පොසොන් පුර අටවක 2020.05.30
සතුට සඳහා
ගෙවී ගිය කාලයතුළ අපට ජීවිතයේ බොහෝ පාඩම් ඉගෙන ගන්නට ලැබුණි. ඒ මෙතෙක් නොවිඳ
අත්දැකීම් ඇසුරිනි. කොරෝනා වයිරසය ලෝකයක් බිලි ගනිද්දී ජීවිතය නම්, තණ අග පිනි
බිඳුවක් ම යැයි බොහෝ දෙනකුට අවබෝධ වුණි. අප ජීවිතය දෙස නැවත හැරී බැලිය යුතුව තිබේ.
ජීවිතයේ යථාර්ථය තේරුම් ගත යුතුවේ. ඒ තුළ ජීවිතයේ වැරදුණ තැන් නිවැරැදි කරගත යුතු
වේ.
සියලු පව් නොකළ යුතු බවත්, කුසල් කළ යුතු බවත්, සිත පිරිසුදු කරගත යුතු බවත් සියලු
බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව ය. ඒ දහම් මඟ යන්නෝ ඉන් බැහැර දෙයින් වැළැකී
සිටිති. තමන්ට කරදරයක් නොවී, අනුන්ට ද කරදරයක් නොකර, සමාජයට හිතකර වී දෙලොව වැඩ
සලසා ගන්නෝ එවැන්නෝ ය. ආගම් වෙනසක්, පුද්ගල වෙනසක් නොමැතිව මේ ගුණ දහම් ජීවිතයට
හුරු පුරුදු කළ යුතු වුව, සමාජයෙන් ම නිතර ඇසෙන, පෙනෙන දේ නිදසුන් දෙන්නේ ඉන් බැහැර
වන්නෝ බොහෝ බව ය
වරද වැටහීම් වන විට බොහෝ අනර්ථ සිදු වී අවසන් ය. විවිධ පව් සිදු වී අවසන් ය. ගෙවී
ගිය ජීවිත කාලය පුරා ඉවසුම් නොමැති තැන තමන් කළ කී දේ ගැන නැවත ආවර්ජනය කළේ නම් ඒ
ක්‍රියාකාරකම්හි නිශ්ඵල බව, අහිමිවීම්, චිත්ත වේදනාවන්, අපකීර්තිය මිස යහපත්
කිසිවක් ඉතිරි නොවූ බව වටහා ගැන්ම අසීරුවන්නේ නැත. එසේ වුව ගිය නුවණ ඇතුන්ලවාවත්
ආපසු ඇද ගැනීමට නම් නොහැකි ය. උගත යුතු වන්නේ ඕනෑ ම දෙයක් කරන්නට කියන්නට පෙර
වතාවක් නොව දෙතුන් වතාවක් සිතා බැලීම ය. හුරුපුරුදු වහරින් ම කියනවා නම්, පනින්නට
පෙර සිතා බැලීම ය.
සිතා බලන්නට ද චිත්ත විවේකයක් ඕනෑ වේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ආදී වූ අකුසල
සිතිවිලිවලින් ආතුර වූ සිත අවේවිකී ය. අපිරිසිදු ය. ගත වැකුණු කුණු දුහුවිලි
පිරිසුදු ජලයෙන් සෝදා පවිත්‍ර කරන්නා සේ සිත වෙළාගෙන ඇති කිළිටි සෝදාහල යුතු වේ. එය
පහසුවෙන් කළ හැකි නොවුණ ද ඒ සඳහා අපගේ තථාගතයන් වහන්සේ අපට අපූර්ව දහම් මාවතක්
පෙන්වා දී ඇත. කළ යුතු වන්නේ ඒ දහමට වඩ වඩාත් සමීප වීම ය. එපමණක් ද නොසෑහේ.
අවබෝධයෙන් තේරුම්ගෙන ජිවිතයට හුරුපුරුදු කළ යුතු වේ. නිරන්තර දහම් ශ්‍රවණයෙන්, දහම්
පොත පත කියවීමෙන් ඒ හුරුව ලබා ගන්නට අසීරු වන්නේ නැත.
අතීතයේ අපේ මුතුන් මිත්තන්ගේ ජීවිත බොහෝ සරල විය. දකින දකින දේ පසුපස හඹා යමින්
අනවශ්‍ය දේ රැස් කරන්නට ඔවුන් තරගයක නියැළුුණේ නැත. ධාර්මික ජීවනෝපායෙන් උපයාගත්
දෙයින් සතුටු වූහ. අල්පේච්ඡ වූහ. අල්ප කෘත්‍ය වූහ. ඒ ජීවන ක්‍රියාවලිය ඔවුන්ගේ සිතට
නිදහස, විවේකී බව ලබාදුනි. ව්‍යාකූල නොවූ ඔවුන් ප්‍රශ්න විසඳා ගත්තේ ද ව්‍යාකූල
නොවන ලෙස ය.
ගමේ විහාරයේ භික්ෂූන් වහන්සේගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් ලැබූ ඔවුහු පවට බිය වූ
හ. ලජ්ජා වූහ. වරදක් වූයේ නම් වන සමාජ අපවාදයට බිය වූහ. තමන්ගේ මුවින් ගිලිහෙන
වදන්, හැසිරීම් විලාශයන් තමන් අන් අයට හඳුන්වා දෙන කැඩපතක් බව ඔවුහු තේරුම් ගත්හ.
එදා සමාජය අන්‍යොන්‍ය සුහද බවින්, ගෞරවය, සැලකීම වැනි ගුණධර්මයන්ගෙන් පොහොසත් වූයේ
එහෙයිනි.
බොහෝ අය ධනවත් වීමට සිතති. ඒ සඳහා දිවා රෑ වෙහෙසෙති. ඒ භෞතික සම්පත් උපයනු සඳහා ය.
එහෙත් පොහොසත් විය යුතු වන්නේ ඒ තුළ පමණක් නොවේ. ආධ්‍යාත්මය ද දිළිඳු නොවිය යුතු ය.
මොනතරම් මිල මුදල් තිබුණ ද සතුට සැනසීම මුදලට ගත හැකි ද? කිසිවෙකුට නො හැකි ය. සතුට
උපදින්නේ සිත ක්‍රියා කරන ආකාරය අනුව ය. ඒ සඳහා යහපත් ලෙස සිත වර්ධනය කරගන්නට
වෙහෙසෙමු. |