේ නැහැ.”

“කාශ්‍යපය, මට ලැබුණ පාංශුකූල වස්ත්‍රය සෝදා ගැනීමට සක් දෙවිඳුන් විසින් මෙතැන පොකුණක් කැණ, ගල ද ගෙනවිත් තබනු ලැබුවා. කුඹුක් ගසේ අත්ත ද ඔහු විසින් නමා දුන්නා.

” ඒ වෙලාවේ උරුවෙල කාශ්‍යප සිතනවා,

“ශ්‍රමණයන් වහන්සේ මහානුභාව සම්පන්න කෙනෙක්. නමුත් මා මෙන් රහත් භාවයට පත්වී නැහැ “ කියා.

පසුදින උරුවෙල කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙත ගොස්

“ශ්‍රමණයන් වහන්ස මේ දන් වැළඳීමට කාලය යි”. කියා සිටියා.

“කාශ්‍යපය, ඔබ යන්න. මම එන්නම්” යැයි වදාළ භාග්‍යවතුන් වහන්සේ ඔහු පිටත් කොට දඹදිව මහ දඹ ගසක් වෙත වැඩමකොට එයින් ඵලයක් ගෙන උරුවෙල කාශ්‍යපට පෙර පැමිණ වැඩහුන් සේක. ඒ බව දුටු උරුවේල කාශ්‍යප

“ශ්‍රමණයන් වහන්ස, ඔබ කිනම් පැත්තකින් මෙහි ආයේ ද?”

“කාශ්‍යප , මම ඔබ පිටත් කොට යවා යම් දඹ ගසක් නිසා, මේ දිවයිනට දඹදිව කියයි ද ඒ දඹ ගසෙන් ගෙඩියක් ද කඩාගෙන මෙහි පැමිණියා. කාශ්‍යප මේ දඹ ගෙඩිය මනා වර්ණයෙන් හා සුවඳීන් ද, රසයෙන් ද යුක්තයි. ඔබ කැමැති නම් මෙය අනුභව කරන්න.” එවිට උරුවෙල කාශ්‍යප සිතන්නේ “ ශ්‍රමණයන් වහන්සේ මහත් සෘද්ධි ඇති කෙනෙක්. නමුත් මම වගේ රහත් නම් නැහැ” කියායි.

මෝඩකම ම රහත්බව ලෙස සලකා ගෙන සිටින උරුවේල කාශ්‍යප තවුසාට ප්‍රාතිහාර්ය දැක්වීමෙන් ද තමා රහත් නොවන බව වැටහුණේ නැහැ. ඔහු දමනය කරනු පිණිස තථාගතයන් වහන්සේ පසුදින ඒ දඹ ගස සමීපයේ තිබෙන නෙල්ලි ගසින් නෙල්ලි ද, ඊට පසුදින අරළු ගසෙන් අරළු ද, ඊට පසුදින තව්තිසා දෙව්ලොවින් පරසතු මල් ද ගෙනවිත් උරුවෙල කාශ්‍යපට දුන්න ද ඒ සෑම අවස්ථාවක ම ඔහු සිතන්නේ තථාගතයන් වහන්සේ ට සෘද්ධි බලය මිස රහත් බවක් නැති බවයි.

තව දිනක ඒ ප්‍රදේශයට අකල් වැස්සක් වැටුණා. භාග්‍යවතුන් වහන්සේ විසූ පෙදෙස ජලයෙන් යට වී ගියා. උන්වහන්සේ එක් තැනක ජලය ඉවත් කොට වියළි දූවිලි නගින බිම සක්මන් කරමින් වැඩසිටි සේක. උරුවෙල කාශ්‍යප පිරිසට කිව්වා ‘අපි අර ශ්‍රමණයන් වහන්සේ බේරා ගනිමු’ කියා. ඔරුවෙක නැගී ගිනිහල් ගේ වෙත ගියා. එහිදී ජලය මැද වියළි පොළොවේ සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ දැක විශ්මයට පත්ව, “තමා සිටින තැනට ජලය පවා ගලා නො එන මේ ශ්‍රමණයන් වහන්සේ මහා සෘද්ධි ඇති අයෙක්. නමුත් මම වගේ රත්ඵලයට පත්ව නැතැයි” සිතුවා.

ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ මේ මෝඝ පුද්ගලයාට සංවේගය ඇති කිරීමට සුදුසු කාලය යි සිතා “කාශ්‍යප, ඔබට ඇති රහත් කමකුත් නැහැ. නුඹ රහත් ඵලයට පැමිණත් නැහැ. රහත්වීමේ ප්‍රතිපදාව නුඹ දන්නේත් නැතැයි “ වදාළ සේක. එවෙලෙහි උරුවෙල කාශ්‍යපගේ මානය බිඳුණා. දමනය වුණා. තථාගතයන් වහන්සේගේ පා මුල වැඳ වැටී “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මට බුදු සසුනේ පැවිද්ද සහ උපසම්පදාව ලබාදෙනු මැනවයි” ඉල්ලා සිටියා.

“කාශ්‍යප, ඔබ තවුසන් පන්සියයකට නායකයෙක්. ඒ නිසා ඔබගේ අදහස ඔවුනට දන්වන්න” භාග්‍යවතුන් වහන්සේ වදාළා.

කාශ්‍යප ගෝලයන් වෙත ගොස්

“දරුවනි, මා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වීමට කැමැතියි. නුඹලා කැමැති දෙයක් කරන්න”

“ආචාර්යයන් වහන්ස, අපි ද බොහෝ කලක් සිට උන්වහන්සේට පැහැදී සිටියෙමු. අප ද ඒ බුදු සසුනේ පැවිදි වීමට කැමැතියි.” ඔවුන් කියා සිටියා.

පසුව සියලු දෙනා හිසකේ, රැවුල් බා ජටා ද, පිරිකර කත් ද, ගිනි පුදන උපකරණ ද, ගඟ දිගේ පා කර හැරියා. බුදු සසුනේ පැවිදිව වීරිය වඩා නොබෝ කලකින් අරහත්වයට පත් වුණා.

  අධි වප්
අව අටවක 

    අධි වප් අව අටවක පෝය
ඔක්තෝබර් 09 සිකුරාදා අපරභාග 05.49 න් අව අටවක ලබා 10 සෙනසුරාදා අපරභාග 06.16න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]