මාලිගාවිල
බුද්ධ ප්‍රතිමා වහන්සේ
පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
බුදු පිළිමයේ උපත ගැන පැන නැගී ඇති ප්‍රශ්න සත්‍යවශයෙන් ම ඉන්දියානු ප්‍රතිමා
ශිල්පයෙහි සුල මුල පිළිබඳ සාමාන්‍ය ප්‍රශ්නයේ කොටසකි.
මධ්‍ය කාලීන යුගයේ දී නිමැ වූ ප්‍රතිමා දෙස බලන විට ඉන්දීය නිර්මාණ ලක්ෂණවලින් ගහණ
වූ නිසා ඒවා ඉන්දියානු පසුබිමකින් උපන් ඉන්ද්‍රීය ශිල්පීන්ගේ නිමැවුමක් බව එක හෙළාම
නිගමනය කරන්නට යෑම ස්වභාවික ය. බුදු පිළිම ලංකාවේ පමණක් නොව පුරාණ ජම්බුද්වීපයේ පවා
නිර්මාණය වූයේ පසු කලක ය. බුදු පිළිම නිර්මාණයට පෙර වැඳුම් පිදුම් කළ සංකේත,
සිරිපතුල, ධර්ම චක්‍රය, ස්තූපය, ශ්‍රී මහ බෝධීන් වහන්සේ, ඡත්‍රය, හා වජ්‍රාසනය ආදිය
වේ. මේ බව පුරාණ භාරතයේ සාංචි, භාරුත් හා දකුණු ඉන්දියාවේ අමරාවතී ආදීි පැරැණි
සිද්ධස්ථානවල අද පවා දක්නට ලැබෙන මූර්ති කැටයම්වලින් ද හෙළි වේ. පුරාණ ලංකාවේ ද
බුදුරජාණන් වහන්සේ නිරූපණය කළ ප්‍රතිමා නිර්මාණයට පෙර බෞද්ධ ජනතාව වැඳුම් පිදුම්
කළේ ආයත චතුරශ්‍රාකාර හෝ හතරැස් ශිලා පුවරුවල කැටයම් කර ඇති (අල්ප උන්නතව)
සිරිපතුල්වලට බව අනුරාධපුර මිහින්තලේ, සිතුල්පව්ව, නැගෙනහිර පළාතේ දීඝවාපී, රජගල,
යාපනේ, කදුරුගොඩ ආදී පැරැණි පුදබිම්වලින් හෙළි වන සිරිපතුල් ගල්වලින් පැහැදිලි වේ.
මෙම බොහෝ සිරිපතුල් ගල් හතරැස් ය. ඒවායේ සිරිපතුල් ලාංඡන දෙකක් කොටා තිබේ. මේවා
අනුරාධපුරේ රුවන්වැලි සෑය, මිරිසවැටිය, මිහින්තලේ කණ්ඨකචේතිය ආදී දාගැබ් අසල අදත්
දැකිය හැකි ය. ඒවා පුරාවිද්‍යා කෞතුකාගාර වල ද දක්නට ඇත.
(පැරැණි හෙළ කලා විස්කම් - සිරිසමන් විජේතුංග - පි. 72 - 2017)
වැල්ලවාය, මොනරාගල මහා මාර්ගයේ බුත්තල මංසන්ධියෙන් හැරී දකුණට කි.මී. 16 පමණ දුර
ගිය තැන හමුවන මෙම හිටි බුදු පිළිමය ලංකාවේ ඇති විශාලතම අනාබද්ධ ශිලා ප්‍රතිමාව වේ.
බොහෝ කලක් බිම පතිත වී තිබීම නිසා සම්පූර්ණයෙන් ම පාහේ විනාශ වී ගොස් තිබූ පිළිමයට
ස්වභාව ධර්මයෙන් ද බලවත් හානි සිදුකොට තිබුණි. එසේ වුවත්, මෑත කාලයේ දී රාජ්‍ය
ඉංජිනේරු සංස්ථාව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ නැවත නඟා සිටුවීමට
හැකිවිය. එසේ සංරක්ෂණය කිරීමේ දී ප්‍රතිමාවේ මුහුණ ද, දකුණු අත ද, දෙදනහිසින් පහළ
කොටස් ද, චීවරයේ ඇතැම් කොටස් ද පෙර තිබූ පරිද්දෙන් ප්‍රතිනිර්මාණය කරන්නට සිදුවිය.
මේ කටයුතු කරනු ලැබුවේ මාපලගම විපුලසාර හිමියන්ගේ මඟ පෙන්වීම මත ය.
එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා 1991 වසරේ සැප්තැම්බර් මාසයේ දී
ඓතිහාසික මාලිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමෙන් පසුව
ප්‍රථම මල් පූජාව සිදු කළ අවස්ථාව. |
මේ මහා බුදුපිළිමය පිළිබඳ ව සඳහන් වන මහා වංස විස්තරයට අනුව මෙය ක්‍රි.ව. (රාජවර්ෂ)
හත්වන සියවසෙහි රුහුණේ විසූ අග්ගබෝධි නම් කුමරුවකු විසින් කරවන ලද්දක් සේ පිළිගත
හැකි ය. ඔහු විසින් කානගාමයේ කරවූ සෘද්ධියෙන් මැව්වාක් වැනි වූ ශෛල ප්‍රතිමාව මෙය
බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි. (පුරාවිද්‍යා පාලන වාර්තාව - 1934
පි. 21 - 22 ) තවදුරටත් මහාවංස විස්තරයට අනුව එසේ කානගාමයේ ඉදි කළ බුද්ධ ප්‍රතිමාව
මෙම මාලිගාවිල පිළිමය ලෙසිනුත්, කානගාම යනු වර්තමාන ඔක්කම්පිටිය ලෙසිනුත් නිගමනය
කෙරී ඇති අතර, එකල මෙම පිළිමය සහිත විහාරය හඳුන්වා ඇත්තේ පඨිමා විහාර නමිනි.
වර්තමාන සංරක්ෂණ කටයුතුවලින් පසුව එම ප්‍රතිමාවේ මුහුණෙහි කරුණාභරිත බවක් පෙන්නුම්
කෙරේ. රවුම් හිස කෙස්වලින් හිස සරසා ඇතත්, උෂ්නිෂයක් හෝ සිරස් පතක් තිබූ බවට සලකුණු
දක්නට නැත. බුද්ධ ප්‍රතිමාවේ ශරීරාංග එකිනෙකට ගැළපෙන සේ සකස් කර තිබීම මෙම
ප්‍රතිමාවේ තාත්විකත්වයට බෙහෙවින්ම හේතු වී තිබේ. අඩි 4 ක් තරම් වූ විශාල පද්ම
පීඨයක පිහිටුවා ඇති මෙම බුද්ධ ප්‍රතිමාව වෙනත් ස්ථානයක නෙළා රැගෙනවිත් මෙහි
පිහිටුවන ලද බවට නිගමනය කළ හැකි ය. මෙම ප්‍රතිමාව සඳහා (පිළිම ගෙයක්) පඨිමා ඝරයක් ද
තිබූ බවට සාක්ෂි හමු වී ඇත. මේ ස්ථානය පිළිබඳ සාධක සොයා ගැනීමට නොහැකි වුවත්, මෙය
මහාවංසයේ සඳහන් වන අරියාකර විහාරය විය හැකි බව ද අදහස් කෙරේ.
ලක්දිව බුද්ධ ප්‍රතිමාව - මහාචාර්ය මාලිංග අමරසිංහ පි. 83 - 84 ශ්‍රී ලංකාවේ බුද්ධ
ප්‍රතිමා මහාචාර්ය ඒ ලගමුව පි. 66 - 1999
හුණුගලින් නෙළූ මෙම බුදු පිළිමය කැබලි සිය ගණනකට කැඩී බිම පතිත වී තිබුණි. මෙහි
සිරස, බඳ, දකුණු අත, පද්මාසනය සහ සිරිපතුල් කැඩී වෙන් වී තිබුණි. 1976 දී මෙම
පිළිමය එසවීමට යෑමේ දී පිළිමයේ දනහිස හා පාද අතර කොටස පුපුරා ගියේ ය. බුදු පිළිමය
සඳහා වූ පිළිමගෙයට අයත් අත්තිවාරමට අයත් අවශේෂ සංරක්ෂණය කර ඇත. එය පැත්තක් අඩි 104
වූ හතරැස් පිළිම ගෙයකි. දොරටුවේ සඳකඩ පහණකි. මෙයට නුදුරුව ඇති දඹේගොඩ ද එකම
පුදබිමක් ලෙස තිබුණි. එහි අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයක් ද ඇත.
(සිංහල දේශීය විශ්ව කෝෂය - ආචාර්ය සෝමපාල ජයවර්ධන - පි. 137)
මාලිගාවිල මොනරාගල දිස්ත්‍රික්කයේ ඩොලමයිට් හුණුගලෙන් නිර්මාණය කරන ලද මෙහි උස
පද්මාසනය සමඟ අඩි 41 ක් අඟල් 10 කි. මෙය සම්පූර්ණයෙන් ම වටකුරුව නෙළා ඇති ශ්‍රී
ලංකාවේ උසම බුදුපිළිමය වේ. කලක් තිස්සේ කැඩී බිඳී බිම පතිතව තිබී යළි මෑතක දී
සංරක්ෂණය කර නගා සිටුවා ඇත. මේ මහා බුද්ධ ප්‍රතිමාව නරඹන්නා තුළ බුදුරජාණන්
වහන්සේගේ උදාර මහේශාක්‍යතාව පිළිබඳ හැඟීමක් දනවයි. දකුණතින් දක්වා ඇත්තේ අභය
මුද්‍රාව යි. චීවරය ඉතා විසිතුරු ලෙස, ක්‍රමවත් ව , අවතල රැළි සහිත ව පෙන්වා ඇත්තේ
සිවුරේ වියමනේ සියුම් බව ද ප්‍රකාශ වන පරිදි ය.
මහාවංශයේ සඳහන අනුව මෙම සිද්ධස්ථානය හතර වන අග්බෝ රජු (ක්‍රි.ව. රාජ වර්ෂ 667 - 683
විසින් කරවන ලද කානගාමයේ විශාල ප්‍රතිමා ගෘහය සේ පහසුවෙන් හඳුනා ගත හැකි ය. තවත්
පුවතකට අනුව අග්ගබෝධි කුමාරයා අඩි 15 උස මෛත්‍රෙය බෝධිසත්ව රූපයක් හා විශාල බුද්ධ
ප්‍රතිමාවක් සාදා අරියාකර විහාරයට පූජා කළේ ය. මේ නිසා දෙවනුව සඳහන් බෝධිසත්ව
ප්‍රතිමාව මේ බුදු පිළිමයට කිට්ටුව පිහිටි අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව ද
(දඹේගොඩ) සංරක්ෂණය කර ඇත. මහා වංසයේ සඳහන් වන බුද්ධ ප්‍රතිමාව හා හැම අතින් ම
සැසඳෙයි.
(ශ්‍රී ලංකාවේ මූර්ති - මහාචාර්ය නන්දන මුටිවොග්, මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක
ආචාර්ය රෝලන්ඩ් සිල්වා පි. 58 -මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රකාශනයකි. 2007)
සංරක්ෂණය කරන ලද මෙම හිටි බුදු පිළිමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම
සංස්කෘතික අරමුදල අනුග්‍රහයෙන් සංරක්ෂණය කරන ලදී.
මාලිගාවිල බුදුපිළිමයට අයත් පිළිමගෙය මතුකර ගැනීමේ දී උළුවඩුවන්ගේ ප්‍රයෝජනය සඳහා
අකුරු කොටන ලද ගඩොල් කැටයක් හමු වී ඇත. එහි අකුරු ක්‍රි.ව. 5 - 7 සියවස්වලට අයත්වේ.
(පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය සංස්කාරක පණ්ඩිත ආචාර්ය නන්දදේව (1990)
|