බුද්ධ චීවරය දරා ගත්තා වගේ ම
රැක ගන්නත් ඕනෑ
මගේ ගුරු හාමුදුරුවන් වහන්සේ අති පූජ්‍ය අග්ගමහා පණ්ඩිත අභිධජ මහා රට්ඨගුරු බලංගොඩ
ආනන්ද මෛත්‍රෙය මහානායක හාමුදුරුවෝ. පුංචි කාලේ මා සංස්කෘත හෝඩිය ඉගෙන ගන්නට ගියේ
උන්වහන්සේ වෙතටයි. ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් ලෙස උන්වහන්සේ තුළ තිබූ කරුණාව, මෛත්‍රිය,
උතුම් ගුණධර්ම නිසා ම දෝ පුංචි කාලේ මගේ ලෝකයේ වීරයා වුණේ උන්වහන්සේ.
කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නා හිමි |
උන්වහන්සේගේ සමීපයේ වැඩි කාලයක් ගෙවන්නට ලැබීම මේ ජීවිතයේ මා ලද මහත් භාග්‍යයක්
ලෙසයි මා දකින්නේ. බුද්ධ පුත්‍රයෙක් ලෙස සසුන් කෙතට පිවිසෙන්නට, මේ සංසාර ගමන කෙටි
කර ගන්නට මා තුළ පෙළඹවීමක් ඇති කළේ උන්වහන්සේගේ දැක්මයි.
අම්මගේ, තාත්තගේ ආදරය, සෙනෙහස, සුරතලය මැද ළමා කාලය කෙළි දෙළෙන් ගෙවූ මට, ඔවුන්ගේ
ඇසුරෙන් ඈත්වීම දරා ගන්නට නොහැකි වුණත් මහානායක හාමුදුරුවන් වෙත පැවිදි වීමේ ආශාව
ඊටත් වඩා බලවත් වුණා. තාත්තා වගේ ම මගේ ඥාතීන් මා මහණ වෙනවාට බලවත් අකැමැත්ත
පළකළත්, මහණ වෙන්නට ඕනැයි හඬා වැටෙද්දී, ඉස්කෝලේ ගමන පවා වර්ජනය කරද්දී අම්මා මා
ළඟින් ම සිටියා. එදා උතුම් සසුන් දිවියට ඇතුළත් වන්නට මගේ අම්මාගේ කැමැත්ත, අවසරය
නො ලැබුණා නම් අද මට බුද්ධ පුත්‍රයෙක් ලෙස මේ සසුන් දිවියේ, මගේ සංසාර ගමන කෙටි කර
ගැනීමේ මාර්ගයට අවතීර්ණ වන්නටත් ඉඩ නොලැබෙන්නට තිබුණා.
පුංචි කාලෙම තමන්ගේ දරුවා, තමන්ගෙන් දුරස්වීම අම්මා කෙනෙක් කෙලෙස නම් දරා ගන්නද?
තුනුරුවන් කෙරෙහි තිබූ විශ්වාසය, බලවත් ශ්‍රද්ධාව වගේ ම, ජීවිතාවබෝධයත් නිසා ඉතාම
කැමැත්තෙන්, දුක නොහඟවා මගේ අම්මා මට පැවිද්දට අවසර ලබා දුන්නා.
“පුතේ , පැවිද්ද කියන්නේ මහා උතුම් දෙයක්. ඒත් රැකගැනීම අසීරුයි. මගේ පුතා මහණ
වෙනවා නම්, බුද්ධ චීවරය දරා ගත්තා වගේම ආරක්ෂා කරන්නටත් ඕනෑ. මහණ වෙනවා නම් කවදාවත්
සිවුරු හැර යන්න බෑ. එහෙම කළොත් මේ ගෙදරට බාර ගන්නේත් නෑ.”
මහණ වෙන්න ඕනැ’යි හඬා වැටෙන වෙලාවේ අම්මා දුන් ඒ අවවාදය මට අද වගේ මතකයි.
ගුවන්විදුලියේ මගේ ධර්ම දේශනාවක් ප්‍රචාරය වූ අවස්ථාවක නිවේදක මහතා විසින් මගේ
මෑණියන් ද සිහිපත් කරනු ලැබුවා.
“උතුම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඒ අම්මා බුදු පුතෙක් දායාද කළා. උන්වහන්සේගේ පින්බර
ජීවිතය ගැන අම්මාට සතුටු වෙන්නට පුළුවන්. එය හැම අම්මා කෙනෙකුටම ලැබෙන අවස්ථාවක්
නොවෙයි. පින්බර මවකටම පමණයි.” ඒ වදන් ඇසූ අම්මාගේ ඇස්වලින් සතුටු කඳුළු වැටුණු
බවත්, අම්මා නිහතමානී ආඩම්බරයක් ඇති කර ගත් බවත් මට නැගණියගෙන් දැන ගන්නට ලැබුණා.
මගේ අම්මාගේ සතුට මට ද ආශිර්වාදයක්.
මුණසිංහ වික්‍රමරත්න අබේවික්‍රම වීරමන් මගේ මෑණියන්ගේ නමයි. අම්මා ඉගෙන ගත්තේ
අතුරලිය මහා විද්‍යාලයේ. නිල්වලා ගඟ ගලාගෙන ගියා අම්මා ජීවත් වූ නිවෙස ඉදිරිපසින්.
ජීවිතයට මොන තරම් බාධක කම් කටොළු ආවත් අම්මා මැසිවිලි නොකියා ජීවිතයට මුහුණ දුන්නා.
ලැබූ අත්දැකීම් ජීවිතයට ශක්තියක් කර ගත්තා. හරියට ගල් බොරළු මතින් හැපෙමින්
මැසිවිලි නො නඟා ගලන ගඟ වගේ. මගේ අම්මා ජීවිතයේ ප්‍රශ්න ගැටලු ගැන කවදාවත් මැසිවිලි
කීවේ නෑ. බොහොම වැදගත් විදියට ඒවා විසඳා ගත්තා. සැප සතුට වගේ ම දුක්, කරදර ළඟත්
කම්පා වුණේ නෑ. අම්මාගේ ජීවිතය අල්පේච්ඡයි. මහා බලාපොරොත්තු තිබුණේ නෑ. හරිම සරලයි.
තමන්ට ඇති දේ, වත් පොහොසත්කම් කවදාවත් ලෝකයාට පෙන්වීමට ගියේ නෑ.
අඩුපාඩු, අඟ හිඟකම් නොවුණත් අම්මා කිසිම වෙලාවක කාලය අපතේ හරිනවා මා දැක නෑ. හරිම
කඩිසරයි. දවස පුරාම වැඩ. අපේ පවුලේ දරුවන් අට දෙනයි. පිරිමි දරුවො පස් දෙනයි,
ගැහැනු දරුවො තුන් දෙනයි. පුංචි කාලේ අපේ ඉවරයක් නැති දඟ වැඩ අම්මාට මොන තරම්
වෙහෙසක් ගෙන දෙන්න ඇතිද? මොන තරම් කාර්ය බහුල වුවත් අම්මා හැම මොහොතකම අප ගැන හොඳ
විමසිල්ලෙන් සිටියා.
තාත්තා කුඹුරු ගොවිතැන් කරන අතරේ වත්ත පිටිය පිරිසුදු කළේ අම්මා. අපේ වත්තේ කොස්,
දෙස්, එළවළු, පලතුරු විවිධ පලා වර්ග ඕනෑ තරම් තිබුණා. අම්මා අප පෝෂණය කළේ වස විස
නැති ඒ ආහාරවලින්.
මගේ අම්මා තුනුරුවන් කෙරෙහි හරිම ශ්‍රද්ධාවයි. ගමේ විහාරස්ථානයේ පේරු දානය කවදාවත්
වැරදුවේ නෑ. ගෙදරදීත්, පන්සලේ දීත් ඉතාම ගෞරවයෙන් ආගමික වත් පිළිවෙත් කරනවා. පෝයදාට
සිල් සමාදන් වීම අතපසු කරන්නේ ම නැති තරම්. සිල් සමාදන් වෙන්නට නොහැකි වුණ දවසටත්
ඇය අනිවාර්යයෙන් ම අපත් කැඳවාගෙන පන්සල් ගියා. විහාරයට ගිහින් වන්දනා මාන කළා.
පන්සලේ ගහක කොළක සෑදෙන රඹුටන් ගෙඩියකටවත් අත තියන්න අම්මා අපට ඉඩ දෙන්නේ නෑ.
“පන්සලේ දේවල් අයිති තුනුරුවන්ටයි.ඒවාට අත තියන්නවත් එපා. අපායට යනවා.”
අම්මා අපට ඉගැන්වූයේ එලසෙයි. අපේ ගෙදර තිබුණේ නිල්වලා ගඟ අසබඩ. ගේ ඉස්සාරහින් පෙනෙන
නොපෙනෙන දුරට පෙනුණේ කුඹුරු යාය. හරිම ලස්සනයි. ගං වතුර කාලෙට මුළු වෙල් යායම
වතුරෙන් පිරෙනවා. කෙසෙල් පඳුරු කපලා, පහුරු හදාගෙන අපි පාරු පදිනවා. ඒ කාලෙට නම්
අම්මාට නිදහසක් ඇත්තේ ම නෑ. අපි කරදරයක් කර ගනියි කියලා.
ඒ කාලේ කුඹුරු වැඩ කළේ අත්තම් ක්‍රමයට. වැඩ කරන අයට ඇඹුල උයන්න අම්මා හරිම දක්ෂයි.
අපේ ගෙදරට එන කිසිම කෙනෙක් බඩගින්නේ ආපසු ගියේ නෑ. අපේ ගෙදර බත් හැළිය කවදාවත්
හිස්ව තිබෙනවා මා දැක නෑ. ඒත් කිසිම දවසක අම්මා ආහාර අපතේ හැරියේ නෑ.
ලෙඩක්, දුකක් හැදුණ වෙලාවට අම්මා අපට දුන්නේ අත් බෙහෙත්. ඇය බොහේ ඖෂධ ගැන දැනගෙන
සිටියා. වස විස නැති ආහාරත්, නිවැරැදි සෞඛ්‍ය පුරුදුත් නිසා ඒ කාලේ අපට ලෙඩ දුක්
හැදුණේ ම නැති තරම්.
දැන් මගේ අම්මා වයස අවුරුදු අනූවත් පසුකරලා ඉතාම වාසනාවන්ත, පින්බර ජීවිතයත් ගත
කරනවා. ඇයගේ නිරෝගී බවේ රහස වස විස නැති ආහාරත්, කඩිසරකම නිසා ලැබුණු ව්‍යායාමයත්.
කුස්සියේ ඉවුම් පිහුම්වලට අම්මා අදටත් උදව් කරන්නේ නංගිගේ විරෝධයටත් සිනා සෙමින්.
බණ පොත් කියවන්න අම්මා හරිම කැමැතියි. රේරුකානේ චන්ද විමල මහා නායක හාමුදුරුවන්
ලියූ පොත් සියල්ලක්ම අම්මා කියවා තිබෙනවා. ධර්මය ගැන පුදුම දැනුමක් අවබෝධයක්
තිබෙනවා. පිරිත් පොත ම කට පාඩම්. හැමදාම හැන්දෑවට පුරුද්දක් ලෙස, බුදු පහන දල්වලා,
මල් පූජා කරල, ධම්ම චක්ක පවත්වන සූත්‍රය කියනවා. නව ගුණ වැල අතට අරගෙන හැමදාම
බුදුගුණ ගාථාව කියනවා. ලකුණු කර ඇති ආකාරයට අම්මා මේ වන විට ‘ඉතිපි සෝ’ ගාථාව
දෙලක්ෂ හැටහතර දහස් වතාවක් කියා තිබෙනවා. අම්මාට අභිධර්මය ගැන පවා හොඳ දැනුමක් ,
අවබෝධයක් තිබෙනවා.
වයෝ වෘද්ධ නිසා අම්මා දැන් සිල් සමාදන් වෙන්නේ ගෙදර. තවත් කිහිප දෙනෙක් සිල් සමාදන්
වෙන්න ගෙදරට එනවා. ගුවන් විදුලියේ ධර්ම දේශනා අහලා අම්මා අදටත් ඒ ගැන සාකච්ඡා කරන
ආකාරය පුදුම උපදවන සුළුයි. පෝයදාට සිල් ගන්නට ගෙදරට එන හැමෝටම ඇප උපස්ථාන කරන්නේ
නංගී. අම්මා වෙනුවෙන් ඇය ඉතා සතුටින් ඒ පින්කම් කරනවා.
ගමේ කාටහරි ලෙඩක් දුකක් වුණොත්, කරදරයක් වුණොත් අම්මා බොහෝ උදව් උපකාර කළා. කිසිම
කෙනෙක් දිහා තරහෙන්, කේන්තියෙන්, ඊර්ෂ්‍යාවෙන් බැලුවේ නෑ. කවදාවත් ප්‍රශ්නයක් ඇති
කරගත්තේ නෑ. තමන්ගේ ම අයට වගේ හැමෝට ම ආදරය, කරුණාව දැක්වූවා. හරිම මිත්‍රශීලීයි.
අම්මා හැම මොහොතෙම වැඩ කළේ කාගේවත් සිත් නොරිදෙන විදිහටයි. අම්මගේ නෑදෑයින්ට වඩා
හොඳින් තාත්තාගේ නෑදෑයින්ට සැලකුවා. ඒ නිසා අපේ ගෙදර කවදාවත් ප්‍රශ්න ඇති වුණේ නෑ.
මගේ අම්මයි, තාත්තයි හරිම ආදර්ශවත්. හරිම සමඟියි. සතුටින් ජීවිතයට මුහුණ දුන්නා.ඒ
ආදර්ශය පවුලේ හැම දරුවෙකුගෙම ජීවිතයට ආදර්ශයක් වුණා. අද පවුලේ හැමෝම සතුටින්, යහපත්
ව, ජීවත් වෙනවා. අම්මාගේ උපන්දිනය දා ට දරු මුණුබුරන් හැමෝම එකතු වෙනවා. ඒ සමගිය,
එකමුතුකම, ආදරය, ගෞරවය දකින අම්මා අදත් ජීවත් වන්නේ හරිම සතුටින්.
ළමා ලෝකය විතරක් නොවෙයි. මියයනතුරුම අපේ ජීවිත ලස්සන කරගන්න, යහපතට හසුරුවා ගන්න,
කාටවත් කරදරයක් නොවන ලෙස ජීවත් වෙන්න අම්මගේ, තාත්තගේ ආදර්ශය මොන තරම් බලපානවා ද
කියලා මම තේරුම් ගත්තේ මගේ මව්පිය දෙදෙනාගෙන්. පිනට, දහමට ලැදි, කරුණාව මෛත්‍රිය
ආදී උදාර ගුණ ධර්මයන්ගෙන් පෝෂණය වූ මව්පිය ඇසුරමයි දරුවන්ගේ ජීවිතයට වාසනාව ගෙන
එන්නේ.
මේ සංසාර ගමන කෙටි කරගෙන උතුම් නිර්වාණ සුවය ලබා ගැනීම මගේ පැවිදි දිවියේ එකම
අරමුණයි. ඒ කාලය තුළ පවා මට මගේ මව්පියන් උපදින හැම ආත්ම භවයක දී ම මුණ ගැසේවා
කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ. |