බෞද්ධයාගේ සතුට
කෙසේ
විය යුතු ද?
ලබුනෝරුවකන්ද
ආරණ්‍ය සේනාසනාධිපති,
ශාස්ත්‍රපති, රාජකීය , පණ්ඩිත
කොත්මලේ
කුමාර කස්සප හිමි
කොහොමද අප එකම වේදනාවට දෙපාරක් දුක් විඳීන්නේ? අපට ඔලුව කැක්කුමක් තියෙන විට, එය
කයට දැනෙන වේදනාවක්. ඒ අරභයා අප විඳීන්නට පුරුදු වෙලා තියෙන්නේ, ‘පැයක් තිස්සේ මට
තියෙන්නේ ඔලුවේ කැක්කුමක්. ඒ ඔලුවේ කැක්කුම මගේ. මගෙ යි, ඔලුව රිදෙන්නේ. පැයක්
තිස්සේ ඔලුව රිදෙනවා’ යනුවෙන් එකම කායික වේදනාව පැයක් තිස්සේ අල්ලාගෙන , ඒ අනුව
තමයි, අප දුක් විඳීන්නේ. කායික දුකට වැඩිය මානසික දුක වැඩි යි.
‘සන්තුට්ඨි පරමං ධනං’ බුදු දහම තුළ සතුට යනු පරම ධනය ලෙස යි විග්‍රහ වෙන්නේ. ඒ අතර
සාමිස සතුට සහ නිරාමිස සතුට යනුවෙන් කොටස් දෙකකට දක්වන්න පුළුවන්.
සාමිස සතුට යනු පංචකාමය අනුව ගොස් ලෝකයා තුළ හොඳ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්
පිළිබදව අපේ මනසෙහි ඇතිවන කැමැත්ත යි. ඒ අනුව සතුටු වීම සාමිස සතුටයි. නිරාමිස සතුට
යනු මානසික සංතෘප්තියයි. කවදාකවත් සාමිස සතුට තුළ එනම්, ලෝකය තුළලබන සැනසිල්ල තුළ
අපට මානසික තෘප්තියක් ලබන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ.ඒ මානසික තෘප්තිමත් භාවය අපට
ලබන්නට පුළුවන්කම තියෙන්නේ ධර්ම මාර්ගයකට අවතීර්ණ වීමෙන් ම පමණ යි.ධර්ම මාර්ගයක්
යනුවෙන් සඳහන් කරන විට එය පෝය දවසට පන්සලට ගිහිල්ලා නැවත වන්දනාවක් කර එනවා කියන
තැන ධාර්මික පැවැත්ම පිළිබඳව නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය හා අනුයුක්තව තමාගේ
කි‍්‍රයා පිළිවෙත සකස් කරගැනීම කියන කාරණාව පිළිබඳවයි අප මෙහිදී සඳහන් කරන්නේ.
ලෝකයේ සතුට කියන කාරණාව දකින්නට පුළුවන්කම තියෙනවා. ් සාමිස සතුට කියලා කතා කරන
සන්දර්භය තුළ එයටත් ඒ ඒ පුද්ගලයා තුළ කුසලාකුසල ශක්තිය බලපානවා. යහපත් කර්මයන්ගේ
විපාක ලෙස යහපත්දෙය ද අයහපත් කර්මයන්ගේ විපාක ලෙස අයහපත් දේ ද, ලබන්නට සිදුවෙනවා.
එය කර්ම නියාමය වෙයි. ඒ තුළ ලෝකයේ බොහෝ දෙනෙකු යහපත් සහ අයහපත් ප්‍රතිඵල භුක්ති
විඳීනවා. බොහෝ කර්මයන්ට අද දවසේදී අපට බලපෑමක් කරන්නට බැරි වුණොත් අපට පුළුවන්
මානසික සන්තෘප්තිය ඇති කර ගැනීම සඳහා අපේ ධර්ම මාර්ගය භාවිත කරන්නට. බුදුදහම තුළ
ප්‍රධාන ලෙසම බලාපොරොත්තු වෙන දේ වන්නේ, සාමිස සතුටට වැඩිය නිරාමිස සතුටක් උරුම කර
ගැනීම යි. සාමිස සතුට එතරම්ම ප්‍රයෝගික නැහැ.එය ඕනෑම අවස්ථාවක නැතිවෙන්නට පුළුවන්.
එය ඒකාන්තයෙන් ම නැතිවීමෙන් ඒ සතුට දුකෙන් ම කෙළවර වෙනවා. ධනය, බලය, හැකියාව මේ දේ
මත තීරණය වන සාමිස සතුට ලෝකයා තාවකාලික ව වින්දනයක් ලබන දෙයක් පමණයි.
අප දුටුවා පසුගිය දවස්වල එක්තරා මිල මුදල් ඇති, ඒ වගේම ව්‍යාපාරික බොහොම හැකියාව
ඇති, බොහෝ සැප සම්පත් විඳී කෙනෙකුගේ දරුවකු විසින් තැබූ සටහනක්. එනම්, “තමන්ගේ
පියාණන්ට කෙතරම් ධනය තිබුණත් , කෙතරම් දේ තිබුණත් අවසාන අවස්ථාවේදී තමන්ට පියාණන්
සමීපයට ගොස්, කතා කරන්නටවත් අවස්ථාව නොලැබුණු බව සහ මරණයෙන් ගොඩ ඒම සඳහා ඒ කිසිම
දෙයක් ඔහුට උපකාර නොවුණ බව”මෙය තමයි ජීවිතයේ සාමිස සතුට තුළ අපට ලැබෙන අවසානය. අපට
බුක්ති විඳීන්නට ලැබෙන අවසාන ප්‍රතිඵලය නම් මරණයෙන් කෙළවර වීම යි. අපේ ඇතිවීම
නැතිවීමෙන් කෙළවර වීම. මෙය තමයි ජීවිතයක ස්වභාවය. ව්‍යාධිය කියන දෙය, රෝගීවීම
කියනදෙය. අපට අද ලෙඩ නොවී ඉන්න පුළුවන් නමුත් අප හෙට දවසේදී රෝගීවීම උරුම කරගෙන
ඉන්නේ. මරණය කියන දේ අද නොමැරෙන්න පුළුවන් . නමුත් හෙට දවසේ දී ඒ දේ උරුම කරගෙන
ඉන්නේ. ඒ නිසා මැරෙන ලෝකයේ නොමැරීමක් හොයනවා අද බොහෝ දෙනෙක්.
නමුත් බෞද්ධයෙක් මීට වඩාත් සංවේදී විය යුතු වෙන්නේ මේ ජීවිතය තුළ සිද්ධවන මරණය
පිළිබඳව නො වෙයි. මේ ජීවිතය තුළ සිද්ධ වෙන මරණය හුදෙක්ම කය අතහැර දැමීමක් පමණයි.
ගැටලුව තියෙන්නේ මෙතනින් මේ කය අත්හැර දැමීමත් සමගම තව තැනකට උත්පත්ති වශයෙන් යාම
යි. එතැන තවත් පුද්ගලයෙකු ලෙස, තවත් දුක්ඛිත ආත්මභාවයක් ප්‍රතිලාභ කළාට පසුව අපට මේ
දුක නෙමෙයි, එතනදී තව තවත් අනන්ත ප්‍රමාණ දුක් විඳීන්නට පුළුවන්කම තියෙනවා. සමහරවිට
අද විඳීන දේට වඩා හෙට දවසේ දී විඳීන්නට වෙන දේ බොහොම වැඩි දුකක් බවට පත්වීමේ
හැකියාව තියෙනවා. ඒ නිසා සසර ගමනක සැරිසරන අපට සාර්ථක පිළිතුරක් සොයන්නට තියෙන්නේ
කය ලෙඩ නොවී පවත්වා ගැනීම තුළ නෙමෙයි.
දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට නකුලපිතු තුමා පැමිණ පුංචි කතාවක් කියනවා ‘ස්වාමීනි,මා
දැන් හරි වයස යි, සිරුරට දැන්හරි අපහසු යි. ‘ස්වාමීනි, මට දැන් පි‍්‍රයමනාප
භික්ෂූන් වහන්සේ ළඟට යන්නටත් එතරම් හැකියාවක් ඇත්තේ නැහැ.ඒ නිසා ස්වාමීනි, මට
අවවාදයක් කරන්න යනුවෙන්.
මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ ගෘහපතිතුමාට අවවාද කරනවා, ගෘහපතිය ලෙඩවන කයක් ඇතිව,
ලෙඩ නොවන මනසක් සකස් කර ගන්න යනුවෙන්. එහිදී නකුලපිතු ගෘහපතිතුමා බොහොම සතුටින් මේ
අවවාදය පිළිගෙන වන්දනා කරනවිට බුදුරජාණන් වහන්සේ අසළින් ගමන් කරන ගෘහපතිතුමා ,
සැරියුත් තෙරුන් වහන්සේ දකිනවා. එහිදී උන්වහන්සේ නකුලපිතු තුමාගෙන් විමසනවා ඔබ අද
හරි සතුටින්. මොකද, හේතුව යනුවෙන්? මේ මොහොතේ නකුලපිතු තුමා ප්‍රකාශ කරනවා, මට
භාග්‍යවතුන් වහන්සේ ධර්මෝපදේශයක් දුන්නා.‘ලෙඩ වන කය ඇතුව ලෙඩ නොවන මනසක් සකස් කර
ගන්නේ කෙසේද? යනුවෙන්, දිනපතා කටයුතු කරන්නට’ කියලා. එවිට සැරියුත් තෙරුන් වහන්සේ
අහනවා ඔබ අසා ගත්තද ලෙඩ වන කය සහ ලෙඩ නොවන මනස සකස් කර ගන්නේ කෙසේද යනුවෙන්?
නැතිනම් ලෙඩ වන කය අනුව මනස ලෙඩ වෙනවා කියන්නේ කුමක්ද යනුවෙන් අසා ගත්තාද? යනුවෙන්.
ගෘහපතිතුමාට එවිට මතකයට නැගුණේමෙය විස්තරාත්මක ව අසා දැනගත්තා නම්, වඩා හොඳ බව
යි.නමුත් සැරියුත් තෙරුන් වහන්සේ ඒ වෙලාවේදී නකුලපිතු ගෘහපතිතුමාට බොහොම අපූරු
කාරණාවක් පැහැදිලි කර දෙනවා.ලෙඩ වෙන කය කොහොමත් ලෙඩ වෙනවා, එය අපට නතර කරන්නට
පුළුවන්කමක් ඇත්තේ නැහැ.ඒක අද නොවුණත් හෙට වුණත් වෙන්නට පුළුවන්කම තියෙනවා. අවසානයෙ
්දී අප මරණයෙන් ම කෙළවර වෙනවා. මරණය කියන දේ සහ ලෙඩවීම උරුමකොට පවතින අපට ඒකෙන්
කවදාකවත් පැනයන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. එහෙමනම් ලෙඩ නොවන දර්ශනයක් අප කෙසේද
ඇසුරු කරන්නේ? ලෙඩ නොවන මනසක් සකස් කර ගන්නට, අවැසි දර්ශනයක් අප ළඟ අද උපදවා ගන්නට
පුළුවන්කම තියෙනවා.
ධර්මය නූගත් අශ්‍රැතවත් පෘතග්ජනයා එකම වේදනාවට දෙපාරක් දුක් විඳීන බව බුදුරජාණන්
වහන්සේ දේශනා කරනවා. කොහොමද අප එකම වේදනාවට දෙපාරක් දුක් විඳීන්නේ? අපට ඔලුව
කැක්කුමක් තියෙන විට, එය කයට දැනෙන වේදනාවක්. ඒ අරභයා අප විඳීන්නට පුරුදු වෙලා
තියෙන්නේ, ‘පැයක් තිස්සේ මට තියෙන්නේ ඔලුවේ කැක්කුමක්. ඒ ඔලුවේ කැක්කුම මගේ. මගෙ
යි, ඔලුව රිදෙන්නේ. පැයක් තිස්සේ ඔලුව රිදෙනවා’ යනුවෙන් එකම කායික වේදනාව පැයක්
තිස්සේ අල්ලාගෙන , ඒ අනුව තමයි, අප දුක් විඳීන්නේ. කායික දුකට වැඩිය මානසික දුක
වැඩි යි. මොකද , අපට ගැටලුව තිබෙන්නේ පැයක් තිස්සේ තිබෙන ඔලුවේ කැක්කුම යි. හැබැයි,
මේක විනාඩියකට පෙර, තප්පරේකට පෙර තිබුණ ඔලුව කැක්කුමවත් මට අලුතෙන් විඳීන්නට
පුළුවන්කමක් ඇත්තේ නැහැ.මට ලැබෙන්නේ අලුතෙන් හේතු ටික ඇති තැනක ලැබෙන ඵලයක්.
හැබැයි, මා එය විඳීන්නේ පැයක් තිස්සේ මට තියෙන ඔලුවේ කැක්කුමක් විදිහට.
පින්වතුනි, ඒක තමයි අප ඇති කරගන්න මානසික අතෘප්තිකර බව.ඒක තමයි අප නැති කරගන්න
සතුට. බුදුරජාණන් වහන්සේ අපට පෙන්නුවේ මෙන්න මේ සතුට උපදවා ගන්න මාර්ගය යි. කොහොමද?
ලෙඩ වන කය අනුව සිත ලෙඩ කරගන් නැතුව සතුටින් ජීවත් වෙන්නේ කොහොමද කියන එක යි.
ජම්මික ප්‍රබෝධනී වැලිකල |