ඇසළ අව අටවක 2020.07.12
යහපත අමතක වීම
යහපත් හැසිරීම්, ක්‍රියාකාරකම් ඇති වන්නේ යහපත් සිතිවිලි උපදින්නේ නම් ය. යම් රටක.
සමාජයක අයහපත් ක්‍රියාකාරකම් හි කැපී පෙනීමක්, වර්ධනයක් වන්නේ නම් එයින් හැඟවෙන්නේ
එහි වෙසෙන්නන්ගේ සිතිවිලි අයහපත් වන බව ය. බෞද්ධ සමාජයක අයහපත් සිතිවිලි,
ක්‍රියාකාරකම්වලට ඉඩ නැත. එහෙයින් උතුම් සදහම් මග යන බෞද්ධයන් ලෙස අප වෙත පැවරුණු
මහා වගකීමක් වේ. ඒ බෞද්ධකම ආරක්ෂා කර ගැනීම ය.
ධර්මය ශ්‍රවණය කළ පමණට, දහම් පොතපත කියැවූ පමණට, ධර්මය උගත් පමණට බුද්ධ ශ්‍රාවකයන්
විය නොහැකි ය. උගත් දහම, අවබෝධ කරගත් ධර්මය ක්‍රියාවේ යෙදවිය යුතුය. අපගේ
සිතිවිල්ලෙනුත්, ක්‍රියාවෙනුත් බෞද්ධකම දර්ශනය විය යුතු ය.
එහෙත් සමහර කෙනෙකුට යහපත් දෙය ක්ෂණයෙන් අමතක වේ. රාග, ද්වේෂ, මෝහාදී කෙලෙස්
මූලයන්ගෙන් සිතෙහි උපදින අකුසල සිතිවිලි නිසා පාපයටම නැඹුරු වේ.
දැහැමි දිවිපෙවෙතක වටිනාකම හා ඒ දහම් මාවත අපට අමතක වන්නේ ඇයි? ඊට හේතුව ද අපේ
බුදුරජාණන් වහන්සේ ම දේශනා කොට වදාළහ. එක් අවස්ථාවක තථාගතයන් වහන්සේ වෙත පැමිණි
එක්තරා බමුණෙක්, ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම බොහෝ දේ පාඩම් කර ඇත්තෙමි. එහෙත්
දැන් ඒවා මතකයට නගා ගත නොහැකි ය. එයට හේතුව කුමක් ද?”යි විමසී ය.
ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ උපමා ඇසුරින් ඊට හේතුව අපූර්ව ලෙස විස්තර කර දුන් හ.
යම් දෙයක් මතකයේ රඳවා ගැනීම, එය නැවත නැවත සිහිපත් කිරීම අපහසු වන්නේ පංච නීවරණ
නිසා වන බව උන්වහන්සේ පෙන්වා දුන්හ. නීවරණ නම් සිත අපිරිසුදු කරන, කුසල්
සිතිවිලිවලට බාධා කරන සිතිවිලිය. දැහැමි, ආදර්ශවත්, අර්ථ සම්පන්න , දෙලොව දියුණුව
සලසාගන්නා පුද්ගලයෙක් වීමට නම් ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කර ගැන්ම විශේෂයෙන්
වර්තමාන සමාජයට ඉතා වැදගත් වන බව පෙනේ.
වෙසෙසින් අද සමාජයේ සමහර කෙනකුගේ පුරුද්ද අනුන්ට චෝදනා කිරීම ය. සාමාන්‍ය වහරේ එන
ලෙස කියනවා නම් අනුන්ට ඇඟිල්ල දිගු කිරීම ය. සාමාන්‍යයෙන් අපට අනුන් නිවැරැදි කළ
නොහැකි ය. එහෙත් තමන්ට නිවැරැදි විය හැකිය. එවිට ලෝකය ද නිවැරැදි වනු ඇත.
දැන උගත් යහපත් දේ අමතක වන එක් නීවරණයකි. ‘කාමච්ඡන්දය. එනම් කාම වස්තූන් පිළිබඳව
පවත්නා බලවත් ආශාවයි. එවැනි අවස්ථාවක යහපත් සිතිවිලි හෝ දැන උගත් දෙය මතකයට නඟා ගත
නො හැකිය. හරියට, ජලයට යම් වර්ණයක් එක් කළ විට ඒ තුළ කිසිවක් නොපෙනෙන්නා සේ ය.
‘ව්‍යාපාදය’ එවැනි තවත් නීවරණයකි. ව්‍යාපාදය නම් තරහවයි. තරහ සිතිවිලිවලින් මඩනා ලද
කෙනාගේ ද මතකය දුර්වල ය. යහපත අමතක ය. රත් වී උතුරන විට බුබුළු නැගෙන ජල බඳුනක යමක්
නොදැකිය හැකි මෙනි.
ථීනමිද්ධ නීවරණයෙන් යුතු පුද්ගලයා උදාසීනය. නිදි බර ගතියෙන් යුතු ය. ඒ නිසාම යහපත්
සිතිවිලි මතකයට නොනැගේ. පාසි පිරුණු ජලයෙහි කිසිවක් නොපෙනෙන්නාක් මෙනි.
උද්ධච්ච කුක්කුච්ච නම් නොසන්සුන්කමයි. සිතේ කැළඹීමයි. කළ හා නොකළ දේ පිළිබඳ ඇතිවන
පසුතැවිල්ලයි. මේ නීවරණය නිසා ද මතකය අවදි නොවේ. කැළඹුණ ජලයෙහි කිසිවක්
නොපෙනෙන්නාක් මෙනි.
විචිකිච්චාව ද නීවරණයකි. එනම් විවිධ දේ පිළිබඳ සිත තුළ වන සැකයයි. එවිට ද යහපත්
සිතිවිලි මතකයට නො නැඟේ. බොර වූ ජලයෙහි කිසිවක් පැහැදිලිව නොපෙනෙන්නාක් මෙනි.
මේ නීවරණ දැන, ඒවා ප්‍රහාණය කිරීම තුළ අපගේ මතකයෙන් වහ වහා ගිලිහෙන යහපත් සිතිවිලි
සිතතුළම රඳවා ගෙන යහපත් පුද්ගලයෙකු වීමට පුළුවන. ඒ සැබෑ බුද්ධ ශ්‍රාවකයාගේ ගමන්
මාර්ගයයි. |