[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 48 : සිල්වත් වීමෙන් ලැබෙන ලාභය

තෙවළා බුදු වදන් අතරින් 48 :

සිල්වත් වීමෙන් ලැබෙන ලාභය

භික්ෂු සංඝයා පිරිවරා මගධයෙහි චාරිකා කළ බුදුරජාණන් වහන්සේ එක් දිනක් පාඨලී ග්‍රාමයට වැඩම කළහ. බුදුරදුන් තම ප්‍රදේශයට වැඩම කළ බව දැනගත් පාඨලි ගම් වැසි උවැසි උවසුවෝ උන්වහන්සේ ඇතුළු භික්ෂු සංඝයාට රැය පහන් කිරීම සඳහා ආවාස ගෘහයක් පිළියෙළ කොට එහි වැඩ සිටින මෙන් ආරාධනා කළෝ ය.

ඔවුන්ගේ ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්වහන්සේ සමඟ එදින රැයෙහි එහි වැඩ සිටිය හ. බුදුරදුන්ට හා භික්ෂූන්ට අවශ්‍ය පහසුකම් සැලසූ පාඨලී ගම් වැසි උවසු උවැසියෝ බුදුරදුන්ට නමස්කාර කොට ධර්මය ඇසීමේ අරමුණින් එකත්පසෙක වාඩි වූ හ. ඉක්බිති උවසු උවැසියන් ඇමතූ බුදුරජාණන් වහන්සේ එම පිරිස ට දුසිල්වත් වීමේ ආදිනවත්, සිලවත් වීමේ ආනිශංසත්, පැහැදිලි කරමින් ධර්මය දේශනා කළහ. උදාන පාලියේ පාඨලිගාම සූත්‍රයේ ඇතුළත් වන්නේ බුදුරදුන් වදාළ එම ධර්ම දේශනය යි.

‘සීලය’ යනුවෙන් අදහස් වන්නේ ,කායික, වාචසික, සංවරය යි. ඒ යටතේ කයින් වන තෙවදෑරුම් අකුසල චර්යා හා වචනයෙන් වන සිව්වැදෑරුම් අකුසල චර්යා යන සත් වැදෑරුම් අකුසල චර්යාවන්ගෙන් වැළකීම සිදු වේ. පුද්ගල චර්යාව හා සම්බන්ධ අංශ දෙකක් සීලයෙන් ආවරණය වේ. එනම් කායික චර්යා හා වාචසික චර්යාව යි. පුද්ගල සන්තානගත මනෝ භාවයන් ප්‍රකාශයට පත්කෙරෙන්නේ එම මාධ්‍ය දෙක ඇසුරෙනි. ලෝභ, දෝස, මෝහ මූලික කරගත් , අකුසල සහගත මනෝභාවයන්ගේ බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස, කයින් හා වචනයෙන් අකුසල චර්යා ක්‍රියාවට නැංවේ. එසේ අකුසල සහගත මනෝභාවයන් කයින් හා වචනයෙන් ක්‍රියාවට නංවන තැනැත්තා දුශ්සීලයෙකු ලෙස නම් කෙරේ. අකුසල සහගත මනෝභාවයන්ගේ යථා ස්වභාවය මැනවින් හඳුනාගෙන, ඒවා කයින් හා වචනයෙන් ප්‍රකාශය ට පත්වීම ට ඉඩ නොදි, සිහිනුවණින් යුක්තව පාලනය කරන තැනැත්තා සිල්වතෙකි. ඒ අනුව කෙනෙකු සිල්වතෙකු හෝ දුසිල්වතෙකු වන්නේ එම තැනැත්තාගේ කායික හා වාචසික චර්යාවේ ස්වභාව ය අනුව ය. කයින් හා වචනයෙන් වන අකුසල චර්යාවලින් මුළුමණින් ම වැළකුණ තැනැත්තා ආර්ය මාර්ගයේ පදනම වන ශීලය සම්පූර්ණ කර තිබේ. ශීලය සම්පූර්ණ කළ ආර්ය ශ්‍රාවකයා සියලු ජීවින්ගේ ජීවත් වීමේ අයිතිය ද, සැම මිනිසෙකු ට ම, තමා සන්තක ව යමක් තබා ගැනීමේ අයිතිය ද, සියලු ස්ත්‍රී පුරුෂයන් ට, ප්‍රීතීමත් යුග දිවියක් තුළ කාම සම්පත් වින්දනය කිරීමේ අයිතියක් ඇති බව ද පිළිගන්නා නිසා තම කායික චර්යාව මගින් එකී අයිතිවාසිකම්වලට කිසි විටෙකත් හානි නොකර යි. ආර්ය ශ්‍රාවකයාගේ සන්නිවේදනය පිළිබඳ සදාචාරය අර්ථවත් වන්නේ වාචසික චර්යාවට අයත් සත්‍ය ප්‍රකාශ කිරීම, ඔවුනොවුන්ගේ භේදයට තුඩුදෙන වදන් වෙනුවට සාමය හා සමගිය පිණිස හේතුවන වදන් පැවසීම, අසන්නාගේ සිත් රිදවෙන වචන වෙනුවට සිත් පහන් කෙරෙන වදන් පැවසීම, හරසුන් නිෂ්ඵල වදන් වෙනුවට හරවත් ඵලදායි අදහස් පළකිරීම යන පිළිවෙත් මගිනි. ඒ අනුව සිල්වත් ආර්ය ශ්‍රාවකයාගේ කායික හා වාචසික චර්යා ඔහුට මෙන්ම සමාජයටත් හිතකර වේ. එවන් ප්‍රබුද්ධ මිනිසුන් ගෙන් සැදි සමාජය දියණු සංස්කෘතික එකකි. එවන් සමාජයක මානව නිදහස හෝ මානව අයිතිවාසිකම් ඉල්ලා සටන් කිරීමේ අවශ්‍යතාවක් ඉස්මතු නොවේ.

පාඨලීග්‍රාමීය උපාසක උපාසිකාවන් ඇමතූ බුදුරජාණන් වහන්සේ පළමුව දුසිල්වත් වීමේ ආදිනව පහක් ද ,දෙවනුව සිල්වත් වීමේ ආනිශංස පහක් ද දේශනා කළ හ. පළමුව දැක්වූ

දුසිල්වත් වීමේ ආදිනව අනුව දුසිල්වත් තැනැත්තා අසංවර ව හා ප්‍රමාදීව කටයුතු කරන හෙයින් ඔහු සතු යම් උපභෝග පරිභෝග වස්තුවක් වෙතොත් එය විනාශයට පත් වේ. මෙය දුසිල්වත් බවේ පළමු ආදිනවය යි. දුස්සීල පුද්ගලයාට යම් කීර්තියක් හා සමාජ ගෞරවයක් වී ද, එය තමා විසින් කරනු ලබන අයහපත් කායික හා වාචසික චර්යාවන් හේතුවෙන් විනාශය ට පත් වේ. සමාජයේ නින්දාවට හා ගැරහුමට ලක් වූවෙක් බව ට පත් වේ. මෙය දුසිල්වත් වීමේ දෙවන ආදිනව ය යි. පුද්ගලයා නිසර්ගයෙන් ම සමාජ සත්වයෙකි. සමාජයෙන් තොරව ජීවිතයක් කිසිවෙකුට ත් නැත. අවම වශයෙන් තම පවුලේ සාමාජිකයන් හා ගෙවන සමාජ ජීවිතයක් සැම කෙනෙකුට ම තිබේ. සමාජ ජීවිතය තීරණය වන්නේ කෙනෙකුගේ කායික හා වාචසික චර්යාව අනුව ය. අයහපත් චර්යාව හේතුවෙන් සමාජයෙන් ප්‍රතික්ෂේප වීමට සිදු වේ. එබැවින් දුස්සීල පුද්ගලයා කවර සමාජයකින් වුව ප්‍රතික්ෂේප කෙරේ. එවැන්නෙකුගේ ඇසුර කිසිවෙකුත් ප්‍රිය නො කරයි. කවර සාමාජීය කටයුත්තකට සහභාගි වුව ද, එහි දී දුස්සීල පුද්ගලයාට අභිමානයක් ඇති නොවේ. හැම විට ම අන්‍යයන් අතර අපහසුවෙන් රැදි සිටීමට සිදුවේ. මෙය දුසිල්වත් වීමේ තෙවන ආදිනව ය යි.

මරණය සැම කෙනෙකු ට ම මුහුණ දීමට සිදුවන පොදු ධර්මතාව යි. එහෙත් සුවදායක මරණයක් පිළිබඳ කැමැත්තක් හා ප්‍රාර්ථනයක් හැම කෙනෙකු ට ම තිබේ. එහෙත් සුවදායක මරණයක් හිමිවන්නේ සිල්වතෙකු ට මිස, දුසිල්වතෙකු ට නොවේ. දුස්සීල තැනැත්තා තමා කළ අයහපත් දෑ ගැන පසුතැවෙන හෙයින් විපිළිසර මනසින් යුතුව වාසය කරයි. ඇතැම් විටෙක තමාගේ අමිහිරි අතීතය ගැන ඇතිවන බලවත් කම්පාව නිසා මරණාසන්න මොහොතෙහි සිහි මුළාවීම ට තිබෙන අවකාශය වැඩි ය. මෙසේ සිහි මුළාව, මරණය ට පත්වීම, දුස්සීලයෙකු වීමේ සිව්වන ආදිනව ය යි. සුවදායී මරණයක් මෙන් ම මරණින් මතු සුගති සංඛ්‍යාත භවයක උපත ලැබීමත් පරලොව පිළිගන්නා සැම කෙනෙකුගේ ම අවංක ප්‍රාර්ථනය යි. බුදු දහමට අනුව මරණින් මතු භවය සුගතියක් ද? නැතහොත් දුගතියක්ද? යනුවෙන් තීරණය වන්නේ පුද්ගලයා විසින් ජීවත්ව සිටින කාලය තුළ රැස් කරන ලද කුසල අකුසල කර්මවල ට අනුරූපව ය. අකුසල කර්ම රැස්කළ තැනැත්තෙකු ට සුගතියක් පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි ය. දුස්සීලයෙකු ට මුහුණ දීම ට සිදුවන පස්වන ආදීනව ය නම් මරණින් මතු දුගතිසංඛ්‍යාත නිරයේ උපත ලැබීම ට ය.

දුස්සීල වීමෙන් ලැබෙන ආදිනව පහක් පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ සිල්වත් වීමේ ආනිසංස පහක් ද පාඨලී ග්‍රාමවාසී උපාසක, උපාසිකා පිරිස ට පැහැදිලි කළහ. ඒ අනුව ඉහතින් දැක්වූ ආදිනව පසෙහි ප්‍රතිවිරුද්ධ අංශ සිල්වත් වීමේ ආනිසංස ලෙස දේශනා කළ හ. සිල්වත් වීමෙන් ලැබෙන ආනිසංස අතරින්, පළමු වැන්න, ධනයෙන් හා භවභෝග සම්පත් අතින් ආඩ්‍ය අයෙකු වීම යි. එසේ වන්නේ තමා උපයන ධනය දුරාචාරය ට වැය නොකරන හෙයිනි. ඒ අනුව සිල්වතා ධනවතෙක් වේ(සීලවන්තො ධනවත්තො හොති). තම යහපත් වර්යාව හා පැවැත්ම නිසා සිල්වතා සමාජ සම්භාවනාවට පාත්‍ර වන අතර, කීර්තිමත් අයෙකු බවට පත් වේ. එය සිල්වතෙකුට ලැබෙන දෙවන ආනිශංස ය යි. සමාජීය පුද්ගලයෙකු ලෙස කවර තත්ත්වය ක දී වුව අන්‍යයන්ගේ ප්‍රතික්ෂේපවීම ට භාජනය නොවී විවෘත ව කටයුතු කිරීමේ හැකියාව ඇති වේ. සිල්වත් වීමෙන් ලැබෙන තෙවන ප්‍රතිලාභය එය යි. මරණය සුන්දර අත්දැකීමක් බවට පත්කර ගැනීම ට හැකිවන්නේ සිල්වතෙකුට පමණි. තම නොකැළැල් අතීතය මෙන් ම, වර්තමානය ත් සිහි කරන්නෙකුට ඇතිවන ආත්ම තෘප්තිය සුවදායී මරණයක ට මුහුණ දීම ට අවශ්‍ය ශක්තිය සපයයි. මෙය සිල්වතෙකු ට ලැබෙන සිව්වන ආනිශංසය යි. මරණින් පසුව සුගතියක උපත ලැබීමේ තම ඒකායන ප්‍රාර්ථනය සාක්ෂාත්කරගත හැකිවන්නේ ද සිල්වත් ජීවිතයක් ගත කළ අයෙකුට ම පමණි. සීල්වත් වීම වෙනුවෙන් ලැබෙන අවසන් ප්‍රතිලාභය එය යි. ඉහතින් දැක්වූ ආදිනව හා ආනිශංස සියල්ල එක්ව ගෙන සැලකීමේ දී එයින් හතරක් ම මෙලොව ජීවිතය හා සම්බන්ධ ය. මරණින් පසුව සම්බන්ධ වන්නේ එක් කරුණක් පමණි. ඒ අනුව දුසිල්වත් වීම මෙන්ම සිල්වත් වීමත් නිසා වැඩි බලපෑමක් සිදුවන්නේ මෙලොව ජීවිතය ට ය. ආදිනව හා ආනිශංස අතරින් පළමු වැන්න, සිව්වැන්න හා පස්වැන්න කෙනෙකුගේ පෞද්ගලික ජීවිතය ට බලපෑම් කරයි. එයින් පළමු වැන්න කෙනෙකුගේ පෞද්ගලික ධනය හා සම්බන්ධවන අතර සිව්වැන්න හා පස්වැන්න ඔහුගේ ආධ්‍යාත්මික ජීවිතය හා සම්බන්ධ ය. දෙවැන්න හා තෙවැන්න සාමාජික ය. එහි බලපෑම සමාජ ජීවිතය හා සම්බන්ධ ය. මේ සියල්ල සලකා බැලුවිට පැහැදිලි වන්නේ ඒ සියල්ල කෙනෙකුගේ පුද්ගලික මෙන්ම සමාජ ජීවිතයට ත්, ලෞකික හා ලෝකෝත්තර ජීවිතයට ත් ඍජුව ම සම්බන්ධ ව පවතින බව යි. එබැවින් දුස්සීල පිළිවෙතින් වැළකී සිල්වත් වීම, විනයගරුක වීම, සදාචාර සම්පන්න වීම නිසැකව ම දෙලොව ම ජය ගැනීමට හේතු වේ.

වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා අපර භාග 12.23 ට ලබයි. 28 වන දා සඳුදා පූර්ව භාග 09.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය.

ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා ය

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]