[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන්ගේ ඇරයුම කවරෙකුට ද?

බුදුරදුන්ගේ ඇරයුම කවරෙකුට ද?

බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේගේ අවබෝධය අන්‍යයන්වෙත සන්නිවේදනය කිරීමේ දි නිවන ඒකායන අරමුණ කරගෙන කටයුතු කර ඇති බව පිටකාගත සාධක මගින් සනාථ වේ.

ධර්මය ඇසීම පිණිස බුදු රදුන්ගේ ආරාධනය විවෘත වූවකි. (එහිපස්සික). බුදුරදුන් ධරමාන අවදියේ දී උන්වහන්සේගේ දහමට සවන් යොමුකිරීමට කැමැති පුද්ගලයෝ නිරන්තරයෙන්ම ඒ කෙරෙහි යොමු කළ කන් ඇත්තෝ වූහ. සවන් යොමු කළ ද ඇතමෙක් එහි අර්ථය මැනවින් අවබෝධ නොකළහ. මැනවින් සවන් යොමුකොට දහම දැන දැක අවබෝධකරගත් ඇත්තෝ විමුක්ති සුවය ආස්වාදනය කළහ. බුදුරදුන් වදාළ දහම ප්‍රඥාවන්ත මිනිසුන් උදෙසාම දේශනා කරන ලද්දකි (පඤ්ඤාවන්තස්සායං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස). එසේම එම ධර්මය විඤ්ඤූ යනුවෙන් හැඳීන්වෙන නුවණැති පුද්ගලයා විසින් තම නැණ පමණින් අවබෝධ කරගත යුතු වේ. බුද්ධ දේශනාවල “විඤ්ඤූ“ යන්න විශේෂ අර්ථයකින් යෙදී තිබේ. “පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහිති” “විඤ්ඤූපුරිස” “විඤ්ඤූපසත්ත” “විඤ්ඤූගරහිත” යන පිටකාගත වදන් මගින් නුවණැති පුද්ගලයා හා ඔහුගේ ස්වභාවයත්, ක්‍රියාකාරිත්වයත් නිර්වචනය කෙරේ. මූලික වශයෙන් විඤ්ඤූ පුරුෂ යනුවෙන් හැඳීන්වෙන්නේ නුවණැති පුද්ගලයා ය. විඤ්ඤූ පුරුෂ යන්නට පරියාය පදයක් ලෙස ධර්මයේ දැක්වෙන්නේ පණ්ඩිත යන්න ය. මෙම වදන තේරුම් ගත යුත්තේ වර්තමානයේ ව්‍යවහාරයේ පවතින පණ්ඩිත යන්නට අනුරූප ව නොවේ. වර්තමානයේ එය කිසියම් ආයතනගත අධ්‍යාපනයක් සම්පූර්ණ කළ අයෙකුට ලැබෙන උපාධි නාමයකි. එබැවින් පිටක ග්‍රන්ථවල යෙදෙන වචන තේරුම් ගත යුත්තේ ඒවායේ ධර්මානුගත අර්ථයට අනුකූලවය.

ධර්මය අත්දැකීමක් කර ගන්න

“විඤ්ඤූපුරිස” යනුවෙන් හැඳීන් වෙන තැනැත්තාගේ ස්වභාවය කවරේදැයි බුද්ධ දේශනා ඇසුරෙන් විමසා බැලීම වැදගත් වේ. මේ අනුව විඤ්ඤූ පුරිස යනුවෙන් හැඳීන්වෙන්නේ කපටි නොවන, දැනගනු රිසියෙන්ම දහම් අසන, විවෘත හා අව්‍යාජ මනසික් යුක්ත ඍජු ආකල්පයෙන් හෙවත් දෙගිඩියාවෙන් තොර පුද්ගලයා ය. දහම ඇසීමට බුදුරදුන් ආරාධනා කරන්නේ එබඳු විඤ්ඤූ පුරුෂයන්ට ය. වේඛනස්ස සූත්‍රයේ දැක්වෙන විඤ්ඤූ පුරුෂයා පිළිබඳ නිර්වචනය ධර්ම දේශනා කරන්නාට මෙන්ම අසන්නාට ද බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ධර්මය අසන්නා තුළ මෙන්ම ධර්මය දේශනා කරන්නා තුළ ද මමායාව හා කපටිකම ආදි දුර්වලතා පැවතිය හැකි ය. ධර්ම දෙසූ පමණින් හෝ අධ්‍යනය කළ පමණින් කෙනෙකු යහපත් අයෙකු වන්නේ නැත. දහම ඇසීමෙන් ලත් දැනුම නුවණින් ක්‍රියාවට නැගීමෙන් එය තමාගේ අත්දැකීමක් බවට පත්කරගත් තැනැත්තා සාකල්‍යයෙන්ම යහපත් අයෙකු ලෙස පිළිගැනේ. ඒ අනුව ධර්මය පිළිබඳ දැනුම එකකි. එය අවබෝධකර ගැනීම අනිකකි. ධර්මය අවබෝධකරගැනීමට නම් එය ඇසිය යුතුවේ. එබැවින් ධර්මය ඇසීම මෙන්ම අධ්‍යනය කිරීම අවබෝධය සඳහා අනිවාර්ය පූර්ව අවශ්‍යතාවක් වේ. ඒ හෙයින් ධර්මය අධ්‍යනය කිරීම මෙන්ම එය අන් අයට ඉගැන්වීමත් සසුන් පිළිවෙතට අයත් අනිවාර්ය වගකීමක් වේ. එම වගකීම ගිහි පැවිදි දෙපක්‍ෂයටම පොදු ය. එහෙත් එසේ හැදෑරූ ඇසූ අධ්‍යයනය කළ දහම ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අවබෝධ කරගෙන අත්දැකීමක් බවට පත්කර ගන්නා තාක් එය දැනුමට පමණක් සීමා වේ. වර්තමානයේ බහුලව පවතිත තත්ත්වය එය වේ.

පව් සැඟවීම

පිටක ග්‍රන්ථවල අකුසල සහගත මනෝ භාවයන් විවිධ නාමාවලි යටතේ වර්ගකොට දක්වා තිබේ. ඒ අතරින් සඨ හා මායා යන කෙලෙස් ධර්ම දෙක එක්ව ක්‍රියාත්මක වන අකුසල සහගත චිත්තවේග ගණයට අයත් වේ. එබැවින් එම අකුසල චිත්තවේග දෙක “මායා ච සාඨෙය්‍යංච” යනුවෙන් සඳහන් වේ. මායා යනු පව්කම් කොට ඒවා සඟවන ස්වභාවයයි. මායා අකුසල ධර්මයේ බලපෑම නිසා කෙනෙකු අප්‍රකට ව නන්වැදෑරුම් වැරදි කරමින් යහපත් අයෙකු ලෙස පෙනීසිටීම උත්සුක වේ. එවැනි පුද්ගලයන්ට බොහෝ දෙනෙකු රැවටේ. යමෙකු ලාභ ප්‍රයෝජන ආදි විවිධ දෑ අපේක්‍ෂාවෙන් නැති ගුණ ඇති ලෙස හැඟවීමට උත්සුක වන්නේ සාඨෙය්‍ය නම් අකුසල චිත්තවේගය නිසයි. කපටි තැනැත්තා ධර්මය අසන්නේ විමුක්තිය අරමුණු කරගෙන නොවේ. ඔහුගේ අරමුණ හා අපේක්‍ෂාව වෙනත් දෙයකි. ඇතැමෙක් තමාගේ සැබෑ අතීතය අන්‍යයන්ගෙන් සැගවීම පිණිස ධර්මයට සවන් යොමුකරති. එසේ නැතහොත් විවිධ ලාභ ප්‍රයෝජන අපේක්‍ෂාවෙන් දහමට සවන් යොමුකරයි.

අවංක වීම

කෙනෙකු තමා අවංක සැදැහවත් අයෙකැයි අන්‍යයන්ට හැඟවීම උදෙසා දහමට සවන් යොමුකරයි. ධර්මය දැනගැනීම හෝ අවබෝධ කරගැනීම ඔහුගේ හෝ ඇයගේ අරමුණ නොවේ. මෙවැනි ගති ලක්‍ෂණ තිබෙන පුද්ගලයන් කොතෙකුත් දක්නට ලැබේ. විවෘත මනසින් තොරව ව්‍යාජ අරමුණු මත පිහිටා ධර්මයට සවන්දෙන අය ද වෙති. ධර්මයේ හෝ දේශකයාගේ සිදුරු සොයන අරමුණින් කටයුතු කරන අයද දක්නට ලැබේ. මේ සියල්ලෙන්ම පෙන්වා දෙන්නේ වංක හා ව්‍යාජ සිතින් ධර්මයට සවන් යොමුකරන පුද්ගලයන් සිටින බවයි. ඉහතින් දැක්වූ පරිදි විඤ්ඤූ පුද්ගලයා ධර්මයට සවන් යොමු කරන්නේ සාතිශය ශ්‍රද්ධාධ්‍යාසයෙනි. විමුක්තිය සාධනය කිරීම ඔහුගේ හෝ ඇයගේ ඒකායන ප්‍රාර්ථනාව වේ. එබැවින් එම තැනැත්තා කලින් කලට ධර්මය ඇසීමත් ධර්මය සාකච්ඡා කිරීමත් (කාලෙන ධම්ම සාකච්ඡා) සිදුකරන අතර නිතර නිතර ධර්මය මෙනෙහි කරමින් වාසය කරයි.

ධර්මය වටහා ගත හැකි අය

මෙසේ අවංකව ධර්මයට සවන් යොමු කරන විඤ්ඤූ පුරුෂයාගේ ක්‍රියාකාරිත්වය ද පිටක ග්‍රන්ථවල දක්නට ලැබේ. ධම්ම පදයේ දැක්වෙන පරිදි විඤ්ඤූ පුද්ගලයා මොහොතක් වුව ධර්මය දැන උගත් පණ්ඩිතයන් ඇසුරු කරන්නේ නම් ව්‍යඤ්ජන රස දැනගන්නා දිව මෙන් වහා වහා ධර්මය අවබෝධ කරගනී. මෙයින් පැහැදිලි වන්නේ අවංකව ධර්මයට සවන් යොමුකරන විඤ්ඤූ පුද්ගලයාට වහා ධර්මය වටහාගැනීමේ ඇති හැකියාවයි. විඤ්ඤූ පුරුෂයා නිරන්තරයෙන්ම නිදහස් මෙන්ම බැදීම් රහිත ජීවිතයකට රුචි කරන්නෙකි. වනයෙහි වෙසෙන තිත් මුවෙකු බන්ධනයට අසුනොවී සිටින තාක් ඌට රිසි සේ ගොදුරු සොයා ඔබමොබ ගමන් කළ හැකි ය. කැමැති තැනක වාසය කළ හැකි ය. එමෙන් විඤ්ඤූ පුරුෂයා ද ස්වාධීනත්වය අපේක්‍ෂා කරන්නෙකි. විවිධ බැඳීම් නිසා සසර ගමන තව දුරටත් දීර්ඝ වේ. මෙම බැදීම්වල යථා ස්වභාවය දකින විඤ්ඤූ පුරුෂයා ඒවා ක්‍රමයෙන් අවම කරගනිමින් විමුක්තිය උදෙසා කැපවෙයි.

විඤ්ඤූ පසත්ත යන පාලි යෙදුම අනුව ලොව යහපත් දෑ සියල්ල විඤ්ඤූ පුරුෂයාගේ ඇගයුමට ලක්වන අතර අයහපත් දෑ සියල්ල ගැරහුමට ලක්වේ. මේ අනුව විඤ්ඤූ පුරුෂයෙකුට හොඳ නරක යහපත අයහපත පිළිබඳ මනා අවබෝධයක් තිබේ. යමක් හොඳයැයි හෝ නරක යැයි නිගමනය කිරීමට එම තැනැත්තාට ඒ සම්බන්ධයෙන් ප්‍රමාණික දැනුමක් අවශ්‍ය වේ. ඒ අනුව විඤ්ඤූ පුරුෂයා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය බැහැර කළ අයෙකු ලෙස නම්කළ හැකි ය. ධර්මය ණැනවතුන් උදෙසා ය. යථෝක්ත පිටකාගත සාධක මගින් තහවුරු වන්නේ විඤ්ඤූ පුරුෂ යනු අවංක, විවෘත හා ඍජු ගතිලක්‍ෂණ සහිත නිදහස් නැණවතෙකි. එසේම වහා වැටහෙන නුවණින් යුත් ස්වාධීන අයෙකු වන විඤ්ඤූ පුරුෂයා සදාචාරමත් අයෙකි. අවංක අධ්‍යාසයෙන් යුතුව ධර්මයට සවන්දෙන විඤ්ඤූ පුරුෂයාට නොබෝ දිනකින් ම විමුක්තිය දැන දැක සාක්‍ෂාත් කළ හැකි වේ. බුදුරදුන්ගේ ආරාධනය එවැනි අවංක නැණවතුන්ට ය.

   පොසොන් පුර අටවක පෝය 

  පොසොන් පුර අටවක පෝය මැයි 29 සිකුරාදා අපර භාග 9.55න් පුර අටවක ලබා 30 සෙනසුරාදා අපර භාග 07.57 න් ගෙවේ . සෙනසුරාදා සිල්.

මීළඟ පෝය 05 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසළොස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]