[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුගති රැකවරණය සලසන මව්පිය උපස්ථානය

සුගති රැකවරණය සලසන මව්පිය උපස්ථානය

අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ දේශනා ‍කොට වදාළා අම්මා,තාත්තා කියන්නේ මේ ලෝකයේ සිටින විශේෂ වූ ගුණ ධර්මයන්ගෙන් යුතු දරුවන්ට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් අනුග්‍රහ කරන විශේෂ ගුණ දරන උතුමන් දෙදෙනෙක් කියලා.

ඒ වගේම දූ දරුවන්ට මුලින්ම ජීවිතයේ ගුණ ධර්ම කියා දෙන්නෙත් අම්මා, තාත්තා. යහපත, අයහපත, පින, පව ඒ වගේ ම ජීවිතයේ කළයුතු, නො කළයුතු දේ මුලින් ම කියා දෙන්නේ අම්මා, තාත්තා යි. ඒ නිසා ජීවිතේ මුල් ම ගුරුවරු වන්නේ අම්මා සහ තාත්තා යි. දරුවන්ට මෙත් සිතින් අනුකම්පා කරන ඒ මව්පියන් මොනතරම් දුරක සිටියත් සොයාගෙන ‍ගොස් ඇප උපස්ථාන කරන්න, සලකන්න, සත්කාර කරන්න සුදුසුයි යනුවෙන් දේශනා කොට වදාළා.

අද අප ඉගෙන ගන්නා සූත්‍ර දේශනාව වන්නේ අංගුත්තර නිකාය දෙවැනි පොත් වහන්සේ‍ගේ ඇතුළත් වන දුතිය ඛත සූත්‍රය යි. ( ගුණ සාරා ගැනීම වදාළ දෙවැනි දෙසුම) මෙම දේශනාවේ සඳහන් වෙන්නේ මව්පියන් කෙරෙහි යහපත් ලෙස පිළිපැදීමේ ආනිශංසත්, ඔවුන් කෙරෙහි අයහපත් ලෙස පිළිපැදීමේ ආදීනවත් භාග්‍යවතුන් වහන්සේ විස්තර කර දෙන ආකාරය යි. ඒ වගේ ම මේ දේශනාවේ තවදුරටත් සඳහන් වෙනවා මේ ‍ලෝක ධාතුවේ සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාණ දර්ශනයෙන් අග්‍ර පුද්ගල රත්නය වන්නේ දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ අප බුදුරජාණන් වහන්සේ යි. උන්වහන්සේ කෙරෙහි යම් ආකාරයට යහපත්ව පිළිපැද්දොත් එහි ආනිශංසත්, භාග්‍යවතුන් වහන්සේ‍ කෙරෙහි සිත දූෂිත කර ගත්තොත් එහි ආදීනවත් ය. ඒ වගේම මේ ලෝකයේ පිරිසක් ලෙස ගත් විට, භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝරත්නය තමයි ඒ සියලු පිරිස් අතර ගුණයෙන්, සීලයෙන් අග්‍ර වන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ‍ගේ ශ්‍රාවක සංඝ රත්නය උදෙසා, රහතන් වහන්සේ ප්‍රමුඛ මාර්ගඵල උතුමන් වහන්සේ වූ ඒ ආර්ය සංඝ රත්නය උදෙසා යහපත් ආකාරයෙන් පිළිපදින විට ලැබෙන ආනිශංසත්, අයහපත් ආකාරයෙන් කටයුතු කරනවිට ලැබෙන ආදීනවත් මේ සූත්‍ර දේශනාවේ මනාකොට විස්තර කර තිබෙනවා.

මහණෙනි සතර දෙනෙකු කෙරෙහි වැරදි ලෙස පිළිපන් බාල වූ, අව්‍යක්ත වූ අසද්පුරුෂයා සාරා ගත් ගුණ ඇති ව, වනසා ගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. දොස් සහිත වූයේ වෙයි. නැණවතුනට දොස් සහිත වූවෙක් ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි. ඒ කවර සතර දෙනෙකු කෙරෙහි ද යත්,

1. මහණෙනි, තම මව් කෙරෙහි වැරදි ලෙස පිළිපන් බාල වූ, අව්‍යක්ත වූ අසත්පුරුෂයා සාරා ගත් ගුණ ඇති ව වනසා ගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. දොස් සහිත වූයේ වෙයි. නැණවතුනට දොස් සහිත වූවෙක් ද වෙයි. බොහෝ පව් රැස්කරයි.

2. මහණෙනි, තම පියා කෙරෙහි වැරදි ලෙස පිළිපන් බාල වූ, අව්‍යක්ත වූ අසත්පුරුෂයා සාරා ගත් ගුණ ඇති ව, වනසා ගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. ‍ දොස් සහිත වූ‍යේ වෙයි. නැණවතුනට දොස් සහිත වූ‍වෙක් වෙයි. බොහෝ පව් රැස් කරයි.

3. මහණෙනි, තථාගතයන් වහන්සේ කෙරෙහි වැරදි ලෙස පිළිපන්’ බාල වූ, අව්‍යක්ත වූ අසත්පුරුෂයා සාරාගත් ගුණ ඇතිව, වනසා ගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. දොස් සහිත වූයේ වෙයි. නැණවතුනට දොස් සහිත වූවෙක් වෙයි. බොහෝ පව් රැස් කරයි.

4. මහණෙනි, තථාගත ශ්‍රාවකයා කෙරෙහි වැරදි ලෙස පිළිපන් බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂයා සාරා ගත් ගුණ ඇතිව වනසා ගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. දොස් සහිත වූයේ වෙයි. නැණවතුනට දොස් සහිත වූවෙක් වෙයි. බොහෝ පව් රැස් කරයි.

මහණෙනි, මේ සතර දෙනා කෙරෙහි වැරදි ලෙස පිළිපන් බාල වූ, අව්‍යක්ත වූ අසත්පුරුෂයා සාරාගත් ගුණ ඇති ව, වනසා ගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. දොස් සහිත වූයේ වෙයි. නැණවතුනට දොස් සහිත වූවෙක් ද වෙයි. බොහෝ පව් රැස් කරයි.

මහ‍ණෙනි, සතර දෙනෙකු කෙරෙහි යහපත් පිළිපන් නුවණැති, ව්‍යක්ත වූ සත්පුරුෂයා සාරා නො ගත් ගුණ ඇති ව, වනසා නො ගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. නිදොස් වූයේ වෙයි. නැණවතුනට දොස් රහිත වූවෙක් වෙයි. බොහෝ පින් ද රැස් කරයි. ඒ කවර සතර දෙනෙකු කෙරෙහිද යත්,

මහණෙනි, තම මව් කෙරෙහි යහපත් පිළිපන් නුවණැති, ව්‍යක්ත වූ, සත්පුරුෂයා සාරා නො ගත් ගුණ ඇති ව, වනසා නොගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. නිදොස් වූයේ වෙයි. නැණවතුවට දොස් රහිත වූවෙක්ද වෙයි. බොහෝ පින් රැස් කරයි.

මහණෙනි, තම පියා කෙරෙහි යහපත් පිළිපන් නුවණැති, ව්‍යක්ත වූ, සත්පුරුෂයා සාරා නො ගත් ගුණ ඇති ව, වනසා නො ගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. නිදොස් වූයේ වෙයි. නැණවතුනට දොස් රහිත වූවෙක් ද වෙයි. බොහෝ පින් රැස් කරයි.

මහණෙනි, තථාගතයන් වහන්සේ කෙරෙහි යහපත් ලෙස පිළිපන් , නුවණැති, ව්‍යක්ත වූ සත්පුරුෂයා සාරා නො ගත් ගුණ ඇති ව, වනසා නො ගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. නිදොස් වූයේ වෙයි. නැණවතුනට දොස් රහිත වූවෙක් වෙයි. බොහෝ පින් රැස් කරයි.

මහණෙනි, තථාගත ශ්‍රාවකයා කෙරෙහි යහපත් ලෙස පිළිවන් නුවණැති, ව්‍යක්ත වූ සත්පුරුෂයා සාරා නො ගත් ගුණ ඇති ව, වනසා නො ගත් ගුණ ඇති ජීවිතයක් පරිහණය කරයි. නිදොස් වූයේ වෙයි. නැණවතුනට දොස් රහිත වූවෙක් වෙයි. බොහෝ පින් රැස් කරයි.

මහණෙනි, මේ සතර දෙනා කෙරෙහි යහපත් ලෙස පිළිපන් නුවණැති, ව්‍යක්ත වූ, සත්පුරුෂයා සාරා නො ගත් ගුණ ඇති ව, වනසා නො ගත් ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. නිදොස් වූයේ වෙයි. නැණවතුනට දොස් රහිත වූවෙක් ද වෙයි. බොහෝ පින් ද රැස් කරයි.

මේ දේශනාව මේ ආකාරයෙන් දේශනා කළ අපගේ ශාස්තෘන් වහන්සේ මෙම දේශනාවේ සඳහන් කරුණු ගාථා කිහිපයකින් යළිත් තහවුරු කරමින්, කැටි කරමින් මේ ආකාරයටද වදාළා.

යමෙක් තම මව් කෙරෙහි ද, තමා පියා කෙරෙහි ද වරදවා පිළිපන්නේ නම්, සම්බුද්ධත්වයට පත් තථාගතයන් වහන්සේ කෙරෙහි ද, තථාගත ශ්‍රාවකයා කෙරෙහි ද වරදවා පිළිපන්නේ නම්, එබඳු වූ මනුෂ්‍යයා බොහෝ පව් රැස් කර ගන්නේ ය.

මව්පිය ආදීන් කෙරෙහි කළ ඒ අධර්ම චර්යාව හේතුවෙන් නැණවත්හු ඔහුට මෙලොව දී ම ගරහති. මෙයින් චුත වූ විට අපායේ උපදියි.

යමෙක් මව් කෙරෙහි ද, තමා පියා කෙරෙහි ද යහපත් ලෙස පිළිපන්නේ නම්, සම්බුද්ධත්වයට පත් තථාගතයන් වහන්සේ කෙරෙහි ද, තථාගත ශ්‍රාවකයා කෙරෙහි ද යහපත් ලෙස පිළිපන්නේ නම්, එබඳු වූ මනුෂ්‍යයා බොහෝ පින් රැස් කර ගන්නේ ය.

මව්පිය ආදීන් කෙරෙහි කළ ඒ ධර්ම චර්යාව හේතුවෙන් නැණවත්හු ඔහුට මෙලොව දී ම ප්‍රශංසා කරති. මෙයින් චුත වූ විට සුගතියෙහි ඉපිද සතුටු වෙයි.

එනිසා අපි මහත් ගුණ දරන අප‍ගේ මව්පියන්ට ඉතාම මෙත්සිතින් ගෞරවයෙන් ඇප උපකාර කරමු. ඒ වගේ ම අසහාය ශාස්තෘන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ වශයෙන් සිත පහදවාගෙනත්, ඒ ශ්‍රාවක සංඝරත්නයේ ගුණ හඳුනාගෙන සංඝරත්නය කෙරෙහි පිළිපදින්නටත් අපි මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරුණු උපකාර කර ගනිමු.

   පොසොන් පුර අටවක පෝය 

  පොසොන් පුර අටවක පෝය මැයි 29 සිකුරාදා අපර භාග 9.55න් පුර අටවක ලබා 30 සෙනසුරාදා අපර භාග 07.57 න් ගෙවේ . සෙනසුරාදා සිල්.

මීළඟ පෝය 05 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසළොස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]