තෙරුවන් ගුණ සඳහන් කොට බුදු මුවින් ම සෙත් පැතූ රතන සූත්‍රය
බෙංගමුවේ
නාලක අනු නා හිමි
බුද්ධ භාෂිතයේ එන වෙනත් සූත්‍රවල නොපෙනෙන ලක්ෂණයක් රතන සූත්‍රය තුළ ඇත.
ත්‍රිපිටකයෙහි එන ගාථා, ගද්‍ය පාඨ, ඒ දෙකෙන් ම මිශ්‍ර ව ඇති බොහෝ දේශනා බුදුරදුන්ගේ
මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් දේශනා කර ඇති බැවින් ඒ සියල්ල කියවන හා අසන අයට
දහම් දැනුමක් ලැබෙන අතර, සෙත ශාන්තිය ද සැලසේ.
සියලු සතුන් කෙරෙහි පැවති කරුණාව නිසා ම අපටත් නිවන් අතහැර සසරට බැස අන් අය දුකින්
මිදීමේ අරමුණින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුදු බව ලබා ගත්තේ ලෝ සතුන්ට
සෙත සලසනු පිණිස ම ය. එසේ බුදු වී දෙසූ දේශනා කියවන, අසන සෑම කෙනෙකුට ම සෙතක්
සැලසෙන බවට කිසිදු සැකයක් නැත. ඒවා අනුගමනය කරන අයට නිවන ද ලැබිය හැකි ය.
රතන සුත්‍රයේ ඇති වෙනස නම් බුදු මුවින්ම සෙත් පතමින් එහි එන ගාථා සකස් වී තිබීමයි.
‘යානීධ භූතානි සමාගතානී” ආදී පළමු ගාථාවෙන් රතන සූත්‍රය දෙසූ විශාලා මහ නුවරට
පැමිණි අහසෙහි හා පොළොවෙහි වැසි සියලු භූතයන්ට ඇමතීමක් කර ඇත. සතුටු සිත් ඇතිව තම
දේශනය අසන ලෙසත්, දිවා රෑ ඔවුන්ට පින් දෙන අයට මෙත් වඩන ලෙසත්, එහි දී බුදු හිමියෝ
භූත කොට්ඨාසවලට කියති. ඉන් පසුව එහි එන ‘යංකිංචි විත්තං ඉධවා හුරංවා’ ආදී ගාථාවෙන්
පටන් ගෙන ‘ඛීනං පුරාණං නවං නත්ථි සම්භවං’ යන ගාථාවෙන් අවසන්වන ගාථා දොළොසෙන් ගාථා
තුනකින් බුදු ගුණත්, ගාථා දෙකකින් දහම් ගුණත්, ගාථා හතකින් සඟ ගුණත් සඳහන් කරන
බුදුරජාණන් වහන්සේ ඒ සෑම ගාථාවක් අවසානයේ ම 'ඒතේන සච්චේන සුවත්ථි හෝතු’ මේ
සත්‍යයෙන් සුවපත් වේවා. යැයි බුදු හිමියෝ ම සත්‍ය ක්‍රියා කරති. ආශිර්වාද කරති.
මෙසේ බුදු හිමියන් විසින් ම තුනුරුවන් ගුණ සඳහන් කරමින් සත්‍ය ක්‍රියා කරන රතන
සූත්‍රය හැර වෙනත් සූත්‍රයක් ත්‍රිපිටකයෙන් හමු නොවෙයි.
එදා විශාලා මහ නුවර ඇති වූ රෝග, අමනුෂ්‍ය, දුර්භික්ෂ යන තුන්බිය දුරුකරලීම සඳහා මහ
රහතන් වහන්සේලා 500 නමක් සමඟ විශාලා මහ නුවරට වැඩම කළ බුදුහිමියෝ නුවර දොරටුව අසල
ඉදි කළ මණ්ඩපයෙහි වැඩ සිට රතන සූත්‍රය දේශනා කළහ. එසේ දේශනා කර සකස් කළ පිරිත් පැන්
අනඳ හිමියන්ගේ මූලිකත්වයෙන් නගරය පුරාම ඉසින ලද බවත්, ඉන්පසු තුන්බිය දුරුව ගිය
බවත් අටුවාවෙහි සඳහන් වෙයි. මෙම සූත්‍රය දේශනා කරන විට එහි අර්ථය ද දැනගෙන දේශනා
කරතොත් වඩාත් ගුණ ලැබෙයි. අර්ථය නොදැන නමුත් තුනුරුවන් කෙරෙහි බැති සිතින් යුතුව
නිවැරැදිව අක්ෂර උච්චාරණය කරමින් දේශනා කළත් ගුණ ලැබෙයි. රෝග, අමනුෂ්‍ය, දුර්භික්ෂ
බය නැතිව යයි. කොරෝනා වැනි වසංගත රෝග පවා මැඩලීමට මෙම සූත්‍ර දේශනාවට ශක්තියක් ඇත.
සූත්‍රයේ අවසානයේ එන ගාථා තුන ශක්‍ර දේවේන්ද්‍රයන් විසින් ප්‍රකාශ කරන ලදී. එහිදී
සක් දෙව් රජ එතැනට පැමිණි භූතයන් අමතා දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගතයන්
වහන්සේත්, උන්වහන්සේගේ ධර්මයත්, උන්වහන්සේගේ සංඝයාත් වන්දනා කරමින් සෙත් පැතීමක්
කරයි. වෙනත් කිසිම සූත්‍රයක මෙවැනි සඳහනක් ද නොමැත.
සොබා දහමේ අසිරිය හා සබැඳි ව නිවනට සිත යොමු කරලීමේ ඉතා සුන්දර සාහිත්‍යමය අගයකින්
ද යුත් ගාථාවක් මෙම සූත්‍රයෙහි ඇතුළත් වෙයි.
වනප්ප ගුම්බේ යථා ඵුස්සි තග්ගේ -
ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්ම වරං අදේසයී -
නිබ්බාණ ගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධේ රතනං පණීතං -ඒතේන සච්චේන සුවත්ථි හෝතු
ගිම්හාන සෘතුවේ, පළමු මාසයේ වන ලැහැබ් අග මල් පිපී ඇත්තේ යම් සේ ද, එසේ ම සිත නිවනට
යොමු කරන දහමක් බුදු හිමියෝ දෙසූහ. මෙය බුදුරදුන් පිළිබඳ වූ උතුම් ගුණයකි. ඒ
සත්‍යයෙන් සුවපත් වේවා.
මෙහි දක්වන උපමාව හොඳින් වටහාගෙන ඒ අනුව සිත වැඩිය හැකි නම්, එසේ කරන තැනැත්තාට
ධර්මාවබෝධයෙන් නිවන් සාක්සාත් කරගත හැකි ය. ගී‍්‍රස්ම සෘතුවේ පළමු මාසයෙහි දඹදිව
මධ්‍ය ප්‍රදේශයේ වන ලැහැබ්වල ඇති ගස්වල අග මල් පිපී මලින් පිරී ඉතා රමණීය දර්ශනයක්
දැකගත හැකි වෙයි. සොබා දහමේ ඇති එම අසිරිය උපමා කරගත් බුදු හිමියෝ උන්වහන්සේගේ
ධර්මය ද, ගස් අග මල් පිපුණා සේ සිත් හි නිවන සාත්ෂාක් කරගැනීමට උපකාර වන බව
දැක්වූහ.
මෙම ගාථාවෙන් පමණක් නොව සූත්‍රයෙහි එන සෑම ගාථාවකින් ම සිත නිවනට යොමු කරන අදහස්
දක්වා ඇත. මෙවැනි ලක්ෂණ ඇති රතන සූත්‍රය දේශනා කිරීමෙන් හා ශ්‍රවණය කිරීමෙන් සෙත
ශාන්තිය සැලසෙන අතර, එහි ඇතුළත් දහම් කරුණු ප්‍රගුණ කිරීමෙන් සසර දුකින් මිදී
නිවනින් සැනසීමට හැකි බව ද නොරහසකි. |