සංසාර ගමනට
මඟ වියදම්
මහනුවර හන්තාන සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ
සුධම්ම හිමි
පින්වත් දරුවනේ, මේ ලෝක සත්ත්වයාගේ පැවැත්ම, ක්‍රියාව මේ සියල්ල පදනම් වී තිබෙනන්නේ
කර්මය මත. ‘කර්මය’ කියන්නේ අප විසින් කරනු ලබන දෙයටයි. එහිදී අප සිදුකරන යහපත්
කටයුතු පින් හා කුසල් වශයෙනුත්, අයහපත් කටයුතු පව් හා අකුසල් වශයෙනුත් දෙකොටසට
බෙදෙනවා.
දුවේ, පුතේ, අපවිසින් කරනු ලබන ක්‍රියාවන් මේ ජීවිත ගමනට වගේ ම සාංසාරික ගමනටත්
හේතු වෙනවා. එය දන්නා අපේ බෞද්ධ දරුවන් දාන, සීල, භාවනා දී පින් දහම් කරමින් මෙලොව
පරලොව සුගතිය සලසා ගන්නවා.
සමහරු මනා රූප සම්පත්තියක් ඇති පි‍්‍රයමනාප අයට, සමාජයෙන් කීර්ති, ප්‍රසංසාදිය ලබන
අයට, යස ඉසුරු සම්පත් අති අයට ඊර්ෂ්‍යා කරනවා. අපහාස කරනවා. ක්‍රෝධයෙන් වෛරයෙන්
ක්‍රියා කරනවා. සමහර අය හොඳින් ඉගෙන ගන්නා දරුවන්ට ඊර්ෂ්‍යා කරනවා. ඒත් දරුවනේ, එය
මහා නිශ්ඵල ක්‍රියාවක්. අන්තිමේ දී පරිහානියට පත් වන්නේ ඊර්ෂ්‍යා සහගත පුද්ගලයාමයි.
දරුවනේ, ඈත අතීතයේ බරණැස් නුවර එක් පවුලක මව්පියන්ට ඉතාම රූමත් දියණියක් ලැබුණා.
ඇයගේ නම සුවණ්ණා. මේ දියණියගේ මව්පියන් බොහොම ධනවත්. ඇය ඉපදුණු දා සිට ඒ නිවෙසට
ඉතාම වාසනාවන්ත කාලයක් උදාවුණා. දිනෙන් දින දියුණු වුණා. සාමය, සතුට වර්ධනය වුණා.
මේ නිසා මේ පුංචි දියණියට හැමෝගෙම ප්‍රසාදය ලැබුණා. ඇය හැමෝගෙම හොඳ අසමින්, බොහොම
යහපත් ව හැදී වැඩුණා. ටික කලක් ගෙවුණා. සුවණ්වා දැන් ඉතාම රූමත් තරුණියක්. ඇයගේ
දෙදණ දක්වා වැඩුණු, මොණර පිළක් බඳු, දිගු කෙස් කළඹ ඉතාම දැකුම්කළුයි. මනරම් රූප
සම්පත්තිය නිසා ම, සුවණ්ණා බරණැස් නුවර ජනපද කල්‍යාණිය ලෙස අභිෂේක ලැබුවා පරිවාර
තරුණියන් පිරිවරාගෙන බොහොම වාසනාවන්ත ජීවිතයක් ගත කළා. දරුවනේ, මේ විදිහට ගතවුණේ
ටික කාලයයි. අනේ, මේ තරුණියට පෙර කළ කර්ම ශක්තියක් පළදෙන්නට පටන් ගත්තා. සුවණ්ණාගේ
රූප සම්පත්තියට, දිගු කෙස් කළඹට ඊර්ෂ්‍යා කළ තරුණියන් කීප දෙනෙක් සිටියා.
“ඇය ජනපදකල්‍යාණිය ලෙස මුළු බරණැසටම ප්‍රසිද්ධයි. අපගේ තත්ත්වයක කුමක්ද,? මේ හැමදේ
ම අර මොණරපිළක් බඳු දිගු කෙස් කළඹ නිසයි. ඇයට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ.”
ඔවුන් කල්පනා කළා. උපායක් සිතුවා. සුවණ්ණාට සේවය කරන මෙහෙකාරියක් හිතවත් කරගෙන,
ස්නානය කරනවිට හිසේ ගැල්වීම සඳහා ඉතා විෂ සහිත බෙහෙතක් සාදා දුන්නා. දාසියත් එය තම
ස්වාමි දියණියට ලබා දුන්නා. ඇය මිත්‍රශීලී නිසා සුවණ්නාට සැකයක් ඇති වුණේ නෑ.
ස්නානය කරන වෙලාවේ ඇය ඒ ඖෂධය හිස ගැල්වූවා. ඒ සමඟ ම ඉවසාදරාගත නොහැකි වේදනාවක් ඇති
වුණා. ඇය දෑතින් හිස පිරිමැද්දා. කෙස් අහුරක් ගැලවී අතට ආවා. සිදු වී ඇති දෙය ඇයට
වැටහුණා. රෙදිකඩකින් හිස ආවරණය කරගෙන කිසිවෙකුටත් ඒ ගැන නොකියා තම මන්දිරයට ගියා.
එදා මුළු රාත්‍රිය පුරාම ඇයට නින්දක් නෑ. තනිවම හඬා වැටුණා. කැඩපත ඉදිරියට ගිය ඇයට
දකින්නට හැකි වුණේ කෙස් ගිලිහුණු හිස් කබල විතරයි.
ඉර උදාවට තිබෙන්නේ හෝරා කිහිපයක් පමණයි. ඇය තව තවත් කල්පනා කළා. වස්ත්‍ර කීපයක්
අරගෙන, හිසත් ආවරණය කරගෙන, කිසිවෙකුටත් නොකියා මහ මගට බැස්සා.
දැන්, සුවණ්ණා විරූපී තරුණියක්. ඒ වගේම, හරිම අසරණයි. බොහෝ දුර, ඈත එපිට ගම්මානයකට
ගිහින් ඇය අප්‍රසිද්ධියේ ජීවත් වුණා. ජීවත් වීමට මුදල් උපයා ගැනීම සඳහා තෙල් බෙහෙත්
වෙළඳාම් කළා. ඒත් ලැබුණු ආදායම් ප්‍රමාණවත් වුණේ නෑ. ඉතින් ඇය මොනවාද කළේ? සුරා
විකිණීමට පටන් ගත්තා. ඒ සුරා බී මත්වුණූ මිනිසුන්ගේ වටිනා ඇඳුම්, පැළඳුම්, ආභරණ
සොරා ගත්තා. ටික කලක් ගෙවුණා. ක්‍රම ක්‍රමයෙන් ඇය සුරාපානයටත් පුරුදු වුණා.
ඒත් ඇයට අතීතය මතක් වෙනවා. අමතක කරන්නට උත්සාහ කළත් එය කළ නොහැකි ය. ඒ ගැන සිතමින්
හඬා වැළපෙනවා. ‘මේ, මා පූර්වයේ කළ අකුසලයක් වෙන්නට ඇති’ යි සිතමින් සිත හදාගන්නට
උත්සාහ කළා.
මේ විදියට කල් ගෙවුණා. දවසක් සුවණ්ණා භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වඩිනවා
දුටුවා. කැකෑරෙන අව්වේ, මහත් පීඩාවට පත්වෙමින්, පාත්‍රයක් රැගෙන පිඬු සිඟා වඩින
තෙරුන් වහන්සේ ගැන ඇයට මහත් සංවේගයක් ඇති වුණා. ඇය කහවණුවක් වියදම්කොට කුඩයක් මිලදී
ගත්තා. බොහොම ශ්‍රද්ධාවෙන් එය ඒ තෙරුන් වහන්සේට පූජා කළා.
තවත් දවසක උන්වහන්සේ ඇය විසින් පූජා කරන ලද කුඩයත් අරගෙන පිණ්ඩපාතයේ වැඩියා. ඒ දුටු
සුවණ්ණාට හරිම සතුටුයි. “අද මම තෙරුන් වහන්සේට දානයක් පුජා කරන්නට ඕනෑ.” ඇය සිතුවා.
ඉතාම ශ්‍රද්ධාවෙන් ප්‍රණීත දානයක් සූදානම් කොට, එය පිළිගන්නා ලෙස තෙරුන් වහන්සේට
ආරාධනා කළා. මග අයිනේ තිබුණු රුක් මුලක වැඩ හිඳිමින් උන්වහන්සේ දානය වැළඳුවා.ඒ
වෙලාවේත් දැඩි අව් රශ්මිය. සුවණ්ණා භික්ෂූන් වහන්සේ දානය වළඳනතෙක් කුඩය ඔසවාගෙන
සෙවණ දුන්නා. ඒ අතර මෙසේ සිතුවා. “මම මේ පින්වත් තෙරුන් වහන්සේට අව්වෙන් පීඩා වීම
වැළැක්වීම සඳහා කුඩයක් පූජා කළා. ඉතාම ශ්‍රද්ධාවෙන් දානයක් පූජා කරන්නටත් හැකි
වුණා. ඒ පිනෙන් මට උපනුපන් ජාති දක්වා රූප සම්පත්තියත්, කේශ කල්‍යාණයත් ලැබේවා,
කිසි කලෙකත් මෙවන් දුක් පීඩා ඇති නොවේවා.”
ඇය ප්‍රාර්ථනාවක් ද කළා.
තෙරුන් වහන්සේ දානය වළඳා අවසානයේ, දානයේ ආනිශංස දක්වමින් භුක්තානුමෝදනා දේශනාව
පැවැත් වූවා. ඉන්පසු ආපසු වැඩම කළා.
ටික කාලයක් ගත වුණා. සුවණ්ණා දැන් මහලු වයසේ. කායික, මානසික රෝගවලින් ද අඩුවක් වුණේ
නෑ. ටික දිනකින් ඇය මිය ගියා. මරණින් මතු මහා සමුද්‍රයේ එක් ගල්තලාවක් මත රනින් නිම
කරන ලද දිව්‍ය මන්දිරයක දිව්‍යාංගනාවක් ව පහළ වුණා. පෙර ආත්මයේ කරන ලද ප්‍රාර්ථනාව
අනුව දුටුවන්ගේ නෙත් සිත් පැහැදෙන, ශෝභමාන කේශ කල්‍යාණයක් ද ලැබුණා. මේ අතරේ මහ
සයුරේ වෙළෙඳ නෞකා කිහිපයක ගමන්ගත් වෙළෙඳුන් කීප දෙනෙක් මේ ආශ්චර්යවත් දෙවඟන දුටුවා.
“පින්වත් දිව්‍යාංගනාවනි,ඔබ දැකීමෙන් අපි මහත් සොම්නසට පත්වීමු. ඔබගේ වාසභවන ද
අතිශයින් ශෝභමානයි. නීල වර්ණ කේශ කලාපය, පි‍්‍රය මුහුණ ඉතාම ආශ්චර්යවත්. ඒත් අපට
ඔබගේ දිව්‍යමය ශරීරය නොපෙන්නේ ඇයි?”
වෙළෙඳුන් දිව්‍යාංගනාවගෙන් ඇසුවා.
පින්වත් වෙළෙඳුනි, මා පෙරකරන ලද අකුසලයක විපාක ලෙසයි මේ විදියට පහළ වුණේ. මගේ
සිරුරේ එකම වස්ත්‍රයක්වත් නෑ. ඇය පෙර අත්භවයේ ජනපදක්‍යාණියක ව සිටි තමන්ට විඳින්නට
සිදු වූ කටුක අත්දැකීම පැහැදිලි කළා. ශ්‍රද්ධාවෙන් සිදුකළ දානමය පින්කම ගැන
පැහැදිලි කළා. කළ සොරකම් සුරා විකිණීම්, දුරාචාර නිසා කාත් කවුරුවත් නො මැතිව මහ
මුහුදේ තනිව ම පහළ වී සිටින බවත් විස්තර කළා.
දරුවනේ, මත්කුඩු, මත්ද්‍රව්‍ය, සුරාව ආදී නොකළ යුතු අධර්මිෂ්ඨ වෙළෙඳාම් කරන අයට
සිදු වෙන්නේ ඊළඟ ආත්මයේ තනිවම ජීවත් වන්නටයි. වස්ත්‍ර සොරකම් කළොත් අඳින්නට රෙදි
කැබැල්ලක්වත් ලැබෙන්නේ නෑ.
පෙර ආත්මයේ තමන්ට විඳින්නට සිදු වූ කටුක අත්දැකීම් පිළිබඳ ව විස්තර කිරීමෙන්
අනතුරුව දිව්‍යාංගනාව, වෙළෙඳුන්ගෙන් ඉල්ලීමක් කළා.
“පින්වතුනි, උපකාරයක් කරනු මැනවි. මට අඩුපාඩුවකට තිබෙන්නේ සිරුර වසා ගැනීමට
වස්ත්‍රයක් පමණයි. ඔබ ගමන් ගන්නා නෞකාවේ සිල්වත්, ගුණවත් උපාසකතුමෙක් සිටිනවා. ඒ
ඔබගේ නාවික කටයුතු කරවන උපදේශකතුමා. එතුමා යහපත් සත් පුරුෂයෙක්. එතුමාට මා පිළිබඳ
සියලු තොරතුරු දන්වන්න. එතුමාට සත්කාර, සම්මාන පවත්වා, සළුපිළි පූජා කරන්න. මට
දිව්‍ය සම්පත් ලැබේවා’යි පුණ්‍යානුමෝදනා කරන්න.”
දිව්‍යාංගනාව ගැන අනුකම්පා කළ වෙළෙඳුන් කී ලෙසම සිදු කළා. දරුවනේ, ඒ පින් අනුමෝදන්
කරනවාත් සමඟම ඒ දිව්‍යාංගනාව සළුපිළි, ආභරණ සහිත දිව්‍යාංගනාවක් බවට පත්වුණා.
දෙව්දුව වෙළෙඳුන්ට කෘත ගුණ සැලකීමට අමතක කළේ නෑ. මුහුදු පතුළෙන් වටිනා මුතු මැණික්
ගෙනැවිත් ඔවුන්ට දුන්නා. ඔවුන් සතුටින් සිය රට සැපැත් ව සැපසේ ජීවත් වුණා.
දරුවනේ, සිල්වන්ත, ගුණවන්ත උපාසකතුමාට දානයක් පිළිගන්වා පින් අනුමෝදන් කිරීමේ
ආනිශංස ලෙස දෙව්දුව අංග සම්පූර්ණ වුණා. සාගර දෙව් විමනෙන් චුත වී භාතාවතිංසය දෙව්
විමනේ දිව්‍යමය සම්පත් ඇති ව, පිරිවර සේනා ඇති දිව්‍යාංගනාවක් ලෙස පහළ වුණා.
සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේට වගේ ම සිල්වත්, ගුණවත් උතුමන්ට දන් දීමේ ආනිශංස
මහත්ඵලයි. මේ පින්වත් දරුවන් සිත පහදවාගෙන දන් දෙන්නට කුඩා කාලයේ සිටම හුරු පුරුදු
වෙන්නට ඕනෑ. එහි ආනිශංස මහත්ඵලයි. මහානිශංසයි. සම්බුද්ධ ශාසනය ආරම්භ වන්නේ දානයෙන්
බවත් මතක තබා ගන්නට ඕනෑ.
රමණී සුබසිංහ |