සමාජයක් සුවපත් කරන
ධම්මපදය
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි
ගාථා දහසක් පාඩමින් පැවසුවත් එක හරවත් දෙයක් ක්‍රියාවේ නො යොදවන්නේ නම් ඔහුගේ ඒ
දැනුම නිෂ්ප්‍රයෝජන ය.
ධම්මපදය ළමා, තරුණ, මහලු සියලු දෙනාම තම ජීවිතය ජය ගැනීමට නිතැතින් ම ඇසුරු කළ යුතු
ධර්ම ග්‍රන්ථයකි. ලොව භාෂා ගණනාවකට මෙය පරිවර්තනය වී ඇත්තේ ද මෙහි පවත්නා අධික
වටිනාකම නිසා ය.
සමාජයක් සුවපත් කිරීමට අවශ්‍ය බෞද්ධ සාරධර්ම ග්‍රන්ථය පුරා ඇති සාරධර්ම යනු චර්යා
ධර්ම පද්ධතියයි. එනම් පුද්ගල හැසිරීම පැවැත්විය යුතු ආකාරයයි. පුද්ගල ස්වභාවයයි.
උසස් මනසක් හිමි, මනුෂ්‍ය ආත්මයක් හිමි පුද්ගලයින් හැසිරිය යුතු ආකාරය මෙයින්
අර්ථවත් වෙයි. එහෙත් ලෝකයට මනුෂ්‍යයකු ලෙස උපන් පුද්ගලයින් මනුෂ්‍ය ස්වභාවයට
නොගැලපෙන ක්‍රියාවලම යෙදෙන බැවින් මනුෂ්‍යයා හැසිරිය යුතු ආකාරය නැවත නැවතත් පෙන්වා
දීමට සිදුව ඇත. මහලු නිවාස, ළමා නිවාස ඇතිවීම, මුසාවෙන් ම ජීවත්වීම, ධනය විනාශවන,
පවුල් ජීවිත විනාශවන, රෝගවලට ගොදුරු වන සුරාවට ඇබ්බැහිවීම, වංචනික ක්‍රියාවලින්
පිරී පැවතීම, හොරකම රජකරවීම වැනි සිදුවීම් ප්‍රසිද්ධ ව සහ අප්‍රසිද්ධ ව බහුල ව සමාජ
ගතව තිබීම නිදසුන් කිහිපයක් පමණි. එබැවින් මෙවැනි ධර්ම කරුණු හෙවත් සාරධර්ම මෙහි
සාකච්ඡා කෙරේ.
දරුවන්ට දිය හැකි
උතුම් දායාදයකි
ධම්මපදයේ ගාථා හාරසිය විසිතුනක් ඇති අතර ඒවා වර්ග විසිහයක් යටතේ දක්වයි. පින සහ පව,
පුද්ගලයාගේ දියුණුව පිණිස අප්‍රමාදී බව යොදා ගන්නා ආකාරය, සිතේ ස්වභාවය, ජීවිත මල්
මෙන් පිරිසිදු විය යුතු බව, මෝඩගතිය හෙවත් අඥාන බව මඟහරවා ගන්නා ආකාරය,
ප්‍රඥාවන්තයා ක්‍රියා කරන ආකාරය සහ ක්‍රියා කළ යුතු ආකාරය, පූජනීය බවට පාත්‍රවීමට
කළ යුතු කටයුතු, දහස නමැති උපමාව ගෙන ජීවිතය සකස්විය යුතු ආකාරය පෙන්වාදීම, පව්
කවරේද එයින් වැළකෙන්නේ කෙසේද යන්න විසඳාදීම, වැරැදි ක්‍රියා කළ පසු මෙලොව සහ පරලොව
ලැබෙන දඬුවම්, මහලු බව ගත කළ යුතු ආකාරය සහ මහලු වියේදී කළ යුතු කටයුතු, තමාගේ
ආත්මය ජය ගන්නා ආකාරය, ලෝකය දැකිය යුතු ආකාරය, බුදුන් වහන්සේලාගේ ඇසුර ලබා ගනිමින්
ජීවිතය ජයගත යුතු ආකාරය, සැප ලැබීම සහ භුක්ති විඳිය යුතු ආකාරය, චිත්ත සන්තුෂ්ටිය
ඇති කරගැනීම සහ පවත්වා ගැනීම සිදු කළ යුතු ආකාරය, ක්‍රෝධය පාලනය කළ යුතු ආකාරය,
විවිධ ධර්ම කරුණු අවබෝධ කර ගැනීම, ඇතා උපමා කර ගනිමින් ජීවිතය දිනීමට ධර්මාවවාද
ලබාදීම, භික්ෂූන් වහන්සේලාගේ ජීවිත ජය ගැනීමට ධර්මාවවාද ලබාදීම, බමුණන් යනු උතුම්
ගුණවලින් පිරි මිනිසුන් බව පෙන්වා දීම යන කරුණු ධම්මපදයෙන් සාකච්ඡා කෙරේ. ජීවිතය
දිනීමටත්, සමාජය සාරධර්මවලින් පොහොසත් කිරීමටත්, අනාගතය සුබදායි කිරීමටත් අදාළ ධර්ම
කරුණුවලින් ලැබෙන සහාය අප්‍රමාණ ය. එබැවින් ඒවා අනාගතය ජය ගැනීමට සැරසෙන තම දරුවන්ට
දායාද කිරීම මව්පියන්ගේ වගකීම ද, යුතුකම ද වෙයි. සාරධර්ම අපමණ ව ග්‍රන්ථයේ ඇතුළත්
බැවින් කිහිපයක් පමණක් සාකච්ඡා කෙරෙනු ඇත. වැඩිදුරටත් අධ්‍යයනය කිරීම සහ දරුවන්ට
ලබාදීමට කටයුතු සැලසීම බෞද්ධ වැඩිහිටි සැමගේ යුතුකම වෙයි.
නිසි ප්‍රයෝජනයට
ක්‍රියාවේ යෙදවීම
එක් අවස්ථාවක තමා උපමාවට ගනිමින් අන් අයට හිංසා පීඩා නොකරන ලෙස දණ්ඩ වග්ගයේ දී කුඩා
ළමයින් පිරිසක් අරබයා බුදුන් වහන්සේ (සබ්බේ තසන්ති දණ්ඩස්ස-සබ්බේ භායන්ති මච්චුනො,
අත්තානං උපමං කත්වා නහන්‍යෙය න ඝාතයෙ) යනුවෙන් දේශනා කළහ. මෙම දහම් පදය පමණක්
මෙලොව සහ පරලොව ජය ගැනීමට ප්‍රමාණවත් ය. නිසි ප්‍රයෝජන ගැනීමට නම් එය ක්‍රියාවේ
යෙදවිය යුතු ය. තමා උපමා කරගෙන කටයුතු කරන්නේ නම් තමාට වේදනාව දැනෙන බැවින් සතුන්
නොමරයි, තමා සතු දෙයක් අන් අයෙකු ගත් විට තමාට වේදනාවක් දුකක් දැනෙන බැවින් අන්සතු
දෙය ද නො ගනියි, තමාගේ පංචකාම වස්තු අන් අය භුක්ති විඳින විට වේදනාව දැනෙන බැවින්
පස්කම් සැපද අයතා ලෙස භුක්ති නො විදියි, මුසා පවසා තමා මුලාවට පත් කරන බැවින් අන්
අය ද එලෙසම වේදනාවට අපහසුවට පත්වන බව සිතා එලෙස නො කරයි, රහමෙර පානය කිරීම ද එලෙසම
වෙයි. ගාථා දහසක් පාඩමින් පැවසුවත් එක හරවත් දෙයක් ක්‍රියාවේ නො යොදවන්නේ නම් ඔහුගේ
ඒ දැනුම නිෂ්ප්‍රයෝජන ය. මෙවැනි ගාථා සමූහයක් සහස්ස වග්ගයේ ඇත.
හැසිරීම් හැසිරවීම
දැනුම පිරුණු මහඋගතුන් තම මව්පියන් සත්ත්ව කූඩුවලට හෝ වෙනම සැකසූ කුඩා කාමරවලට දමා
සතුන්ට මෙන් සලකන අවස්ථා නූතන සමාජයේ දකින්නට ලැබෙයි. එයින් පෙනෙන්නේ ධම්මපදයේ
දේශනා කාලීනව උචිත වන බවයි. බුදු දහම බුදුන් දවසට පමණක් සීමා වූවක් නොවෙයි. ලොව
පවත්නාතාක් කල් ලොවට සේවය කරන මහත් වූ සැනසීමක්, ශාන්තියක් ගෙන දෙන දහමකි. දරුවන්
සහ දෙමාපියන් අතර, ගුරුවරුන් සහ ශිෂ්‍යයින් අතර, ස්වාමියා සහ භාර්යාව අතර, ස්වාමියා
හා සේවකයන් අතර යනාදි ලෙසින් සමාජයේ විවිධ පිරිස් අතර විවිධ හේතුවලින් උපදින වෛරය,
වෛරයෙන් නො සංසිඳෙන බව ද එයට නිසි පිළිතුර අවෛරය හෙවත් මෛත්‍රිය බව ද යමක වග්ගයේ දී
පෙන්වා දී ඇත. දෙමාපියන්ට සැලකීම, අලස නොවී කටයුතුවල යෙදීම, කය සහ වචනය සංවර කර
ගැනීම, පින සහ පව හොඳින් හදුනාගෙන කටයුතු කිරීම, පසුතැවිලි නොවීම, ධාර්මික වීම,
සත්‍යවාදීවීම, ඉවසීම, පමණ දැන ආහාර ගැනීම, අල්පේච්ඡතාව ඇතිකර ගැනීම වැනි සාරධර්ම
විශාල ප්‍රමාණයක් වග්ගවල අන්තර්ගත ව ඇත.
හෙට යහපතට -
අද වගකීම
ධම්මපදයේ ධර්ම කරුණු අනුව පුද්ගලයෙකු තම ජීවිතය සකසා ගන්නේ නම් ඔහුගේ මෙලොව සහ
පරලොව ජීවිත සාර්ථක වනු ඇත. සමාජය සුවපත් වනු ඇත. එබැවින් සාරධර්මවලින් පිරිපුන්
සමාජයක් බිහිකිරීමට ධම්මපදය තම දරුවන්ට කුඩා අවධියේ සිට ම බෞද්ධයාගේ අත්පොත ලෙසින්
භාවිත කිරීමට හුරුකරවීමෙන් සමස්ත ලෝකයම සුවපත් කරවීමේ භාග්‍ය උදාවනු ඇත. ඒ වගකීම
දෙමාපියන්ට මෙන් ම ආච්චි අම්මාටත්, සීයාටත්, වැඩිහිටි සහෝදර සහෝදරියන්ටත්, වැඩිහිටි
ඥාතීන්ටත්, අසල්වැසියන්ටත්, දැනඋගත් පිරිසටත් පැවරී ඇත. උපන්දින සැමරුම් අවස්ථාවල
දී සහ දරුවන්ගේ ජීවිතයේ සුවිශේෂ සිදුවීම් යෙදෙන අවස්ථාවල දී ඔවුන්ට ධම්මපදයක්
පිරිනැමීම වැනි ක්‍රියාවලින් සහ නිදහස් අවස්ථාවල කතාපුවත් පවසා ආදර්ශ පහදා දීමෙන් ද
මේ කාර්යයට සහාය විය හැකි ය. අද දවසේ වගකීම හෙට දවසේ යහපත, සැපය සහ චිත්ත
සන්තුෂ්ටිය පිණිස හේතු වනු ඇත. නූතනයේ සරල සිංහල බසින් සංස්කරණය වූ ධම්මපද ග්‍රන්ථ
වෙළඳපොළේ සුලබව ඇති අතර ධම්මපදය ගැන නො දන්නා බෞද්ධයකු නැති තරම් ය. |