ඉල් පුර පසළොස්වක 2019.11.12
ගෘහස්ථ සදාචාරයට
ආචාර ධර්ම
අවිදු අඳුරේ ගිලී, ජීවිතයේ යථාර්ථය නො දැන, සසර අතර මං වූ බොහෝ ජනයාගේ හිත සුව
පිණිස සම්බුද්ධ ධර්මය ප්‍රචාරය කරනු වස් අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් සැට නම
පිටත් කර හැරියේ අදවන් උතුම් ඉල් පුන් පෝ දිනක ය. එදා ගමින් ගම, දොරින් දොර
ප්‍රචාරය වූ ශ්‍රී සද්ධර්මය මුළු ලෝකය පුරා ව්‍යාප්ත වී අදත් අවිච්ජින්නව පැවතීම අප
ලද පුණ්‍ය මහිමයක් ම ය.
බෞද්ධයන් ලෙස අප ආ ගමන්මග දෙස නැවත ආවර්ජනය කිරීමට මේ උතුම් පෝ දිනයේ කල්පනාවට ගත
යුතු ව ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ, උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ වෙතින්
අප ලද ධර්මාවවාද ප්‍රායෝගික ව ජීවිතයට ග්‍රහණය කරගෙන තිබෙන්නේ ද? එසේ නම් මනුෂ්‍ය
සමාජය අතර මේ සා ගැටලුකාරී, ප්‍රශ්නකාරී තත්ත්වයන් උද්ගත ව තිබෙන්නේ කුමක් නිසා ද?
බොහෝ දෙනෙකුට යම්තාක් දුරකට හෝ ධර්මාවබෝධය තිබුණ ද, ධර්මය ජීවිතයට ගළපාගෙන නො තිබීම
නිසා විය හැකි ය. මේ නිසා ධර්ම ප්‍රචාරය ඇරඹුණු අදවන් දිනෙක ඒ උතුම් දහම් මග යන්නට
තිර අධිටනක් ඇතිකර ගැනීම බෞද්ධයන් ලෙස අපගේ යුතුකම ද, වගකීම ද වන්නේ ය.
ගිහියන් ලෙස විශේෂයෙන් ගෘහස්ථ සදාචාරය හා බැඳුණු විශේෂ ආචාර ධර්ම පද්ධතියක් බුද්ධ
දේශිතයේ අන්තර්ගත ය. ජීවිතය ආධ්‍යාත්මිකවත්, සදාචාරාත්මකවත්, භෞතිකවත් පෝෂණය කරගත
හැකි, ගිහියාගේ යහපත සලසන ඉගැන්වීම් සමුදායක් එහි දී අපට හඳුනාගත හැකි වේ. ඵලදායී
වූ ත්, තෘප්තිමත් වූත්, සමබර ජීවිතයක් ගෙවීම සඳහා ලැබෙන, සූත්‍ර ධර්මයන්හි පැහැදිලි
කෙරෙන මෙම සදූපදේශ ජීවිතයට ප්‍රායෝගික කරගන්නවා නම් අප ජීවිතයේ මුහුණ දෙන ගැටලු අවම
කර ගැනීම ද, නිරාකරණය කර ගැනීම ද අපහසු නො වන්නේ ය. එය මෙලොව මෙන් ම පරලොව ද
සාර්ථකත්වය අත්කර ගත හැකි ගමනකි.
බෞද්ධයා කර්මය හා කර්ම ඵලය විශ්වාස කරන්නෙක් විය යුතු ය. විශ්වාසය මත පමණක් නො රඳා
ඒ අනුව කටයුතු කරන්නෙක් ද විය යුතු ය. එහිදී, දෛනික ජීවිතයේ දවස ආරම්භ කරන මොහොතේ
සිට නින්දට යනතුරුත් සිතිවිල්ලකින් පවා තමන්ට ද, අනුන්ට ද අහිත දේ නො සිතන්නට, නො
කරන්නට, වගබලා ගැනීමය බෞද්ධයකුගේ ක්‍රියා කලාපය විය යුතු වන්නේ. සරලව කියනවා නම්
පින් පව් දැන හැඳින, පාපයෙන් බැහැර ව, කුසලයෙහි යෙදිය යුතුම ය. අප විසින් කරනු ලබන
ක්‍රියාවන්ගෙන් සැලකිය යුතු කොටසක් සාංදෘෂ්ඨික ලෙස මෙලොව වශයෙන් ම විපාක ලබා දෙන බව
කර්මය පිළිබඳ බෞද්ධ ඉගැන්වීමට අනුව පැහැදිලි ය. එය එදිනෙදා ජීවිතයේ පින් පව් මැද
දිවි ගෙවන මිනිසුන් සේ ම තමන් ද මුහුණ දෙන අත්දැකීම් ඇසුරින් තමන්ට ම අත්දැක අවබෝධ
කර ගැන්මට යම්තාක් දුරකට හෝ විමර්ශනශීලී අයෙකුට නම් අපහසු නො වන්නකි.
බෞද්ධයන් ලෙස අප නිරන්තරයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා යන මෙත් සහගත
සිතිවිල්ලෙන් කටයුතු කළයුතු අතර, තමන් සිත දවන, තවන ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය,
තරහව, පළිගැනීම ආදී සිතිවිලි දුරු කරගත යුතු ම ය. කරුණාව, දයාව, මෛත්‍රිය,
අනුකම්පාව ආදී සිතිවිලි වර්ධනය කර ගැනීමට ධර්මය ම පිහිට කර ගැනීම තුළ අවුලෙන් අවුලට
පත්ව සිටින බොහෝ දෙනෙකුගේ ජීවිත නිරවුල් කර ගැන්මට පුළුවන.
සීලයෙන් සමාධියටත්, සමාධියෙන් ප්‍රඥාවටත් ගමන් කිරීම බෞද්ධ පිළිවෙත ය. කායික වාචසික
සීලයෙන් තොරව සමාධිය හෝ ප්‍රඥාව ලද නොහැකි ය. තථාගතයන් වහන්සේ ගිහියාට නිත්‍ය
ශීලයක් හඳුන්වා දී ඇත. ඒ පංච ශීලය යි. අෂ්ටාංග ශීලයෙහි ද, දස සීලයෙහි ද මූලාරම්භය
පංච ශීලය යි.
පස් පව් කරන ගිහියාගේ බෞද්ධකමක් නැත. දිනපතා උදේ සවස පන්සිල් සමදාන් වීම තුළ
බෞද්ධයාට එය අවධාරණය කරයි. ජීවිත බිය, සොර සතුරු බිය, අවිශ්වාසය, බොරුව, පමාව දුරු
කරන පන්සිල් පෞද්ගලික ව තමන්ටත්, පොදුවේ සමාජයටත් ඉතා වැඩදායක ශික්ෂාවන් ය.
බෞද්ධයන් ලෙස අපි පළමුකොට එහි පුරෝගාමී වී අන්‍යයන්ට ද ආදර්ශවත් වෙමු. |