[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 58 වැනි වරටත් 4, 5, 6 මිහින්තලා පුදබිමේ දී,

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 58 වැනි වරටත් 4, 5, 6 මිහින්තලා පුදබිමේ දී,

මිහින්තලා ලේක් හවුස් අලෝක පූජාව සමග ජාතික පොසොන් පින්කම තෛ‍්‍ර නිකායික මහා නායක නාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් ලබන 2 වනදා සිට 8 වනදා දක්වා මිහින්තලා පුද බිමේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණෝ පවසති. තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ හා උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ජාතික පොසොන් උත්සවයෙහි කටයුතු සම්බන්ධීකරණය කෙරේ.

ජාතික පොසොන් පින්කම පිළිබඳව කරුණු පැහැදිලි කරමින් උන් වහන්සේ වැඩි දුරටත් මෙසේ ද කීහ.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කර වසර 2328 ක් සපිරීම නිමිති කරගෙන මෙවර ජාතික පොසොන් මහා පින්කම මිහින්තලා රජ මහා විහාරස්ථානය මුල් කර ගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය බුද්ධශාසන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ,ඇතුළු රාජ්‍ය හා පුද්ගලික ආයතන එක්ව සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම පින්කම සදහා ලේක් හවුස් ආයතනය 58 වැනි වරටත් මිහින්තලා ලේක්හවුස් අලෝක පූජාව, විදුලි බල මණ්ඩලය සමඟ එක්ව පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.මෙම උතුම් පින්කම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව ,නාවික හමුදාව ,ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක සේවා,ජාතික රූපවාහිනිය,පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ,මිහින්තලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ස්වේච්ඡා සංවිධාන ,රාජ්‍ය බැංකු ,දෙපාර්තමේන්තු, මණ්ඩල,බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන විශාල දායකත්වයක් ලබා දෙන බවත් කියන්නට ඕනෑ.

පොසොන් සතිය ජුනි මස 02 දින සිට 08 වන දින දක්වා පැවැත්වෙනවා. සෞඛ්‍ය අංශවල සහ ආරක්ෂක අංශවල උපදෙස් පරිදි තමයි පැවැත්වීමට තීරණය කර තිබෙන්නේ. මෙවර කොරෝනා වසංගතය නිසා මේ තීරණය ගෙන තිබෙනවා.

ලබන ජුනි මස 04 වන දින ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සහ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ උදෙසා බුද්ධ පූජා , ගිලන් පස පූජාවන් දිනය පුරාම පැවැත්වෙනවා. එදින සවස් යාමයේ දී උතුම් අෂ්ඨඵල බෝධීන් වහන්සේ අභියස සිට බෝධි පූජා පින්කමක් පැවැත්වෙනවා. අපේ රටේ සහ ලෝකයේම මේ වසංගතයට ගොදුරු වී සිටින සියලුම දෙනා හට ආශීර්වාද කිරීම ඉන් බලාපොරොත්තු වනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සම්ප්‍රාප්තියත් සමග එදින සවස් යාමයෙ ්දී දහම් හමුවක් පවත්වා ලේක්හවුස් ආයතනය හා විදුලි බල මණ්ඩලය එක්ව මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව විවෘත කරමින් මිහින්තලා පුද බිම ඒකාලෝක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කර වසර 2328 ක් සපිරෙන පොසොන් මහා පින්කම සමග 05 වන දින උදෑසන කෘතවේදී පින්කම් රැසක්ම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. දාන ,සීල,භාවනා,ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා,පැවැත්වීමටත් එම පින්කම් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විසුරුවා හැරීමටත් කටයුතු යොදා තිබෙනවා.


මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ
ධම්මරතන නා හිමි

එදින සවස 5.00 ට ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සිදු වීමට නියමිත අතර,ඉන් පසු තෛ‍්‍ර නිකායික මහා නාහිමි පාණන් වහන්සේලා වැඩම කිරීමටත් ,ඉන් අනතුරුව අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේගේ පිළිරුවට පුෂ්පෝපහාර පැවැත්වීමටත් ,සංවිධානය කර තිබෙනවා. සියලුම ආරාධිත අමුත්තන් ඇතුළු මහා නාහිමිපාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමට ද නියමිතයි. ලෝක පරිසර දිනයත් මෙවර පොසොන් පොහොය දිනටම යෙදී තිබෙන නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මිහින්තලා පුද බිමේ දී සල් පැළයක් රෝපණය කිරීම සිදු කිරීමට නියමිතයි. මහා නාහිමි පාණන් වහන්සේලා ප්‍රමුඛ ජනාධිපතිතුමා විසින් සමරු මුද්දරයක් නිකුත් කිරීමටත් ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික පොසොන් පණිවිඩය නිකුත් කිරීමටත් නියමිත වනවා. ඉන් පසු මහා නාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ ජනාධිපතිතුමා විසින් ලේක් හවුස් ආලෝක පූජාව විවෘත කරමින් මිහින්තලා පුද බිම ඒකාලෝක කරනවා.

මෙදින රාත්‍රී සිට පසු දින අලුයම දක්වා රතන සුත්‍රය දේශනා කරවීමට කටයුතු යොදා තිබෙන අතර,ඒ රතන සුත්‍රයේ පිහිට ආරක්ෂාව ලැබ රටවාසී සියලු දෙනාම, ලෝක වාසී සියලු දෙනාම මේ උවදුරින් බේරා දෙන්න කියලා ආශීර්වාද කරනවා. මෙම රතන සූත්‍ර දේශනාව ධාතු මන්දිරයේ සිට පැවැත්වීටත් කටයුතු යොදා තිබෙනවා.

ජුනි මස 06 වන දින උදෑසන පුජා පවත්වා රතන සූත්‍රය දේශනා කළ මහා සංඝ රත්නය උදෙසා හීල් දානය පිරි නමා දවල් මහා සාංඝික දානයක් පිරි නැමීමටත් කටයුතු සුදානම් කර තිබෙනවා. එදින සවස් යාමයේදී අනුරාධපුර මහ දිසාපති වන්නිනායක මහතා ඇතුලු ,උදව් උපකාර කළ රාජ්‍ය සහ පුද්ගලික ආයතනවල ප්‍රධානීන් සමඟ මිහින්තලා ලේක් හවුස් ආලෝක පූජාව විවෘත කර මිහින්තලා පුද බිම ඒකාලෝක කිරීම සිදු වනවා.

ලංකාවාසී සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. දුරස්ථ භාවය රැක ගෙන සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වල උපදෙස් පිළිපැදීමට අප සියලු දෙනාම එක්ව කටයුතු කරමු කියලා. බොහොම සංවරව විනයක් ඇතිව පොසොන් පින්කම් සිදු කිරීමට සියලු දෙනාම අදිටන් කර ගන්න.

ලෝකයේ විවිධ රටවල් මේ උවදුරට ගොදුරු වෙලා. අපේ රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු රාජ්‍ය අංශ,සෞඛ්‍ය අංශ,හෙද හෙදියන්,මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්, ආරක්ෂක අංශ වල නිලධාරීන් ,පොලීස් නිලධාරීන් ඇතුලු සියලු දෙනාම ජීවිත පරිත්‍යාගයෙන් මේ වසංගතය මර්දනය කර තිබෙනවා. අපි විනයක් ඇති ජාතියක්. රටක් හැටියට සිතා පක්ෂ , ආගම්, ජාති භේදයෙන් තොරව සියලු දෙනාම එක්ව ජනාධිපතිතුමා ඇතුළු මේ සියලුම දෙනා කරන සේවාවට සහාය දෙමින් මේ උවදුරින් රට බේරා ගමු.

   පොසොන් පුර අටවක පෝය 

  පොසොන් පුර අටවක පෝය මැයි 29 සිකුරාදා අපර භාග 9.55න් පුර අටවක ලබා 30 සෙනසුරාදා අපර භාග 07.57 න් ගෙවේ . සෙනසුරාදා සිල්.

මීළඟ පෝය 05 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසළොස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]