පැවිද්ද නම් පහසු වූවක් නොව එය ඉතා බැරෑරුම් ය
අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති
තිරිකුණාමලයේ
ශ්‍රී ආනන්ද නා හිමියන්ගේ පැවිදි දිවියෙහි වසර 50 ක් ගත වීම නිමිත්තෙනි
කේ.කේ. සුගතපාල
ලේකම් - ත්‍රිපිටක,
පරිවර්තන මණ්ඩලය
බුද්ධශාසන අමාත්‍යාංශය,
බෞද්ධ කටයුතු
දෙපාර්තමේන්තුව
"බුදුරජාණන් වහන්සේගෙන් රාහුල කුමරු දායාද ඉල්ලමින් පිටුපස ගියේ ය. විහාරයට වැඩි
බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන් වහන්සේ අමතා රාහුල කුමරු පැවිදි කරන්න යැයි නියම
කළ සේක. "
තිරිකුණාමලයේ ආනන්ද මහා නා හිමි |
බුද්ධත්වයෙන් දෙවන වස පිය මහ රජුගේ ආරාධනාවෙන් රජගහනුවර සිට කිඹුල්වතට තථාගත
බුදුරජාණන් වහන්සේ වැඩම කළේ විසි දහසක් මහ රහතන් වහන්සේලා සමගින් ය. මේ සියල්ලෝ පෙර
පින් තිබූ හෙයින් , ඒහි භික්ෂු භාවයෙන් පැවිද්ද හා උපසම්පදාව ලැබූ බුද්ධ ශ්‍රාවකයෝ
වෙති.
කිඹුල්වතට වැඩ නිග්‍රෝධාරාමයේ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ සත්වෙනි දින සුද්ධෝදන රජ
මාලිගාවට වැඩම කළෝ , එහි දී රාහුල මාතාවෝ සත් හැවිරිදි රාහුල පුතු බුදුරජාණන්
වහන්සේ සමීපයට පිටත් කළේ , දායාද ඉල්ලන ලෙස උගන්වා ය. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ
සිටි රාහුල කුමරු “ ශ්‍රමණයන් වහන්ස, ඔබගේ සෙවණ මට සැපය” යි කී හ. (සුඛා තෙ සමණ
ඡායා”ති.) එහි කටයුතු අවසන් ව හුනස්නෙන් නැගිට වඩින බුදුරජාණන් වහන්සේගෙන් රාහුල
කුමරු දායාද ඉල්ලමින් පිටුපස ගියේ ය. විහාරයට වැඩි බුදුරජාණන් වහන්සේ සැරියුත්
තෙරුන් වහන්සේ අමතා රාහුල කුමරු පැවිදි කරන්න යැයි නියම කළ සේක. “ස්වාමීනි, මම කෙසේ
රාහුල කුමරු පැවිදි කරම් දැ”යි ඇසී ය.
“අථ ඛො භගවා ආයසමන්තං සාරිපුත්තං..... තථාහමනෙත රාහුල කුමාරං පබ්බාජෙමි ති”
එවිට බුදුරජාණන් වහන්සේ මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්ෂූන් අමතා ‘මහණෙනි මම සරණ
ගමනයෙන් හෙරණ (සාමණේර) පැවිද්ද අනුදනිමි. මෙසේ පැවිදි කළ යුතු ය. පළමු කොට කෙස්
රැවුල් බැහැර කරවා කසාවත් හඳවා..... තුන් සරණ ගමනයෙන් හෙරණ පැවිද්ද අනුදනිමි”යි
වදාළ සේක.
(අථ ඛො භගවා එතස්මිං... ඉමෙහි තීහි සරණ ගමනෙහි සාමණෙරපබ්බජ්ජන්ති)
(මහා වග්ගපාලි 1 - මහාඛන්ධක - රාහුල වස්තු කථා - පිටුව 204)
බුදුරජාණන් වහන්සේ හා සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ අතර, ඉහත දැක් වූ සංවාදය තුළින්
දැක්වෙනුයේ මේ සාසනයේ සාසනුලෝමික පළමු පැවිද්ද සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින්
රාහුල කුමරු පැවිදි කරවීමෙන් ආරම්භ වී ඇති බව ය. මෙසේ සැරියුත් මහරහතන් වහන්සේගේ
ආචාර්යත්වයෙන් ඇරැඹ අවිච්ඡින්න ව මෙතෙක් පැවැත එන ථේරවාදී මේ සාසනයේ වර්තමානය
නියෝජනය කරන සාසනභාරධාරි මහා සඟ පරපුරට ඇත්තේ කෙතරම් අභිමානවත් අතීතයක් ද? නො
සිඳුණු ඒ උතුම් සඟ පරපුරේ වටිනාකම කෙතරම් අගය කළ යුතු වන්නක් ද?
කුඩා අවදියේ ම සාසනයට ඇතුල්වන අප මහා සංඝරත්නය ජීවිතයේ අවසන දක්වා සුපේශල
ශික්ෂාකාමී ව තමන්ගේ මුළු ජීවිතයම බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා කැප කරමින් සිදු
කරනු ලබන මේ ක්‍රියාවලිය තුළ ආත්මීය වශයෙන් කෙතෙක් පරිත්‍යාග කරන්නහු වෙත් ද? සත්‍ය
වශයෙන් ම සිල්වත්,ගුණවත් ශ්‍රාවක සංඝරත්නය ගිහි අපට නම් පින් කෙතක් ම ය.
වරක් තම සමීපතම දායක පවුලක සත් හැවිරිදි දරුවකු ඔහුගේ ද කැමැත්තෙන් මව්පිය අවසරයෙන්
පැවිද්දට සැරියුත් මහතෙරුන් වෙත බාර දුන් අවස්ථාවක දී උන්වහන්සේ කුඩා දරුවා අමතා
“තිස්ස පැවිද්ද නම් පහසු වූවක් නොවේ, ඒ පැවිද්ද ඉතා බැරෑරුම් ය. උණුසුම් දේ වුවමනා
විට සිහිල් දේ ලැබෙන්නේ ය. සිහිල් දේ වුවමනා විට උණුසුම් දේ ලැබෙන්නේ ය. පැවිද්දෝ
ඉතා ම දුක සේ ජීවත් වෙති. වළඳන්නෝ එක් වේලක් ය. ලත් දෙයකින් සතුටු විය යුතු ය.
ගුරුන්ට, වැඩිමහල්ලන්ට සුවච ව යටත් විය යුතු ය. ගුරුන් , වැඩිමහල්ලන් ඉදිරියෙහි
වහන් දැරීම, ඔවුන් දැක දැක උසසුන්වල හිඳීම, හිස වසා හිඳීම, දෙවුර වසා අත් පා දිගු
කරමින් කතා කිරීම, කාරා කෙළ ගැසීම, සිටින විට තනිපයින් සිටීම, හේත්තු වී සිටීම, අත්
පාවල ඇට කැඩීම ආදිය නො සුදුසු බැවින් නොකළ යුතු ය. ගෙදර කෙතරම් පොහොසත් වුවත්,
අහංකාර නොවිය යුතු ය. පා පිස්නා බිස්සක් සේ මාන්නයෙන් තොරව වාසය කළ යුතු ය. කාම
භෝගී සේ, මල් ගඳ විලවුන් දැරීම නො හොබනේ ය. හිස තිබිය දී රැවුලත් , රැවුල තිබිය දී
හිසත් බෑම නො සුදුසු ය. මුදල් ඉපැයීම, මුදල් අත පත ගෑම, මුදල් ගනුදෙනු කිරීම,
වෙළෙඳාම් කිරීම, වෙදකම් කිරීම, ඉඩකඩම් වගා කිරීම, කඩපිල් යෑම, නොකල්හි ගම් වැදීම,
ගිහියන් හා එක්ව විසීම, ඔවුන්ගේ පණිවිඩ පණත් ගෙන යෑම, බලිතොවිල් කිරීම, ගුණ නුවණ
නැත්තන් ඇසුරු කිරීම යනා දී වූ මේවා බුදුරජාණන් වහන්සේ විසින් තහනම් කරන ලද ය.
එහෙයින් තම මවුපිය සහෝදරාදීන් සමගින් හිතෛෂී ඤාතීන් ද පමණක් නොව ගිහියන්ට අයත්
සම්පත් යැයි සම්මත සියල්ල මුළුමනින් අත්හැරිය යුතු ය. නොකටයුතුත් බොහෝ ය. කටයුතුත්
බොහෝ ය. ඔබ ඉතා සියුමැලි ය, සැපයෙන් හොඳට වැඩුනෙහි ය. පැවිදිකම් කරනු ඔබට පහසු නොවේ
යයි සැරියුත් තෙරණුවෝ තිස්ස පුංචි දරුවාට වදාළහ. “ස්වාමීනි, කටයුතු දේ කරන්නටත්,
නොකටයුතු දේ නොකරන්නටත් මට හැකි ය. ඔබ වහන්සේගෙන් අවසර ලැබෙන ලෙසට සියල්ල කරන්නෙමි.
මා පැවිදි කරන්නැ’යි කී විට උන්වහන්සේ තච පංචක කර්මස්ථානය කියවා ඒ පුංචි දරුවා
පැවිදි කළාහු ය.
(“සද්ධර්ම සාගර ධම්මපද වර්ණනා පිටු 865 - වනවාසික තිස්ස සාමණේර වස්තුව)
තිස්ස, පබ්බජ්ජා නාම දුක්කරා, අබ්භූණෙහන අතෙථි සති සීතලං ..................
තචපඤ්චක කම්මට්ඨානං ආචික්ඛිත්වා.......................... (ධම්මපද අට්ඨකතා - 1 -
257 වනවාසික තිස්ස තෙථර වත්ථු)
මෙසේ පැවිදිවීම පහසු කටයුත්තක් සේ දැනුනත් , පැවිද්ද තළ රැඳී සිටීම කෙතරම් අසීරු ද
යන්න බුදුවදන් තුළ තවත් බොහෝ තන්හි සඳහන් ව තිබේ. මෙවන් පරිසරයක් , පසුබිමක් තුළ
අධ්‍යයතන යුගයේ වුවද, අවුරුදු දශක නවයකට අධිකව ද ප්‍රව්‍රජ්‍යාවේ රැඳී සිටින භික්ෂු
පරපුරක් වැඩවසන සමයක අප කථානායක ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ
මහානායක අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර උපාධ්‍යාය, ශ්‍රී ප්‍රඥාසීහ ධර්මකීර්ති
ශ්‍රී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති අතිපූජ්‍ය
තිරිකුණාමලයේ ආනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පැවිදි දිවියට අඩ ශතවර්ෂ පූර්ණයක්
සම්පූර්ණ වීම වත්මන් තරුණ භික්ෂූන් වහන්සේලාට මහඟු ආදර්ශයක් වේ. විනය ධර, ත්‍රිපිටක
ධර්ම ධර, ශික්ෂාකාමී මෙවන් උතුමන්ට සීල, සමාධි, ප්‍රඥා ගුණ සලකමින් මෙතෙක් කල් කැපව
උපස්ථාන කළ දායක කාරකාදීන්ට හා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සිදුකරන
ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තන මණ්ඩලයේ වසර 24 කට ආසන්න කාලයක් කටයුතු කරමින් අපට
ඇසුරු කිරීමට ලැබීමෙන් ද, අපිත් පින්කර ඇතැයි දැනෙන විට ද ඇත්තේ මහත් සතුටකි.
දොළොස් දෙනෙකුගෙන් යුත් පවුලක පස්වැනියා ලෙසින් 1958 අප්‍රේල් 20 දින ඉපිද 1969
ඔක්තෝබර් 25 දී 11 හැවිරිදියේ දී ප්‍රවුජ්‍යා භූමියට ඇතුල් වන මහානායක තෙරණුවෝ
සත්පුරුෂ කල්‍යාණ ගුණ ඇති නේතෘන් වහන්සේ නමෙකි. උන්වහන්සේට මේ පැවිදි දිවියතුළ ම මග
ඵල සාක්ෂාත් වේවා හෝ අසංඛත උතුම් නිවණ මේ ගෞතම බුද්ධශාසනයේ දී ඉක්මන් භවයක දී ම හෝ
ලැබේවා යි අපගේ අධිෂ්ඨානය වන්නෙමු ය.
මහා නාහිමි පැවිදි ව වසර 7 ක් 8 ක් ඉක්ම ගිය තැන පරලොව සැපත් පින්වත් පියාණන්
උන්වහන්සේගේ සමරු පොතේ සටහනක මෙසේ සඳහන් කර තිබී ඇත.
“ගුරු දේවයන් වැඩි මඟ යළි යළි සරසා
ගරු නම රැක ගන්න
බස - රැස - දෙස සකසා”
එමෙන් අපගේ අධිෂ්ඨානය වනුයේ ද, “ප්‍රඥා, සීල, සමාධි, සුලකළ මහ උතුම් ගුණෙනි සුපූජිත
අනඳ මහා නා සමිඳාණෝ වැජඹේවා දිගුකල්.” |