[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසුන සුරැකි රජ දරුවෝ දැහැමින් මව්බිම දිනුවෝ

සසුන සුරැකි රජ දරුවෝ දැහැමින් මව්බිම දිනුවෝ

ශ්‍රී ලංකාව, සංඝයා වහන්සේ හා රජය අතර දීර්ඝ කාලයක් නොනැසුණා වූ සමීපත්වයක් ගොඩනැඟුණු පළමු රටවලින් එකකි. බුදු සමයෙහි ආභාසය ලැබුණු නිසාම සමහර රජවරු තමන් බෝධිසත්ත්වයින් බවත් බෝධිසත්ත්වයින් රාජ්‍යත්වයට පත්විය යුතු බවත් ශ්‍රී ලාංකිකයිනට දැනුම් දුන් බව වංශකථා සහ ශිලාලේඛන මගින් පෙන්නුම් කෙරේ.

ක්‍රි. පූ. 3 වැනි සියවසේ දේවානම් පියතිස්ස රජ සමයේ පොසොන් පුර පසළොස්වක දිනයෙහි දී ශ්‍රී ලංකාවේ බුදුසමය පිහිට වූ බව වංසකථාවලින් මෙන්ම සෙල්ලිපි මගින්ද සනාථ වී තිබේ.

මේ වකවානුව වනවිට ශ්‍රී ලංකාව පුරාම වාගේ ජනාවාස වී තිබූ බවට අපට ලැබී ඇති පැරණි බ්‍රාහ්මී සෙල්ලිපි වලින් පැහැදිලිවම පෙනීයයි. මෙරටට බුදුසමය ප්‍රවිෂ්ට වීමත් සමගම නව ප්‍රවණතාවයන් ගණනාවක්ම බිහිවිය. ආගමකින්, ජනතාව සංස්කෘතික වශයෙන් ඒකරාශී කිරීමේ කාර්යය බුදුසමය තුළින් කාර්යක්ෂම ව සිදු කෙරිණි. එසේම පූර්ණ සංස්කෘතියක් ගොඩනඟා ගැනීම සඳහා ප්‍රථම වරට සංවිධිත ලේඛන ක්‍රමයක් බිහිවිය. භාෂාව හා ආගම අතින් සාම්‍යක් ඇතිවීම පොදු ජාතික හැඟීමකට අනුබල දෙන සංස්කෘතික ලක්ෂණ බිහිවීමට අවස්ථාව උදාකරන ලදී. මීට අමතර ව බුදුසමය තුළින් බිහිවූ ආගමික දාෂ්ටි හා ආකල්ප මගින් ශ්‍රී ලාංකික ජනතාව ට ජාතියක් වශයෙන් ගොඩනැඟීමට අවස්ථාව උදාවිය.

ඒ නිසා ඉහත කී අන්දමින් ඇති වූ ප්‍රවණතාවන් නිසා දේශපාලන සාමාජික හා සංස්කෘතික වශයෙන් පොදුවේ සම්මත වන ආයතන බිහි වී සමාජ හා ආර්ථික සමෘද්ධියකට ජනතාව පොළඹවනු ලැබී ය. ප්‍රාග් බෞද්ධ ලංකාවේ, පණ්ඩුකාභය යුගයේදී අනුරාධපුර නගරය නිර්මාණය කිරීමේ කාර්යය සිදුවුණි. අනුරාධපුර ප්‍රදේශය ගොවිතැනට සුදුසු තැනිතලා ප්‍රදේශයක් වුව ද ජලය හිඟකම නිසා සශ්‍රීකත්වයට තුඩුදෙන ගොවිතැන් ක්‍රමයක් සාර්ථක කිරීමට නම් වැව් හා වාරි කර්මාන්තය අවශ්‍යයෙන්ම තිබිය යුතු වේ. එබැවින් ජලජ ශිෂ්ටාචාරයක් අනුරාධපුරයේ බිහිවිය. මෙසේ බුදුසමයෙන් ජනතාව ඒකරාශී කිරීමෙන් තාක්ෂණය, ආහාරපාන නිෂ්පාදනය, වාරික්‍රම දියුණු කිරීම, කෘෂිකර්මය, නාගරීකරණය, යකඩ භාවිතය සහ ගඩොල් කර්මාන්තය අතින් විශාල වෙනසක් ජන සමාජය තුළ බිහි වූ බව පැහැදිලිය. ක්‍රි. පූ. 3 වැනි ශත වර්ෂයෙහ ිදී මෙසේ විවිධ සංස්කෘතික අංගයන්ගෙන් රට පෝෂණය වූයේ ප්‍රාග් බෞද්ධ යුගයේ සිටම පැවති සංස්කෘතික ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් සහ බුදු සමයෙහි බලපෑම නිසා බව කිව හැකි ය.

විවිධ ඇදහිලි රාශියකින් සමන්විත ආගමික ව්‍යුහයක් පැවති මෙරටට බුදු සමය පිවිසීම නිසා මෙතෙක් නොපැවති සාමයකට හා සහජීවනයකට තුඩුදෙන කාලීන අවශ්‍යතාවක් සපුරාලීමට අවස්ථාවක් උදාවිය. මෙතෙක් පැවති ආගමික ඇදහිලි බුදුසමය මගින් විනාශ කොට අතුරුදන් කරනවා වෙනුවට, බුදුදහමට පටහැණි නොවන සෑම ඇදහිල්ලක් හා විශ්වාසයක්ම ඊට උරා ගැනීමට හැකිවීම නිසා බුදුසමයත් ඊට පෙර පැවති ඇදහිලිත් අතර නොවිසඳීය හැකි ගැටුම් උදා වූ බව නොපෙනේ. කෙසේ හෝ බුදු සමය එවකට විසූ ජනතාවගේ ආගමික හා සාමාජික අවශ්‍යතා නොපිරිහෙලා ඉටු කිරීමට සමත් ආගමක් වූ නිසා බුදු සමය මෙරට ජනප්‍රිය වීමට හේතුවිය. ඉහත කී කරුණු නිසා පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය ශ්‍රී ලංකා සංස්කෘතියේ සංධිස්ථානයක් වන දිනයක් ලෙස සඳහන් කළ හැකිය.

බුදුසමය පිහිටුවීමත් සමග ශ්‍රී ලංකාවට උදා වූ අනිකුත් දායාදයන් වන්නේ භික්ෂු ශාසනයක් පිහිටුවීමත් , උන්වහන්සේලා උදෙසාම සංඝාරාම පද්ධතියක් බිහිවීමත් ය. මීට පෙර පැවති යුගයේ ද ී ජනතාවගේ ආධ්‍යාත්මික අවශ්‍යතා පිරිමැසීම සඳහා ජීවිතය කැපකළ පිරිසක් හෝ පන්තියක් රටේ නොසිටීම පොදු ජන දියුණුවට අහිතකර තත්ත්වයක් වශයෙන් පැවතිණි.

භික්ෂු ශාසනය වූ කලි ගිහි සමාජයෙන් වෙන්වී සිය ජීවිතය පොදු ජන විමුක්තිය සඳහා කැප කිරීමට වෙන් වූ පිරිසකි. එපමණක් නොව මේ පිරිස අතින් සිදු වූ සංස්කෘතික පෝෂණය විමසන කල්හි අන්‍යොන්‍ය සහජීවනය සඳහා බුදුදහම තුළ පැවති සාරධර්ම පද්ධතිය ජාතියක් වශයෙන් පිබිදීමට ඉමහත් සේ උපකාර විය. භික්ෂූන් වහන්සේලා උදෙසා බිහිවූ සංඝාරාමවලට අතිවිශේෂ කාර්යභාරයක් පවරා ගන්නට භික්ෂූන් වහන්සේලා උපස්ථම්ක වූ බව පැහැදිලි වේ.

සංඝාරාමය යනුවෙන් නම් කළ ස්ථානය හුදෙක් භික්ෂූන්ගේ වාසස්ථාන පමණක්ම නොවේ. ඒවා ජනතාව ඒකරාශි කරන ස්තූපය, බෝධිය වැනි බුදුරජාණන් වහන්සේ නියෝජනය කරන පූජ්‍ය වස්තු ද තැන්පත් කළ ස්ථාන විය. මෙහි ජනතාව ඒකරාශි වූයේ සංස්කෘතික වශයෙන් ජනතාවට ලද හැකි වාසි තකා පමණක් නොව පරලෝ වශයෙන් බුදුසමයෙන් උගන්වන ලද ශාන්ති සුවය ලබා ගැනීමේ පරමාධ්‍යාශයෙන් බව කිවමනා ය.

සංඝාරාමය සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වීම නිසා ජනතාව තුළ දැවෙමින් පැවති පොදු හා පෞද්ගලික ප්‍රශ්න අප්‍රමාණ වශයෙන් විසඳෙන්නට විය. මෙසේ රට තුළ ආගමික හා භාෂාමය වශයෙන් සාම්‍යයක් උදාවෙද්දී එක් ජාතියකින් සමන්විත ඒකීය රාජ්‍යයක් රාජ්‍ය නායකයෙකු යටතේ ආරම්භ වූයේ ද දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙහි දී ය. අනුරාධපුර නගරය රටේ අගනගරය බවට පත් කරමින් එය ආගමික සාමාජික, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් ජාතික මධ්‍යස්ථානය බවට පත්විය. බුදුසමය ලංකාවට ප්‍රවිෂ්ට වීමෙන් පසුව ආගමික මූලස්ථානය වූයේ ද අනුරාධපුරයයි. මේ යුගයෙහ ිදී බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ආරාම හෝ ලෙන් පූජා කිරීමෙන් පැහැදිලි වන්නේ ද බුදු දහම විසින් කෙබඳු අන්දමින් මේ රටේ ජනතාව ග්‍රහණය කරගෙන තිබූ බවයි. එසේම මේ යුගයේදී බෞද්ධ භික්ෂූන්, රජුන් හා රටවැසියන් අතර අන්‍යොන්‍ය සමගිය හා සහජීවනය ගොඩනැගීමටත් , බුදුසමයට අනුග්‍රහය දැක්වූ රජුට ජනතා සහයෝගය අත්කර දීමටත් බුදුසමයෙන් හා භික්ෂූන්වහන්සේගෙන් සිදු වූ අනුපමේය කාර්යභාරය මෙයින් පැහැදිලි වේ.

ඉතිහාසය දෙස නෙත් යොමු කර බලනවිට පෙනී යන්නේ ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස එක්සිත්ව සහ එක්සත්ව වාසය කළ බවයි. ක්‍රි.පූ. තෙවැනි ශත වර්ෂයෙහි වාසය කළ එළාර මෙහිදී ගත හැකි නිදසුනක් ලෙස සඳහන් කළ හැකි ය. ඉතිහාසය තුළ බෞද්ධාගම සහ රාජ්‍යත්වය අතර මනා සබඳතාවයකින් කටයුතු කරගෙන ගිය බවට සාක්ෂි තිබේ. එළාර පවා එම සිද්ධාන්තය මුල් කරගෙන තම දේශපාලන කටයුතු මෙහෙයවා තිබේ. ඔහු වසර 44ක් උතුරු ප්‍රදේශය පාලනය කළේ යුද පරිපාලනයම උපයෝගී කරගෙන ද යන්න ප්‍රශ්න කළ හැකිය. එසේ වූයේ නම් රටේ තිබෙන සියලු ආර්ථික මර්මස්ථාන ඔහු සතුවිය යුතුය. වංශකථා සහ අභිලේඛන සාක්ෂිවලට අනුව අපගේ අවධානය යොමු කළහොත් රටේ ප්‍රාදේශීය පාලන ඒකක ගණනාවකට බෙදී, එක් එක් ස්වාධීන පාලනයක් යටතේ ඒවා පවත්වාගෙන ගිය බවක් පෙනී යයි.

ප්‍රධාන පරිපාලන ඒකකය වූයේ අනුරාධපුර මුල්කරගත් ප්‍රාදේශීය පරිපාලන ඒකකය වන්නට ඇත. එහි පාලකයා වූයේ දේවානම්පියතිස්ස රජතුමා ය. ඊට පසුව උත්තිය රජතුමා රාජ්‍යත්වයට පත් විය. කෙසේ වෙතත් රෝහණ දේශයෙන් පැමිණි දුට්ඨගාමණී අභය විසින් මුල් වරට ශ්‍රී ලංකාවම එක්සේසත් කරනු ලැබී ය. ක්‍රි.පූ. 161-137 දක්වා සිය රාජ්‍යත්වය කරගෙන ගිය ඔහු රටේ සංස්කෘතිය, ආර්ථිකය, දේශපාලනය වර්ධනය කිරීම පිණිස ශ්‍රේෂ්ඨ කර්තව්‍යක් සිදු කරන ලදී.

මහා විහාරයෙහි ප්‍රධාන අනුග්‍රාහකයා වූ දුටුගැමුණු රජු රුවන්වැලිසෑය, ලෝවාමහාපාය, මිරිසවැටි දාගැබ වැනි සුවිශාල දාගැබ් කර්මාන්ත කරමින් බෞද්ධාගම ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සඳහා විශාල සේවයන් කරන ලදී. මෙහිදී ඔහුගේ සහෝදර සද්ධාතිස්ස කුමාරයාගෙන් ලැබුණු දායකත්වය අතිමහත් ය. ඔහු යුද සමයෙහිදී සටනට සූදානම් වන සහ සටනට සහභාගී වූ ජනතාවට ආහාර සපයා දීම සඳහා වෙසෙසින් උත්සුක විය. දිගාමඬුල්ල ප්‍රදේශයට ඔහු ගොස් එම ප්‍රදේශයෙහි ජනතාවගේ සහයෝගය ලබා ගෙන කෘෂිකාර්මික වශයෙන් සහ වාරිමාර්ගික වශයෙන් ස්වයංපෝෂණය කර එළාර සමඟ කරගෙන යාමට නියමිත සටනට උදවු උපකාර කළේ ය. ඔහුගේ එම මහඟු කර්තව්‍යය නොවන්නට ‘රටේ ජනතාවගෙන් වැඩි කොටසක් නිරාහාරව සිටිනු ඇත‘ යන්න සමහර ඉතිහාසඥයන්ගේ අදහස වී තිබේ. කෙසේ වෙතත් සටනක් ඉදිරියට ගමන් කරන්නේ උදරය මතින්ය යන ප්‍රකාශනය සනාථ කරවමින් තම සහෝදරයාගේ කාර්යභාර¡¡යට සද්ධාතිස්ස විසින් මනා සහයෝගයක් ලබා දෙන ලදී. එය විශිෂ්ට ක්‍රියාවකි.

ධර්මාශෝක රජුගේ පුත් මහින්ද මහරහතන් වහන්සේ සහ ඔහු සමඟ පැමිණි පිරිස පොසොන් පුර පසළොස්වකදා මිහින්තලයට වැඩි සේක. එහිදී දේවානම් පියතිස්ස රජුගේ නුවණැති බව විමසා බැලීම පිණිස මිහිඳු හිමියන් විසින් අඹ ප්‍රශ්නය සහ ඤාති ප්‍රශ්නය පිළිවිසූ සේක. එහිදී දේවානම් පියතිස්ස විසින් එම ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු අනුව රජතුමා ධර්මය අවබෝධ කර ගැනීමට හැකි පුද්ගලයෙකු බව අවබෝධ කර ගත් මිහිඳු හිමි රජු රත්නත්‍රය සරණ යවා බෞද්ධාගමිකයෙක් බවට පත් කළ සේක. පසුව මහමෙවුනාවේදී දේවානම්පියතිස්ස රජු ඇතුළු විශාල පිරිසකට චුල්ලහත්‍ථිපදොපම සූත්‍රයෙන් ධර්‍ම දේශනා කොට සෝවාන් ඵලයට පැමිණ වූ සේක. ඉන් පසුව විමානවත්‍ථු, පේථවත්‍ථු ආදියෙන් දහම් දෙසූ මිහිඳු හිමි සුවහසක් ජනතාවට දහම් මඟ කියා දෙමින් බෞද්ධාගම ලංකාදීපය තුළ ස්ථාපිත කිරීම සඳහා මුල් පියවර තැබූ සේක. එමෙන්ම ඉන්පසුව අවශ්‍ය වූයේ ලංකාදීපය තුළ සංඝ, ශාසනය ආරම්භ කිරීමයි. එහිදී දේවානම්පිය තිස්ස රජතුමා විසින් මිහිඳු මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි , ශ්‍රී ලංකාව තුළ බෞද්ධ ශාසනය ස්ථාපිත වූයේදැයි විමසූවිට තවම එසේ වී නොමැති බව දැනුම් දුන්හ. එසේ වීමට නම් කුමක් කිරීමට අවශ්‍යදැයි විමසූවිට සමන්තපාසාදිකාවේ සඳහන් වන අන්දමට පිළිතුරු දුන්හ. එහි සරලම අදහස වන්නේ ‘තම්බපණ්ණි දීපයේ ඉපිද තම්බපණ්ණි දිවයිනෙහිම දෙමව්පියන්ගෙන් උපන් පුතෙකු පැවිදි වී ත්‍රිපිටකය දේශනා කරන්නේද එවිට සම්බුද්ධ ශාසනය ස්ථාපිත වන්නේ ය යනුවෙනි. ඉන් පසුව මහා අරිට්ඨ ඇමතිවරයා ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් වූහ. එතැන් සිට ශ්‍රී ලංකාව තුළ සංඝ ශාසනයෙහි ආරම්භය සහ ව්‍යාප්තිය සිදු වන්නට විය.

පසුව මෙහෙණි සසුනේ ආරම්භය ද සිදුවිය. අශෝක රජුගේ දියණිය වන සංඝමිත්තා තෙරණිය විසින් භික්ෂුණී ශාසනය ශ්‍රී ලංකාවෙහි පිහිටු වන ලදී. උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය දා ශ්‍රී ලංකාවට ඇය වැඩම කෙළේ ඉන්දියාවේ ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් සමඟ ය‍.

එය අනුරාධපුරයෙහි මහාවිහාර භූමිය තුළ රෝපණය කළ සේක. එම උත්සවයට දිවයිනේ නන් දෙසින් පිරිස් පැමිණි අතර රෝහණයේ කාචරගාමයේ සහ චන්දනගාමයේ ක්ෂත්‍රිය පාලකයින් ද පැමිණි බව මහාවංසය සහ ධාතුවංසයේ දැක්වේ. අනුරාධපුර පාලන ඒකකයේ සිට ඉතා දුරින් පිහිටි රෝහණයේ කාචරගාමයේ සහ චන්දනගාමයේ සිට අනුරාධපුරයට පැමිණ එම උත්සවයට පැමිණ සහභාගි වූයේ එම සිද්ධිය බෞද්ධ ශාසනික ඉතිහාසයෙහි ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් වූ නිසා ය. එමෙන්ම සංඝමිත්තාගමනය හෙවත් දුමින්දාගමනය තවත් එක් සිද්ධියක් නිසා ද වැදගත් වේ. ශ්‍රී ලංකාව තුළ භික්ෂුණී ශාසනය ප්‍රථම වතාවට ස්ථාපනය වන්නේ සංඝමිත්තා තෙරණියගේ වැඩම කිරීමත් සමඟ ය.

අනුලා බිසව ඇතුළු කුල කාන්තාවන් පිරිසක් භික්ෂුණී ශාසනයෙහි පැවිදි වී ශ්‍රී ලංකාව තුළ භික්ෂුණී ශාසනය ව්‍යාප්ත කිරීමට මහත් වෙහෙසක් දැරූහ. ඒ පිළිබඳව ඓතිහාසික තොරතුරු ලබාදෙන ප්‍රධාන වංශකථාව වන්නේ මහාසේන රාජ්‍ය සමයෙහි හෙවත් ක්‍රි. ව. හතරවැනි ශත වර්ෂයෙහි රචනා වූයේ යැයි සැලකෙන දීපවංසයයි. මෙම ග්‍රන්ථයෙහි 18 වැනි පරිච්ඡේදය කාන්තාවගේ ඉතිහාසය සහ භික්ෂුණියගේ ඉතිහාසය සම්බන්ධයෙන් ඉතා වැදගත් වේ.

දීපවංශයෙහි සම්පූර්ණ පරිච්ඡේද 22ක් අන්තර්ගත වන අතර ඒවායින් 18වැනි පරිච්ඡේදය සුවිශේෂී වන්නේ භික්‍ෂුණී ශාසනයෙහි ව්‍යාප්තිය පිළිබඳව වඩාත් තොරතුරු ලබාදීමයි. එහිදී දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් භික්‍ෂුණියගෙන් සිදුවූ සේවය මනා ලෙස විස්තරාත්මක ව දක්වා තිබේ. විශේෂයෙන්ම ඉන්දියාව, චීනය, තිබ්බතය, ජපානය වැනි දේශයන් සඳහා ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේලා වැඩම කර එම රටවල බෞද්ධාගම ව්‍යාප්තිය සඳහා කරන ලද උත්කෘෂ්ට සේවය වංශකථා සාහිත්‍ය මෙන්ම එම රටවල සමහර ශාස්ත්‍රීය මූලාශ්‍ර මඟින්ද හෙළිදරව් කරගත හැකි ය.

දීපවංසයෙහි සඳහන් වන ඓතිහාසික කරුණු අනුව දීපවංසයෙහි කතුවරයා පිළිබඳව අදහසක් ලබාගත හැකි ය. එම ග්‍රන්ථයෙහි කතුවරයා කවරෙක්ද යන්න සඳහන් වී නොමැත. නමුත් ග්‍රන්ථයෙහි අන්තර්ගතය අනුව මෙහි කතෘත්වය කාන්තාවකට හෝ කාන්තාවන් සමූහයකට ද, එසේත් නැත්නම් භික්‍ෂුණියකට හෝ භික්‍ෂූණීන් රැසකට හිමි විය යුතු ය. එසේ නම් ලංකාව ප්‍රථම ඉතිහාසකරණයෙහි යෙදුණේ කාන්තාවන්ද යන ගැටලුව අප ඉදිරියේ පවතින ගැටලුවකි. මේ පිළිබඳව විග්‍රහයක යෙදුණු හ්‍යුම් නෙවිල් දීපවංසයෙහි කතෘත්වය භික්‍ෂුණීන් කණ්ඩායමකට හිමි විය යුතු බව ප්‍රකාශ කළේය. මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන ද හ්‍යුම් නෙවිල්ගේ එම මතවාදය පිළිගත හැකි බව අනුමත කළේ ය. එම නිසා මහින්දාගමනයත් සමඟ ශ්‍රී ලංකාවට සපැමිණි භික්‍ෂු ශාසනය මෙන් භික්‍ෂුණි ශාසනය ද ඉතාම වැදගත් දායාදයන් ලෙස සඳහන් කළ හැකිය.

ලක් වැසියාගේ ජීවන රටාව මහින්දාගමනයෙන් පසුව සම්පූර්ණ විපර්යාසයකට ලක් විය. එතෙක් මිත්‍යා ආගම් සමඟ පටලැවී සිටි ලක් වැසි ජනතාව නිසි මඟකට යොමු වී තම ආගමත් සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගත්හ. භික්‍ෂූන්ගේ පැවැත්ම සඳහා මෙන්ම භික්‍ෂූණීන් වහන්සේලාගේ වාසය සඳහා ද ලෙන් ආරාම බවට පරිවර්තනය කොට සතර දිශාවේ ම වාසය කරන සමහරක් තැන්වල දස දිසාවේම වැඩවසන භික්ෂූන් සඳහා සඟසතු කොට පූජා කරන ලදී. .

බුදුදහමට ඇතුළත් වූවන් අතර රජ පවුල්වල සාමාජිකයින් ද ප්‍රභූන් සහ එම පවුල්වල සාමාජික සාමාජිකාවන්ද සාමාන්‍ය ජනතාව සහ විවිධ පවුල්වල අයද වූහ. මොවුන්ගේ ඒකායන පරමාර්ථය වූයේ බෞද්ධාගම වැළඳගෙන ඒ අනුව තම දිවි පෙවෙත සාර්ථක කර ගැනීම ය. ඒ සඳහා එකල ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාලකයා ව සිටි දේවානම්පියතිස්සගෙන් ලැබුණේ මහඟු දායකත්වයකි. භික්‍ෂූන් වහන්සේලාට සේ ම භික්‍ෂූණීන් වහන්සේලාට අවශ්‍ය කරන චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය හා සිවුපසය නිති සපුරාලමින් ගිහි දායක දායිකාවන්ගේ පූර්ණ සහයෝගය ලබාගනිමින් බෞද්ධාගමේ වර්ධනය සහ දීප ව්‍යාප්තිය සඳහා යුහුසුලුව කටයුතු කරන ලදී. එම නිසාම බුදු දහම පිළිබඳව වඩාත් පැහැදුණු ශ්‍රී ලාංකික ජනතාව බුදු දහම වැළඳ ගත්හ. එම නිසා බුදු දහම ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ නොමැකෙන සේ කිඳා බැස්සේ ය.

ශ්‍රී ලංකාව බෞද්ධ සංඝයා හා රජය අතර දීර්ඝ කාලයක් නොනැසුණා වූ සමීපත්වයක් ගොඩනැඟුණු පළමු රටවලින් එකකි. බුදු සමයෙහි ආභාසය ලැබුණු නිසාම සමහර රජවරු තමන් බෝධිසත්ත්වයින් බවත් බෝධිසත්ත්වයින් රාජ්‍යත්වයට පත්විය යුතු බවත් ශ්‍රී ලාංකිකයිනට දැනුම් දුන් බව වංශකථා සහ ශිලාලේඛන මගින් පෙන්නුම් කෙරේ.

තෙවැනි සියවසේ දී ලංකාව පාලනය කළ සිරිසඟබෝ මහාවංසයෙහි මහාසත්ත නමින් හැඳීන්වේ. මහා සත්ත යනු බෝධිසත්ත්වයන් සඳහා යෙදෙන පදයකි. ක්‍රි. ව. 337 සිට 365 යන වකවානුව තුළ රජ කළ බුද්ධදාස රජු ද බෝධිසත්ව ජීවිතයක් ගත කළහයි චූලවංසයෙහි දැක්වේ. පළමු වැනි උපතිස්ස දශ පාරමිතාවන් පිරූ බවද එහි සඳහන් වේ.

බෞද්ධ සමාජ ක්‍රමය තුළ ගිහියකු වශයෙන් පැතුම් ලද හැකි උතුම්ම තත්ත්වය වූ බෝධිසත්ත්ව තරමින් රාජ්‍යත්වය සැලකීම රාජ්‍යත්වය පිළිබඳ අදහස්වල වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම ප්‍රකාශය සනිටුහන් සෙල්ලිපිය ද ආරාම භූමියක පිහිටුවා තිබීම ද වැදගත්ය. මෙයින් හැඟී යනුයේ රජ දේශපාලන වශයෙන් මෙන්ම ආගමික වශයෙන් ද රටේ නායකත්වය දැරූ බව භික්ෂූන් වහන්සේලා විසින් ද පිළිගත් බවයි.

මේ අනුව පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයෙහිදී ශ්‍රී ලංකාවට ලැබුණු බුදුදහම නිසා එතෙක් මිථ්‍යා අදහස්වල එල්බ ගෙන සිටි ජනතාව බුදු දහම නිසා යහ මාර්ගයට පැමිණ අන්‍යෝන්‍ය ආගමික සහජීවනයකින් යුක්ත පිරිසක් බවට ද පත්වූහ. එයට හේතුව වූයේ ජනතාවට අවශ්‍ය කරන මානසික නිදහස් චින්තනය බෞද්ධ දර්ශනය තුළ කාලාම සූත්‍රය වැනි සූත්‍ර තුළ මනා ලෙස ගැබ් වී තිබීමය. එය එක ජන කොටසකට පමණක් සීමා නොවී සියලු ජන කොටස්වලටම පොදු වූ ධර්මයක් විය.

   පොසොන් පුර අටවක පෝය 

  පොසොන් පුර අටවක පෝය මැයි 29 සිකුරාදා අපර භාග 9.55න් පුර අටවක ලබා 30 සෙනසුරාදා අපර භාග 07.57 න් ගෙවේ . සෙනසුරාදා සිල්.

මීළඟ පෝය 05 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසළොස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]