පොළොන්නරුව වටදාගේ සහ
හෙළ කැටයම් කලාව
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉතිහාසය අධ්‍යයනාංශයේ
මහාචාර්ය
එන්. ඒ. විමලසේන හෑලෝගම
ස්තූපය සමග සම්බන්ධ ප්‍රධාන ගොඩනැගිල්ලක් වන්නේ වටදාගෙයයි. මෙය ස්තූපය වටා නිර්මාණය
කළ නිසා චේතිය ඝර හෙවත් වටදාගෙය වශයෙන් හඳුන්වයි. චේතියඝරයන්හි ප්‍රභවය ඉන්දියාවේ
බව භාරුත්හි කැටයම්වලින් අනාවරණය වේ. නමුත් එය ඉන්දියාවෙන් අභාවයට ගියත් පහළොස්වන
සියවස වන තෙක් ම ලංකාවේ ඉතා ජනප්‍රිය චෛත්‍යාංගයක් බවට පත්විය.
රජවරුන් මෙම වටදාගේ තැනවීමෙන් අපේක්ෂා කළේ වන්දනා කටයුතු සඳහා සහයෝගය ලබාදීම හා
දාගැබට ආරක්ෂාව සලසා දීමයි. අනුරාධපුර යුගයේ ථූපාරාම වටදාගෙය නිර්මාණය කර තිබුණේ
කවාකාර ව, තනි ගල් කුලුනු පේළි මත පියස්සක් ඉදිකිරීමෙන් ය. ඒ හැරුණු විට
අනුරාධපුරයේ ලංකාරාම දාගැබ, මිහින්තලේ අම්බස්තල දාගැබ, මණ්ඩලගිරි නොහොත් මැදිරිගිරි
දාගැබ හා තිරියාය චෛත්‍යය ආදියෙහි ද මෙසේ වටාදාගෙයක් තිබූ බව පුරාවිද්‍යා සාධක
මගින් තහවුරු වේ.
වටදාගෙයි සම්ප්‍රදායේ උසස් ම තත්ත්වය ඇතිවූයේ පොළොන්නරු යුගයේදී බව පැහැදිලි ය.
දළදා මළුවට පිවිසුමේ වම් පසින් පිහිටා ඇති මෙම පොළොන්නරුව වටදාගෙය නිශ්ශංකමල්ල රජ
දවස ඉදිකළ එකක් බව එහි බිත්තියක ඇති ශිලා ලේඛනයක සඳහන් ව තිබේ. එම ලිපියට අනුව
වටදාගෙය, රජුගේ ආඥාවෙන් කරවා තිබෙන්නේ ලක්විජයසිඟු සෙනෙවි තාවුරුනාය. වටදාගෙය සඳහා
ඔහු දී ඇති නම වන්නේ රත්නගිරි යන්නයි. හැටදාගේ ආලින්දයේ ඇති ලිපියටත්, ගල්පොත
ලිපියටත් අනුව මෙය ශිලාමය වටදාගෙයකි. නමුත් එම ගොඩනැගිල්ල නිශ්ශංකමල්ල කාලයටත් වඩා
පැරැණි බව බෙල් හා හොකාර්ට් ගේ අදහසයි. පරණවිතාන මහතා නිශ්චිත වශයෙන් ම සඳහන්
කරන්නේ මෙය නිශ්ශංකමල්ල රජු විසින් කරවූ එකක් බව ය. මෙම ගෘහයෙහි මධ්‍ය වේදිකා දෙකකට
නිර්මාණය කර ඇති අතර, ඉහළ වේදිකාවේ ස්තූපයත්, පහළ වේදිකාවෙහි ප්‍රදක්ෂිණා පථයත්
සකස්කර ඇත. එහි පිහිටි බුබ්බුලාකාර ස්තූපය අඩි 27 අඟල් 8ක් උසින් යුක්ත වේ.
පොළොන්නරු රාජධානියේ අලංකාර ගොඩනැගිලි අතරින් වඩාත් සිත්ගන්නා සුලු ඉදිකිරීමක් වන
මෙහි, සතර දිශාවට මුහුණ ලා අඩි 5ක් උස් වූ දොරටු සතරක් පවතී. එම දිශා සතරෙහි දොරටු
සතරට ඉදිරියෙන් ශෛලමය පීඨයක් මත පිහිටුවන ලද වැඩසිටි බුද්ධ ප්‍රතිමා සතරක් විය.
බුද්ධ ප්‍රතිමා ඉන්දියාවේ මදුරාසියේ ඇති ඒවාට සමානත්වයක් උසුලන අතර කුණ්ඩලාකාර
කේෂයන් නොමැති වීම විශේෂ ලක්ෂණයකි.
පොළොන්නරුවේ හොඳම සඳකඩපහණ පිහිටා තිබෙන්නේ වටදාගේ උතුරු දොරටුවෙහි ය. මෙහි මල්කම්,
ලියකම් හා සත්ත්ව රූප මැනවින් කැටයම් කර ඇත. රළු ගලක් උපයෝගී කොටගෙන අලංකාර කැටයමක්
බවට පත්කරන සඳකඩපහණ තත් කාලීන කලාකරුවාගේ නිපුණත්වය මැනවින් පෙන්නුම් කරයි. ආගමික
ස්ථානයන්හි ඇතුළත් වන දොරටුව සමීපයේ පිහිටා ඇති සඳකඩපහණ පශ්චාත් අනුරාධපුර යුගයේ
ඇති වූ අංගයක් ලෙසට විශ්වාසකරනු ලබයි. අනුරාධපුරයේ මහාවිහාරයේ හා අභයගිරියේ මූර්ති
ශිල්පය අතින් විශිෂ්ට සඳකඩපහන් දැකිය හැකි ය. පොදුවේ සඳකඩපහණින් සංසාර චක්‍රය
නිරූපණය කරන බව පරණවිතාන මහතාගේ අදහසයි. එසේම පොළොන්නරුවේ සඳකඩපහණ, අනුරාධපුරයේ
මෙන් උසස් ඒවා නොවන බව ඉතිහාසඥයෝ සඳහන් කරති.
පොළොන්නරු යුගයේ හින්දු බලපෑම නිසා ලියවැල වටා එකිනෙකා පිටුපස දුවන සත්ත්ව රූප
අතරින් ගවරූපය සඳකඩපහණින් ඉවත්කර ඇත. හින්දූන්ගේ පූජනීය වස්තුවක්වන ගවයා පයට පෑගෙන
ස්ථානයන්හි කැටයම් කිරීම සුදුසු නොවන බවට මේ කාලයේ විශ්වාසයක් පවතින්නට ඇත. ගවයා
හැරුණු විට ඇත්, අස්, හංස රූප ඇතුළත් වේ. මේ වටදාගෙයි සෑම දොරටුවක් ඉදිරියෙන් ම ඇති
සඳකඩපහණ සත්ත්ව රූපයකට එක් තීරුවක් වෙන්කර තිබේ. අනුරාධපුරයෙන් පසුව වඩාත් කලාත්මක
මුරගල් හමුවන්නේ පොළොන්නරුවෙන් ය. පිළිම ගෙයට හො දාගැබට ප්‍රවේශවන පියගැට පෙළ
මූලයෙහි සඳකඩපහණට දෙපසින් මුරගල් දෙකක් පිහිටුවීම පැරණි ගෘහනිර්මාණ ශිල්පයේ ප්‍රධාන
අංගයක් විය. මුලින් මේ සඳහා චාම් ගල් පුවරු යෙදූ අතර, පසුව එයට කැටයම් එකතු වන්නට
විය. අනුරාධපුරයේ ඉදිවූ බොහොමයක් අලංකාර කැටයම් අතරින් උසස්ම කෘතිය සේ ගැනෙන්නේ
රත්න ප්‍රාසාදය අබියස ඇති මුරගල ය. මෙය මිනිස් හැඩයක් දැක්වෙන නාග රූපයකින් අලංකාර
කර ඇත. ඉසුරුමුණිය, අභයගිරි වැනි ස්ථානවල වාමන රූප සහිත මුරගල් ද හමුවී ඇත. මේ වාමන
රූප සඳහා මෝරිය, අමරාවතී ඉන්දීය බලපෑම ලැබී ඇතිබව විශ්වාස කළ හැකි ය.
නිශ්ශංකමල්ල රජතුමා විසින් පොළොන්නරුවේ කරවන ලද වටදාගෙයෙ නැඟෙනහිර දොරටුවේ පියගැට
පෙළ දෙපස කලාත්මක නාගරූප සහිත මුරගල් දෙකක් දක්නට ලැබේ. මේ මුරගල් අනුරාධපුරයේ
රත්නප්‍රාසාද මුරගලට බොහෝ සේ සමාන බව පෙනීයයි. නමුත් මේ ආකාරයේ උසස් තත්ත්වයක් ඇති
මුරගල් වටදාගෙයි අනෙක් දොරටු සමීපයෙහි දක්නට නැත. විශේෂයෙන් නැගෙනහිර දොරටුවේ
පියගැට පෙළ සමීපයේ ඇති මුරගල් ක්‍රි.ව. 8 හෝ ක්‍රි.ව. 9වන සියවස්වලට අයත් විය යුතු
බවටත්, ඒවා අනුරාධපුර ප්‍රදේශයෙන් රැගෙනවිත් වටදාගෙය සාදන විට මෙහි පිහිටුවන්නට ඇති
බවත් පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි.
වටදාගෙයි අනෙක් මුරගල් නැඟෙනහිර දොරටු මුරගල් හා උසස් නොවූයේ අනුකරණයෙන් දෙවන
මට්ටමේ ශිල්පීන් විසින් කරන්නට ඇති නිසා බව උපකල්පනය කළ හැකිය. නැඟෙනහිර දොරටුව අසල
ඇති මුරගල් දෙපස නිරුවත් වාමන රූප දක්නට ලැබේ.
වටදාගෙයි සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේ දී පුරාවිද්‍යාඥයන්ගේ හා ඉතිහාසඥයන්ගේ වැඩි
අවධානයක් යොමු වූයේ එහි පියස්සේ නිර්මාණයට ය. ජේම්ස් ෆර්ගසන් සඳහන් කරන්නේ වටදාගේ
ගල් කුලුනුවල හිස් මත තැබූ බාල්ක උපයෝගී කර ගනිමින් එය තැනවූ බවයි. පියස්ස ස්තූපය
වටාම ආවරණය වන පරිදි සැකසූ කේතුකාකාර එකක් බව ඒ. ඇම්. හොකාර්ට් මහතා පෙන්වා දෙයි.
එසේම පියස්සෙහි යටකුරු පෙදෙස පියුම් ආකාරයක් ගත්බව ද පැවසේ. ආරුක්කු පියස්ස වෙනුවට
අර්ධ ගෝලාකාර ව වටදාගෙයි පියස්ස පැවති බව සෙනරත් පරණවිතාන මහතාගේ මතයයි. යටකුරු
පියස්ස මෙන්ම, අර්ධ ගෝලාකාර පියස්සත් විශාල බව ඔහු තවදුරටත් සඳහන් කර ඇත. |