[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වස්සානය සහ සිවුරේ කථාව

වස්සානය සහ සිවුරේ කථාව

" භික්ෂු ශාසනය ඇරඹුණු සමයෙහි භික්ෂූන් වහන්සේ බොහොම අල්පේච්ඡ යි. කල්යත් ම උන්වහන්සේලාට නොයෙක් පුදපූජා ලැබෙන්නට පටන් ගත්තා. පියාපත් බර පමණක් ඇති පක්ෂීන් මෙන් බොහොම සැහැල්ලුවෙන් සිටිය මේ පිරිස දැන් බහුභාණ්ඩික වී, අල්පේච්ඡ බවින් තොර වී ඇති බවක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කර ගත්තා."

මේ දිනවල භික්ෂූන් වහන්සේ විසින් හැඳ පෙරව ගන්නා සිවුර පිළිබඳ පොදුවේ බොදු ජනතාව අතර වඩාත් කතාබහට ලක්වන කාලයක්. කවුරුත් බලන්නේ පන්සලේ පැවැත්වෙන කඨිණ පින්කමේ දී ඊට සම්බන්ධ වී පින් එක්රැස් කර ගන්නට යි. සිවුර පිළිබඳ බොදු ජනතාව තුළ ඇත්තේ මහත් ගෞරවයක්, අසීමිත භක්තියක්. අරහත් ධජය ලෙසයි මෙය හඳුන්වන්නේ. ඒ නිසා මේ සිවුර හෙවත් චීවරය ගැන අපේ බුදුරජාණන් වහන්සේගේ දෙසුම් ඇසුරෙන් යමක් විමසා දැන ගැනීම වටිනවා කියා සිතනවා.

දවසක් බුදුරජාණන් වහන්සේ රජගහනුවර සිට විශාලා නුවරට පා ගමනින් වැඩම කරමින් සිටියා. හදිසියේ මේ ගමන් මාර්ගයෙහි ඈත එපිට කෙළවරෙන් ඉදිරියට පැමිණෙමින් සිටි පිරිසක් උන්වහන්සේගේ නෙත ගැටුණා. මේ අය හොඳට වෙහෙසට පත්වෙලයි මේ ඉදිරියට එන්නේ. තව තවත් ළං වෙන පිරිස දුටු උන්වහන්සේට ඒ වෙහෙසට හේතුව වැටහුණා. එක උරහිසක් මත කුමක් දෝ මහ බරක් දරමින් ඒ උරහිස එක් ඇලයකට පාත් කර ගෙන එන මේ හෙම්බත් වුණු පිරිසක්. තවදුරටත් ළං වෙන කොට උන්වහන්සේට වැටහුණා මේ කවරෙකුත් නොව සිවුරු රැසක් බරින් බරට කරට ගත් තමන්වහන්සේගේ ම ශ්‍රාවක භික්ෂූන් පිරිසක් මෙසේ ඉදිරියට වඩිමින් සිටින බව. මේ අය වෙළෙන්දන් වගේ මේ බර ඔසවා ගෙන එක උරහිසක් ඇල කරගෙනයි මේ එන්නේ. තව සමහර කෙනෙක් ඇකයෙන් දරුවන් උස්සගෙන යනවා වගේ සිවුරු රෙදි පොට්ටනි ඇකයේ රුවාගෙන බරට අඩි තබමින් ඉදිරියට ඇදෙමින් සිටියා. පිරිස ඉදිරියට ළං වෙත් ම උන්වහන්සේ මහත් සේ සංවේගයට පත් වුණා. මේ තමන් වහන්සේ විසින් ආරම්භ කරන්නට යෙදුණු භික්ෂු ශාසනයේ ම පැවිදි වූ පිරිසක් බව හඳුනා ගත් බුදුරජාණන් වහන්සේ ,මගේ මේ ශාසනයේ මෙවැනි පිරිසක් ද මහණුන් ලෙස ඉන්නේ? මේ පැවිදි බව වඩමින් ද සිටින්නේ? මේ සිවුරු බහුලබව නිසා නොවේ ද? සිවුරු පාවිච්චියට ළඟ තබා ගැනීම සම්බන්ධ ව දැන් ඉතින් සීමාවක් තැබීමට සුදුසු කාලය බව උන්වහන්සේට වැටහුණා.

එදා මේ භික්ෂු ශාසනය ඇරඹුණු සමයෙහි භික්ෂූන් වහන්සේ බොහොම අල්පේච්ඡ යි. කල්යත් ම උන්වහන්සේලාට නොයෙක් පුදපූජා ලැබෙන්නට පටන් ගත්තා. පියාපත් බර පමණක් ඇති පක්ෂීන් මෙන් බොහොම සැහැල්ලුවෙන් සිටිය මේ පිරිස දැන් බහුභාණ්ඩික වී, අල්පේච්ඡ බවින් තොර වී ඇති බවක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කර ගත්තා.

ඒ විතරකුත් නොවෙයි, එදා මුල් යුගයේ භික්ෂූන් වහන්සේ සොහොන් බිම්වල මිනී ඔතා විසිකොට ඇති රෙදි ඇතුළු එවැනි පාංශුකූල ගණයට වැටෙන වස්ත්‍ර විසිතුනක් අතුරෙන් යම් වර්ගයකින් හෝ කිහිපයකින් රෙදි කෑබලි එකතු කර එහි තැවරුණු පණුවන් හා වෙනත් අපද්‍රව්‍ය ඉවත් කොට සෝදා පිරිසුදු කර ගත් පසු ඒවායින් සිවුරක් නිමවා ගෙන පාංශුකූල චීවර, නමින් හැඳීන් වූ සිවුරට පමණක් සීමා වුණ ත් , පසුව භික්ෂූන් වහන්සේ ට බුදුරජාණන් වහන්සේ ,ගහපති චීවරය අනුදැන වදාළා. ඒ කරුණට හේතු වුණේ අපූරු සිදුවීමක් පැහැදිලි කිරීම මෙහි දී වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ තුන්දොස් කිපීමෙන් දරුණු රෝග තත්වයකට පත් වුණා. ඒ වනවිට බිම්බිසාර රජතුමාට ඇති වූ බගන්ධරා රෝගය සුවපත් කළ, උදේනි නුවර චණ්ඩපජ්ජෝත රජතුමාට වැළඳුණු පාණ්ඩු රෝගය සුවපත් කළ, එදා බොහොම කීර්තිමත් වෛද්‍යවරයෙකු වූ ජීවක වෙදැදුරු තුමාට ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ගේ රෝගී තත්වය දන්වා යැවුවා. ඉතින් කුසට දෙනු ලබන විරේක තිහක් බුදුරජාණන් වහන්සේට ලබා දීලා උන්වහන්සේ සුවපත් කළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේට වෙදකම් කර උන්වහන්සේ සුවපත් වූ නිසා මහත් වූ ප්‍රීතියට පත් ජීවක වෙදැදුරුතුමා වෙදකම් කිරීමෙන් තමන්ට ත්‍යාග වශයෙන් චණ්ඩපජ්ජෝත රජුගෙන් ලැබුණු සීවෙය්‍යක නම් වස්ත්‍ර යුගලක් බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඉතින් මේ අවස්ථාවේ දී වෙදැදුරු තුමා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා ,ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේගේ ශ්‍රාවක පිරිසටත් මෙවැනි වස්ත්‍ර පිළිගෙන සිවුරු කර පැළ¼දීමට අනුදැන වදාරන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම පිළිගෙන භින්ෂූන් වහන්සේ අමතා මෙවැනි වටිනා වුව ද වස්ත්‍ර සිවුරු සඳහා පිළිගැනීමට අනුදැන වදාළා.

ඒ විදිහට ලබා ගත් වස්ත්‍රයෙන් පිළියෙළ කර ගන්නා සිවුර,ගහපති චීවරය, නම් වුණා. ඉතින් කොහොම වුණ ත් මේ චීවරය යන වචනයෙන් අදහස් කරන්නේ කෑලි කෑලි වශයෙන් රෙදි එකතු කර මසා පිළියෙළ කර ගන්නා භික්ෂූන් වහන්සේ විසින් පොරවනු ලබන සිවුර යි.

ඉතින් කෙසේ වුව ත් බුදුරජාණන් වහන්සේගේ මේ නියමය නිසා සැදැහැවතුන් අතර සිවුරු පූජාව බහුල වන්නට වුණා. මේ කරුණ නිසා ම භික්ෂුන් වහන්සේ වෙත ලැබුණු සිවුරු ප්‍රමාණය වැඩි වුණා. එදා අද මෙන් එක් තැනක ස්ථිර පන්සල් , ගෙවල් ඉදි කරවා ගෙන භික්ෂු වාසස්ථාන තිබුණේ නැහැ. භික්ෂූන් වහන්සේලා සංචාරක ජීවිතයක් ගත කළේ. මේ නිසා තැනින් තැන වඩින භික්ෂූන් වහන්සේට එසේ වැඩම වනවිට සිවුරු බරට බරේ පොදි බැඳගෙන වඩින්නට වුණා. මෙහෙම භික්ෂු පිරිසක් තමා එදා බුදුරජාණන් වහන්සේට රජගහනුවර සිට වේසාලිය බලා වැඩම කරද්දී ඉදිරියට හමු වුණේ. ඒ වගේම තමා දායක පිරිස් සිවුරු රැගෙන තාවකාලික ව භික්ෂූන් වාසය කරන පන්සල්වලට පැමිණෙන විට ඒවා භාර ගන්ට කෙනෙක් නැතිව ගියා. ඒ නිසා ,චීවර පටිග්ගාහක, නමින් තනතුරක් ඇති කර සතර අගතියෙන් තොර භික්ෂුනමක් ඊට පත් කිරීමකුත් කෙරුණා. උන්වහන්සේ ඒ ඒ ස්ථානවලට දායක පිරිස් සිවුරු පූජා කරන්නට පැමිණි විට ඒවා භාර ගත යුතු වුණා. ඊ ළඟට ඇති වුණ ගැටලුව වූයේ ඒවා තැන්පත් කිරීම යි. ඊට ත් ,චීවර නිදහක, නමින් තනතුරක් ඇති කර ඒ සිවුරු තැන්පත් කර තබන කාර්යය ඉටු කිරීමට භික්ෂුවක් පත් කරන්නට යෙදුණා. ඊ ළගට ඇති වුණ ප්‍රශ්නය තමා ඒ සිවුරු රුක් මුල් හා තාවකාලික භික්ෂු සෙනසුන්වල තැන්පත් කරන්නට වීම නිසා වේයන්ගෙන්, කෘමීන්ගෙන් හා මීයන් වැනි සතුන්ගෙන් හානි ඇති වුණා. ඉතින් මේ නිසා සිවුරු තැන්පත් කර තැබීමට භාණ්ඩාගාරයක් වගේ ම ඒ සිවුරු සාධාරණ ව අවශ්‍යතා තේරුම් ගෙන බෙදා දීමට සිවුරු භාණ්ඩාගාරිකයෙකු ද සංඝ සම්මතයෙන් පත් කරන්නට සිද්ධ වුණා.

මේ විදිහට සිදුවෙමින් පවතින විට භික්ෂූන් වහන්සේට පේෂකර්මාන්තය කවදත් බහුල, දියුණු රටක් වන දඹදිව විවිධ වර්ගයේ රෙදි සිවුරු පිණිස භික්ෂූන් වහන්සේට පූජා කෙරුණා. මෙවැනි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ට කසීරටේ රජතුමාගෙන් කහවණු පන්සියයක් වටිනා කම්බිලියක් පූජා වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ කම්බිලි වස්ත්‍ර ත් ,භික්ෂූන්ට සිවුරු පිණිස අනුදැන වදාළා. අන්තිමට තවදුරටත් විවිධ වර්ගවල වස්ත්‍ර පූජා වශයෙන් ලැබෙන්නට පටන් ගත්ත නිසා ඒ අතර රෙදි වර්ග හයක් පමණක් සිවුරු සඳහා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා. කොමු පිළි, කපුපිළි, පටපිළි, කම්බිලි, හණවැහැරිපිළි, මේ පස්වර්ගයේ ම නූල්වලින් වියන ලද පිළි වශයෙන් ඒවා නම් කෙරුණා.

මේ විදියට කටුයුතු කරන කාලයේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර ගෝතමක නම් චෙතිය ස්ථානයෙහි නවාතැන් ගත් දවසක් වුණා. මේ කාලය නවම් හා මැදින් මාස දෙක අතර හිම වැටෙන තද ශීත කාලයක් . උන්වහන්සේ මේ ශිත දින කීපයෙන් එක දවසක එක සිවුරක් පමණක් පොරවා ගෙන වැඩසිටින කුටියෙන් නික්මිලා එළිමහනෙහි සක්මන් කරන අවස්ථාවක පෙරයම් අවසන් වන විට තද ශීතක් දැනුණා. ඒ නිසා තවත් සිවුරක් පොරවා ගත්තා. ශීත ගතිය අඩු වුණා. මැදියම් කාලයෙහි ඒ විදියටම සක්මන් කර මැදියම ත් ඉක්මුණාට පස්සේ නැවතත් ශීත දැනුණා. තුන්වන සිවුරත් පොරවා ගත්තා. ශීත අඩු වුණා. අලුයම් හෙවත් පශ්චිම යාමය ඉක්මවෙන අවස්ථාවේ තවත් ශීත දැනුණා. හතරවන සිවුරක් ද පොරවා ගත්තා. ඒ වුණත් බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම් දාමය දිහා බලා හොඳීන් අවබෝධ කර ගත්තා ,ශ්‍රාවක භික්ෂූන් වහන්සේට තුන් සිවුරු ශිත කාලය ගත කරන්නට ප්‍රමාණවත් බව,. මේ නිසා උන්වහන්සේ තුන්සිවුර හෙවත් දෙපොටක් ඇති සඟල සිවුර ත්, එක්පොටක් ඇති උතුරු සඟලසිවුර ත් , එක්පොටක් ඇති අඳන සිවුර ත් භික්ෂූන් වහන්සේට අනුදැන වදාළා. මේ අතර වැසි සහිත කාලයක විශාඛා උපාසිකාවගේ දානයකට වැඩම වීමේ දී ඇති කරුණක් නිසා ඇයගේ ඉල්ලීම පරිදි වැහි කාලයට වැසි සලුවක් ද භික්ෂුණීන්ට දිය සලුවක් ද අනුදැන වදාළා.

ඊ ළඟට වැදගත් වුණේ සිවුර කෙසේ නිර්මාණය කළ යුතු වෙනවා ද කියන කාරණය යි.

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 11 වන දා සඳුදා අපර භාග 06.01 ට ලබයි. 12 වන දා අඟහරුවාදා අපර භාග 07.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 12 වන දා අඟහරුවාදා ය.

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]